මුහුණු බද්ධයක් සඳහා ලොව සිදුකළ අතිශය දුර්ලභ හා අතිශය සංකීර්ණ ශල්‍යකර්මයක් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමෙන් සිය මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වූ ඇන්ඩි සෑන්ඩ්නස් නමැති තරුණයා මෙම ශල්‍යකර්මයට මුහුණ දෙමින් තවත් පරිත්‍යාගශීලියෙකුගේ මුහුණක් ලබමින් දැන් නිරෝගී සුවයෙන් පසුවන බව කියයි.
කෙසේ වෙතත්, මේ අතිශය දුර්ලභ ශල්‍යකර්මයට මුහුණදුන් සෑන්ඩ්නස් වෙත හිමිවූ මුහුණ ලැබී ඇත්තේද, තවත් සියදිවි හානිකර ගැනීමක් සිදුකළ කැලන් රොස් නමැති තරුණයෙකුගෙනි. නමුත්, ඔහු සිය ශරීර අවයව පරිත්‍යාග කිරීමට බැඳී සිට ඇති බැවිනුත්, ඔහුගේ බිරිඳගේ කැමැත්ත හිමිවූ බැවිනුත් මෙම ශල්‍යකර්මය සාර්ථක කරගැනීමට හැකි වී තිබේ.
එහිදී, මියගිය රොස් තරුණයාගේ නාසය, කම්මුල්, කට, තොල්, හක්ක, නිකට මෙන්ම දත් ඇන්දද සෑන්ඩ්නස් වෙත මෙම ශල්‍යකර්මයෙන් පසුව හිමිව තිබුණි. ශල්‍යකර්මය අවසාන් වී යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණි සෑන්ඩ්නස් මුලින්ම කැඩපතක් ඉදිරියේ තම නව මුහුණ දකින විට පුදුමයට පත්ව ඇත්තේ තමා බලාපොරොත්තු වූවාටත් වඩා සුවිශේෂී මුහුණක් තමා වෙත ලැබී තිබූ බැවිනි.
කෙසේ වෙතත්, මෙම මුහුණු බද්ධය සඳහා දායකත්වය ලබාදුන් මුහුණ හිමි රොස් තරුණයාගේ බිරිඳ මුලින් සිය ස්වාමියාගේ මුහුණ තවත් අයෙකුගේ මුහුණින් දැකීමට කැමැත්තක් නොදැක්වූ බවද සඳහන් වෙයි. නමුත්, මෙම මුහුණු බද්ධයේදී ශල්‍යකර්මයට බඳුන් වූ සෑන්ඩ්නස්ගේම නළල හා ඇස් මෙම නව මුහුණට ලැබෙන බැවින් එය සම්පූර්ණයෙන්ම තම මියගිය ස්වාමියාගේ (රොස්) මුහුණ නොවන බැවින් ඇය අවසානයේදී කැමැත්ත ලබාදී තිබේ.
මෙම අතිශය සංකීර්ණ ශල්‍යකර්මය සිදුකළ විශේෂඥ වෛද්‍ය සමීර් මර්දානි වසර තුනක කාලයක් ඒ සඳහා පුහුණුවක යෙදී තිබේ. එමෙන්ම, පරිත්‍යාගශීලියෙකුගේ ගැළපෙන මුහුණක් ලැබෙන තුරු වර්ෂ 2006 දී මෙම අනතුරට මුහුණදුන් සෑන්ඩ්නස්ට බලා සිටීමට සිදුවූ බවද වෛද්‍යවරු පවසති.
තම ජිවිතය තොර කරගැනීමට එදා ගත් තීරණය කොතරම් වැරදිද යන්න තමාට පසුගිය වසර කිහිපය පුරාවට දැනුණු බව සෑන්ඩ්නස් අද පවසයි.