ඇමෙරිකානු රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය සම්මත කිරීම සඳහා ඊයේ (22දා) පැවති ඡන්ද විමසීමේදී සෙනට් සභාවේ ඩිමොක්‍රටික්වරුන් සහ රිපබ්ලිකන්වරුන් ඡන්දය ලබාදීමත් සමග තාක්ෂණික වශයෙන් අක්‍රීයව පැවති රජයේ ක්‍රියාකාරකම් යළි සක්‍රීය තත්ත්වයට පත්ව තිබේ.
රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකාවේ පාලනය භාරගැනීමෙන් පසුව එරට රජය තාක්ෂණික වශයෙන් අක්‍රීය වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, සති අන්තය හේතුවෙන් ඒ තුළින් රජයේ ක්‍රියාකාරකම්වලට අවම බලපෑමක් සිදුව තිබුණි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ එරට ව්‍යවස්ථාදායකය වන ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය වෙත යොමු කරනලද අතුරු අයවැය සඳහා වූ මූල්‍ය පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුවත්, එය සෙනට් සභාවේදී පරාජයට පත් වීමත් සමග මෙම අර්බුදය හට ගැනුණි.
අදාළ පනත් කෙටුම්පත එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 230ක් සහ විපක්ෂව ඡන්ද 197ක් ලැබීමෙන් එය වැඩි ඡන්දයෙන් සම්මත විය.
2018 පෙබරවාරි 16 වැනිදා දක්වා අවශ්‍ය වන වැය වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත සම්මත වීමට නම් එය සෙනට් සභාව තුළද ඡන්ද 60කින් සම්මත විය යුතු විය. සංක්‍රමණිකයන් සහ දේශසීමා ආරක්ෂාව මුල්කර ගත් තියුණු විවාදයක් හමුවේ සෙනේට් සභාව තුළ ඊට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොලැබීමත් සමග ඇමෙරිකානු රජය තාක්ෂණික ලෙස අක්‍රීය වී තිබුණි. සෙනට් සභාවේ සභිකයන් 100ක් ඡන්දය ප්‍රකාශ කරති.
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූල්‍ය බලය එරට ව්‍යවස්ථාදායකය වන කොංග්රස් මණ්ඩලය වෙත හිමිවීම හේතුවෙන් ජනාධිපතිවරයා වන විධායකයද මෙවැනි මූල්‍ය පනතකදී කොංග්‍රසයේ මතය විමසා සිටිය යුතුය.
කෙසේ වෙතත්, ඊයේ පැවති විවාදයේදී මෙම පනත සම්මත වීමත් සමග පැවති සියලු ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වනු ඇති බව කියැවෙයි.
එමෙන්ම, මෙවැනි තත්ත්වයක් ඇමෙරිකානු දේශපාලනයේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර 2013 වසරේදීද ඔබාමා පාලන කාලයේදීද මෙවැන්නක් දක්නට ලැබුණු අතර, එය දින 16ක කාලයක් දක්වා ඇදී ගියේය.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයේ ව්‍යසනකාරී තත්ත්වයක් ඇමෙරිකාව තුළ දක්නට නොතිබුණු අතර, වොෂිංටන් නුවර රජය යටතේ පාලනය වන බොහෝ කෞතුකාගාර පවා පසුගිය ඉරිදා දිනයේදී සුපුරුදු පරිදි විවෘතව පැවතුණි.
එමෙන්ම, ජනතාවද සුපුරුදු කටයුතුවල නිරත වන ආකාරය දැකිය හැකි වූ අතර, ඊයේ දිනයේදීද ඇමෙරිකානු ජනතාව අතර තිගැස්මක් හෝ රජය තාක්ෂණික වශයෙන් අක්‍රීය වීම පිළිබඳ බලාපොරොත්තු සුන්වීමක් දක්නට නොලැබුණි.