ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්දාදි රුසියාව ප්රමුඛ සන්ධානය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේද යන්න පිළිබඳව බුද්ධි තොරතුරු තහවුරු කරමින් සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව රුසියාවට අයත් Su-34 ප්‍රහාරක යානා සහ Su-35 බහුකාර්ය ප්‍රහාරක යානා යොදා ගනිමින් ඉස්ලාම් රාජ්‍යයේ බල කඳවුර වන උතුරුදිග සිරියාවේ, රක්ඛා නගරය ආශ්‍රිතව පසුගිය මැයි 28 වැනිදා ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉස්ලාම් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨතම IS ත්‍රස්ත නායකයන් සහභාගී වූ සාකච්ඡාවක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවත්, එහි අල්-බග්දාදි සිටින්නට ඇති බවට වාර්තා වූ බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
රක්ඛා නගරයේ IS ඉලක්ක වෙත දිගින් දිගටම එල්ල කෙරෙන ප්‍රහාර හමුවේ, එහි රැඳී සිටින IS ත්රස්තයන් ආරක්ෂිතව එම නගරයෙන් ඉවත්කර ගැනීම සඳහා වූ රහසිගත සාකච්ඡාවක් මෙහිදී පැවත් වී ඇති බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
"විවිධ බුද්ධි තොරතුරු මගින් තහවුරු කරගනිමින් සිටින තොරතුරු අනුව, එම සාකච්ඡාවේ සිටි බව පැවසෙන ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්ත නායක ඊබ්‍රාහිම් අබු බකර් අල්-බග්දාදි මෙම ගුවන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා." යැයි එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම, මෙම ගුවන් ප්‍රහාරයෙන් මියගියේ යැයි තහවුරු කරමින් සිටින සෙසු පිරිස අතර, රක්ඛා නගරයේ එමීර්වරයා වන අබු අල්-හජි අල්-මස්රි, රක්ඛා නගරයේ එස්-සොහ්න් ජනාවාස දිස්ත්‍රික්කය පාලනය කළ එමීර් ඊබ්‍රාහිම් අල්-නඒෆ් අල්-හාජ් සහ ඉස්ලාම් රාජ්‍යයේ IS ආරක්ෂක අංශ ප්‍රධානී සුලෙයිමාන් අල්-සවාහ් සිටි බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.
මේ අතර, අදාළ ගුවන් ප්‍රහාරය සිදුකළ ස්ථානය හා සිදුකළ වේලාව ආදී තොරතුරු මොස්කව් පාලනාධිකාරිය විසින් ඇමෙරිකාව වෙතද ලබාදුන් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, මීට පෙරද ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්දාදි මරා දැමූ බවට විවිධ පුවත් වාර්තා වුවත්, එහිදී පෙන්ටගනය හෝ ඉරකය හෝ සිරියානු හමුදා හෝ එම තොරතුරු තහවුරු කිරීමට අපොහොසත් විය.
අල්-බග්දාදි පළමු වරට ලෝකයා හමුවේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2014 වසරේදීය. ඒ ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් ඉරාකයේ සහ සිරියාවේ බොහෝ ප්‍රදේශවල තම බලය පතුරුවමින් සිටි අවධියකි.
එමෙන්ම, අල්-බග්දාදිගේ නිවේදනයන් ලෙස ලෝකයේ මුස්ලිම් අධිරාජ්‍යයක් බිහි කරන බවට IS ත්‍රස්ත සංවිධානය විසින් අවස්ථා කිහිපයකදීම පණිවුඩ නිකුත් කරනු ලැබීය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අබු බකර් අල්-බග්දාදි අතිශයින්ම අත්‍යවශ්‍ය ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇත.
කෙසේ වෙතත්, අබු බකර් අල්-බග්දාදි යනු අල්-කයිඩා නායකව සිටි ඔසාමා බින් ලාඩ්න් වැනිම ඇමෙරිකානු නිර්මාණයක් බවත්, පසුව ඔවුන්ට මෙන්ම ලෝකයටම හිසරදයක් වූ ත්‍රස්ත නායකයෙකු බවට පත්වූ බවටත් විවිධ මාධ්‍ය වාර්තා පවතී.