ඩකා ගොඩනැගිල්ලේ ගින්නෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයෙක්
බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි තට්ටු 19ක ගොඩනැගිල්ලක අද (28දා) දහවල් හට ගත් ගින්නෙන් මියගිය 15දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකුද වන බව වාර්තා වෙයි.
එම තැනැත්තා නිරාස් චන්ද්‍රා ලෙස බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන අතර, ඔහු ගින්නෙන් බේරීමට ගොඩනැගිල්ලෙන් පැන ඇති බව සඳහන් වෙයි.
ගොඩනැගිල්ලෙන් පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම තැනැත්තා කුර්මිටෝල් මහ රෝහලට රැගෙන යමින් සිටි අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ගොඩනැගිල්ලේ නව වැනි මහලෙන් ගින්න ඇරඹී ඇත. මෙම ගොඩනැගිල්ල තුළ ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් මෙන්ම අන්තර්ජාල සේවා පහසුකම් සපයන සමාගම් කිහිපයක්ද තිබූ බව පැවසෙයි.
ගින්න ඇතිවීමත් සමග ගොඩනැගිල්ලේ සිටි බොහෝ පිරිසක් ජීවිත බේරාගැනීම සඳහා ඉන් පිටතට පැන ඇති අතර, තුවාල ලැබූ පිරිසද 40 ඉක්මවන බව වාර්තා වෙයි.
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ඇතුළුව ගිනි නිවන ඒකක 21ක් ගින්න මැඬපැවැත්වීමට දායක විය.
පසුගිය පෙබරවාරියේදීද ඩකා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ජීවිත හානි 70ක් සිදුවිය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

