චීනයෙන් ඉපැරණි මිශ්‍ර ලෝහ බුදුපිළිම වහන්සේලා හමුවෙති
වයඹ දිග චීනයේ ෂාන්සි පළාතේ ඉපැරණි සොහොන් සමූහයක් ආශ්‍රිතව සිදුකරන ලද කැණීම්වලදී නැගෙනහිර හැන් රාජවංශයට (25-220) අයත් බව සැලකෙන මිශ්‍ර ලෝහ බුද්ධ ප්‍රතිමා දෙකක් සහ තවත් භාණ්ඩ රැසක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.
මෙම හැන් රාජවංශයට අයත් සොහොන් පිහිටා තිබුණේ ෂියාන්යැන්ග් නගරයේ චෙන්ග්රෙන් ගම්මානයේය. මෙම වසරේ මැයි මාසයේදී එම සොහොන් හයක් කැණීම් කරන ලදී.
මිශ්‍ර ලෝහ බුද්ධ ප්‍රතිමා දෙකක් සොහොන් කුටියක තිබී සොයාගෙන ඇති අතර, ඉන් එක් ප්‍රතිමාවක් උසින් සෙන්ටිමීටර 10.5ක් පමණ වූ ශාක්යමුණින්ද්රයාණන්ගේ ප්‍රතිමාවක් බව චීන මාධ්‍ය පවසයි. අනෙක් බුද්ධ ප්‍රතිමාව සෙන්ටිමීටර 15.8ක් උස පංච බුද්ධ ප්‍රතිමාවක් බවද එම වාර්තා පෙන්වා දෙයි.
පුරාවිද්‍යා විශ්ලේෂණයට අනුව බුදු පිළිම දෙක තඹ-ටින්-ඊයම් මිශ්‍ර ලෝහයක් බව ෂාන්සි පුරාවිද්‍යා ඇකඩමියේ පර්යේෂක ලී මිං පැවසීය. එමෙන්ම පිඟන් භාණ්ඩ සහ ලෝකඩ භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ සොහොන් ගෙවල්වලින් සොයා ගෙන තිබේ.
"මේ සොහොන් පිටියේ හිමිකරු සමහර විට ප්‍රාන්ත නිලධාරියෙකු හෝ ඉඩම් හිමියෙකු විය හැකි අතර ඔහුට යම් පවුල් බලයක් සහ ආර්ථික ශක්තියක් තිබුණා විය හැකියි" යනුවෙන් ලී පැවසීය.
"චීනයට බුදුදහම හඳුන්වාදීම සහ රට තුළ ඒ දර්ශනය ප්‍රචලිතව පැවතීම පිළිබඳ අධ්‍යයනයට බුද්ධ ප්රතිමාවල සොයාගැනීම් ඉතා වැදගත් වෙනවා" යැයි ලී වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

