එන්නත ලබාගැනීමෙන් පසු මට කිසිදු ගැටලුවක් නෑ- ෆවුසි
කොවිඩ්-19 වෛරසයට එරෙහි මොඩෙර්නා එන්නත ලබා ගැනීමෙන් පසු තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, සුවයක් දැනෙන බව ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
"ඇත්තටම මට කිසිදු ගැටලුවක් ඇතිවූයේ නැහැ. මට ගොඩක් හොඳයි. මට සාමාන්‍ය තත්වයක් දැනෙනවා" වෛද්‍ය ෆවුසි පැවසීය.
කෙසේ වෙතත් තම අතේ යම් වේදනාවක් ඇතිවිය හැකි බවට බලාපොරොත්තු වන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ෆවුසි සඳහන් කළේය.
"ඕනෑම ආකාරයක එන්නතකදී එය ඉතා සුලභයි, එබැවින් මම එය අපේක්ෂා කරනවා. නමුත් පොදුවේ මට හොඳ යැයි හැඟෙනවා." ඔහු පැවසීය.
ෆවුසි සහ ජාතික සෞඛ්‍ය ආයතන අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් සහ සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් යන අය ඊයේ මොඩෙර්නා එන්නත ලබාගෙන තිබුණි.
ෆවුසි පැවසුවේ ඔවුන් මොඩෙර්නා එන්නත විශේෂයෙන් තෝරාගෙන නොතිබුණත්, ඔවුන්ට ලබා දුන් එන්නත එය බවයි. මන්ද මේ වනවිට ෆයිසර් එන්නතද එක්සත් ජනපදය තුළ ලබාදීම ආරම්භ කර ඇති බැවිනි.
ඉදිරි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කිරීමට සිටින වෛද්‍ය ෆවුසි කියා සිටියේ, දැන් රට පුරා ලබාදෙන එන්නත් දෙක පිළිබඳව තමාට විශ්වාසයක් ඇති බවය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

