වර්ෂ 1981 දී දෙවැනි එළිසබෙත් රැජින නවසීලන්ත සංචාරයක නිරත වන අවස්ථාවේදී නව යොවුන් වියේ තරුණයෙකු ඇය ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබේ.
නවසීලන්ත බුද්ධි අංශ පෙන්වා දෙන්නේ 17 හැවිරිදි කිස්ටෝෆර් ලුවිස් නැමති තරුණයෙකු රැජින ඩනේඩින් නුවර වීදී සරමින් සිටි අවස්ථාවේදී ඇයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
සංඥා පුවරුවක් බිම ඇද විටීමෙන් හෝ ගිනි කෙළියක් පිපිරීමෙන් මෙම හඬ ඇසෙන්නට ඇති බව එම අවස්ථාවේදී එහි සිටි අය සිතුවත් මෙම සිදුවීම නිරීක්ෂණය කළ පොලීසිය මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මේ පිළිබඳ ප්‍රසිද්ධියක් ලබාදුනහොත් ඉදිරියේදී රාජකීයයන් නවසීලන්තයේ සංචාරයට නොපැමිණෙනු ඇතැයි යන සැකයෙන් එය වසන් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
1981 ඔක්තෝබර් 14 වැනිදා නගරයේ සැරි සරමින් සිටි රැජින ඝාතනය කිරීමේ උවමනාවක් මෙම තරුණයාට පැවතියත්, ඒ සඳහා ඉලක්කය ගැනීමට සුදුසු තැනක් හෝ යෝග්‍ය අවියක් ඔහු සතුව නොතිබී ඇත.
පොලීසිය පසුව ඔහු සතු රයිෆලය සහ උණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන තැතකට චෝදනා ගොනු නොකර ගිනි අවි භාවිතය යටතේ චෝදනා ගොනු විය.