විෂ රසායනික ප්‍රහාරයකින් රෝහල්ගත කරනු ලැබූ බව කියන රුසියානු ජාතික හිටපු බුද්ධි අංශ නිලධාරී සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය වන යූලියා ස්ක්‍රිපාල් බේරාගත් රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන් විඳි අත්දැකීම අනාවරණය කරයි.
පසුගිය මාර්තු 4දා මෙම ස්ක්‍රිපාල් පියා සහ දියණිය සිහිසුන්ව මහමඟ වැටී සිටියදී බ්‍රිතාන්‍යයේ සාලීස්බරි දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබුණත්, ඒ වනවිටත් ඔවුන් කවර හේතුවක් නිසා එසේ සිහිසුන්ව සිටියේද යන්න පිළිබඳ අවබෝධයක් නොතිබී ඇත.
එම රෝහලේ හෙද අධ්‍යක්ෂිකා ලෝර්නා විල්කින්සන් පවසන්නේ පොලිස් නිලධාරියෙකු වූ නික් බෙයිලී ද මෙම ස්ක්‍රිපාල් දෙපළ පෙන්නුම් කළ රෝග ලක්ෂණම සමග රෝහල්ගත කළ විට ඔවුන් මේ පිළිබඳ අවධානය වැඩි කළ බවයි.
එම අවස්ථාව වනවිට ඔවුන්ට ප්‍රතිකාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද පූර්ව අවබෝධයක් නොතිබී ඇති අතර, මෙම රෝගීන් හරහා රෝහල් කාර්ය මණ්ඩලයද අනතුරේ හෙළීමක් සිදුවේවිද යන පැනයද ඔවුන්ට ඇතිවූයේ යැයි පවසන්නේ එදින රාත්‍රී සේවයේ යෙදී සිටි වාට්ටුව භාර හෙද නිලධාරිනී සාරාහ් ක්ලාක් ය.
කෙසේ වෙතත්, සති කිහිපයක් පුරා ඔවුන් වෙනුවෙන් සිදුකළ ප්‍රතිකාර සඳහා විශේෂඥ උපදෙස් නිරන්තරයෙන් ලබාගත් බව පවසන රෝහල් බලධාරීන් කියා සිටින්නේ, මේ වනවිට සුවය ලබමින් සිටින රෝගීන් දෙදෙනා තවදුරටත් විවේක ගැනීම සඳහා නම සඳහන් කළ නොහැකි විවේකස්ථානයක රඳවා තබා ඇති බවය.
මෙම පියා සහ දියණිය වෙත විෂ රසායනික ප්‍රහාරය එල්ල කිරීම රුසියාව විසින් සිදුකරන ලද්දක් බවට බ්‍රිතාන්‍ය චෝදනා කළත්, රුසියාව එය තරයේ ප්‍රතික්ෂේප කළේය.