මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල වී සිටින ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම්.ජේ. අක්බර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, නීතියෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වන තමන් සදාචාරාත්මක ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
කෙසේ වෙතත්, ඔහු මීට පෙර පවසා තිබුණේ, අසත්‍ය චෝදනා හමුවේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවය.
ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා තමන්ට චෝදනා කළ මාධ්‍යවේදිනියට එරෙහිව ඔහු අපහාස නඩුවක් ගොනු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍යවේදිනී ප්‍රියා රමණි අමාත්‍යවරයාට කළ චෝදනාවත් සමග ඔහු "බලහත්කාරකම්" කළ බවට තවත් කාන්තාවන් කිහිප දෙනෙක්ම චෝදනා කිරීම හමුවේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූ බවද මාධ්‍ය පවසා සිටියි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යවේදිනී ප්‍රියා රමණි පැවසුවේ, අසත්‍ය ප්‍රකාශ කළ බවට ඇයට එරෙහිව නගා ඇති චෝදනාවලට එරෙහිව සටන් කිරීමට තමන් "සූදානම්" බවයි.
"ඔහුට එරෙහිව කාන්තාවන් රැසක් බරපතළ චෝදනා එල්ල කර තිබියදී බියගැන්වීම් සහ හිරිහැර කිරීම් හරහා ඔවුන් නිහඬ කිරීමට" උත්සහ කිරීම පිළිබඳව "බෙහෙවින් කනස්සල්ලට පත්වන" බව ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, ප්‍රියා රමණිට නඩු පැවරීමෙන් නොනැවතුණු නියෝජ්‍ය අමාත්‍ය එම් ජේ අක්බර්, තමන්ට එරෙහිව චෝදනා කළ අනෙක් කාන්තාවන්ට එරෙහිවද නඩු පවරන බවට තර්ජනය කර තිබේ.
ඉන්දීය #MeToo ව්‍යාපාරය මගින් මේ දක්වා චෝදනා එල්ල වූ දැවැන්තම චරිතය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාය.
ඔහු අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එරට ප්‍රධාන පුවත්පත් දෙකක ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේදී තමා යටතේ සේවය කළ කාන්තාවන්ට මෙම ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බව කියැවෙයි.
The Telegraph සහ The Asian Age යන ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘත්වය ඔහු විසින් දරා තිබේ.
ඔහුට එල්ල වී ඇති චෝදනා "බලහත්කාරී හැසිරීමේ" සිට සම්පූර්ණයෙන් ම ලිංගික හිරිහැර කිරීම දක්වා පරාසයක පවතින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම චෝදනා හිතාමතා එල්ල කරන බවය.
අමාත්‍යවරයාට මෙම චෝදනා පළමු වරට එල්ල වූයේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියා රමණිගෙනි. ඒ, ඇයට කාර්යාලයේදී මුහුණ දීමට සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් පළ කළ ලිපියක් හරහාය.
ඇය පළ කළ මුල් ලිපියෙහි අමාත්‍යවරයාගේ නම සඳහන් කර නොතිබූ අතර, ඔක්තෝබර් 8 වැනිදා ඇය එම ලිපිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් සඳහන් කර තිබුණේ, එම ලිපිය අමාත්‍ය අක්බර් සම්බන්ධයෙන් ලියූ බවය.
එම ට්විටර් පණිවුඩයෙන් පසුව තවත් කාන්තාවන් පිරිසක් අමාත්‍යවරයාට චෝදනා කරමින් ඉදිරියට පැමිණ තිබීමද කැපී පෙනුණි.
අමාත්‍යවරයාට චෝදනා කර ඇති කාන්තාවන්ට සහාය පළ කරමින් මාධ්‍යවේදීන් සහ කාන්තාවන් විශාල පිරිසක් සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම අරඹා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ හාස්‍යෝත්පාදක නළුවන්, මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, නළුවන් සහ සිනමාකරුවන් සම්බන්ධයෙන් චෝදනා රැසක් #MeToo ව්‍යාපාරය මගින් පසුගිය සතියේදී දිගින් දිගටම එල්ල වෙමින් පැවතිනි.