පුද්ගලයන් 122 දෙනෙකු සමග අතුරුදන් වූ මියන්මාර ගුවන් හමුදාවට අයත් මගී ප්රවාහන යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු මුහුදේ තිබී හමුවෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම අන්දමන් මුහුදු කලාපයේ තිබී මෙම සුන්බුන් හා මළ සිරුරු හමුවූ බව එරට හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
වයි-8 වර්ගයේ චීනයේ නිෂ්පාදිත යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ගමන් කර ඇති අතර, සෙසු පිරිස හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව කියයි. එමෙන්ම, මේ අතර කුඩා දරුවන්ද විශාල පිරිසක් සිට ඇත.
දකුණුදිග මෙයික් සිට යැන්ගොන් දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ සුන්බුන් වෙරළාසන්න නගරයක් වූ දවේයි නගරයට ආසන්න මුහුදේ පා වෙමින් තිබූ බවද සඳහන් වේ.
මියන්මාර හමුදාවට අනුව බ්රහස්පතින්දා සවස් වනවිට මළ සිරුරු 29ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර, ඉන් 20ක් කාන්තාවන්, දරුවන් 8ක් සහ පිරිමි මළ සිරුරක්ද ඒ අතර වෙති.