පැණි රස නැති නම් සීනි සහිත ආහාර පරිභෝජනය තරම් එයින් ලැබෙන ප්‍රතිඵලය මිහිරි නොවන බව ඇසුවහොත් එය ඔබ, තරමක් මවිතය දනවන කරුණක් ලෙස පිළිගනු නියතය. ඕනෑම කොනෙකු සීනි සහිත ආහාර නැතිනම් පැණි රස ආහාරවලට කැමැත්තක් දක්වන්නේ එහි රසය ඉතා මිහිරි යැයි සලකන බැවිණි.
නමුත් සීනි භාවිතයේ ප්‍රතිඵල අමිහිරි යැයි නොකියා බැරිවෙන්නේ මේ වන විට ලොව පුරා සිදුවන බෝ නොවෙන රෝග නිසා ඇතිවන මරණවලට සිනි ද වක්‍රාකාරව යම් සම්බන්ධයක් දක්වන බැවිණි. බෝ නොවන රෝග යැයි කියූ සැණින් මේ කියන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අධි කොලෙස්ටරෝලතාවය, සහ ආඝාතය, පිළිකා යනාදිය සම්බන්ධයෙන් බව ඔබ දන්නා අතර එයට සීනි වල සම්බන්ධතාවය කෙසේද යන්න විමසීමට මෙවර අද සෞඛ්‍ය පිටුව වෙන්කරමු.
අධික සීනි භාවිතය ගැන කතාකරන විට බොහෝදෙනෙකු , අපි නම් සීනි භාවිතය ඉතාම අඩුවෙන් යැයි පවසන්නට ඉඩ තිබේ. ඇතැම් විට ඔබ අධික වශයෙන් සිනි භාවිතයට ගෙන ඇත්තේ සිනි යැයි දැනගෙන නොවන්නට ඇති ඉඩකඩ ද බොහෝය. අධික සීනි භාවිතය මගින් අධි බර හා තරබාරු අය ඩැඩියෙන් බිහිකරන අතර අධි බර හේතුවෙන් ඵලදායීතාව අඩු වීම, ජීවන තත්ත්වය පහළ වැටීම, ආයුකාලය කෙටිවීම, ශරීර බර වැඩිවීම, වැනි කරුණු කාරණා බැඳී පවතී.
කෙසේ නමුත් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනුයේ සීනි පරිභෝජනය දෛණික මුළු ශක්ති පරිභෝජනයෙන් සියයට පහකට වඩා අඩු විය යුතු බවයි. එනම් සීනි ග්‍රෑම් විසිපහක් නැතිනම් සීනි තේ හැඳි හයකට වඩා අඩු විය යුතු බවයි.
ආහාර පාන නිපදවීමේදී එක් කරන ග්ලූකෝස් ෆ්රුක්ටෝස් වැනි මොනොසැකරයිඩ හා සුක්රෝස්, එනම් අපි සීනි ලෙස හඳුන්වන ඩයිසැකරයිඩ එක් කළ ආහාර පාන මෙන්ම පැණි, පලතුරු යුෂ, අධි සාන්ද්‍රණ පලතුරු යුෂ හා සිරප් වැනි ස්වභාවික ආහාරවල ඇති සීනි, අප සරල සීනි ලෙස හඳුන්වමු.
බොහෝ විට ඔබ නොදැනීම අනවශ්‍ය සීනි ප්‍රමාණයක් එක්වන ආහාර මෙන්ම පාන වර්ගද ඇති බව අමතක කළ යුතු නොවේ. අධික සීනි යොදා සකසන ලද පාන වර්ග බොහෝ යෞවන යෞවනියන්ගේ මෙන්ම ළමා ලපටින්ගේ ආහාරවලට එක් කරන ලද සීනි ප්රභවය වේ.
සීනි යොදා රස කළ පාන වර්ග
ෆ්රුක්ටෝස්, කෝන් සිරප්, හෝ සාමාන්‍ය සීනි වැඩි ප්‍රමාණයක් යොදා සැකසූ පාන වර්ග අප සීනි යොදා රස කළ පාන වර්ග ලෙස හඳුන්වමු. සිසිල් බීම, පලතුරු බීම. ක්‍රීඩා පාන වර්ග, සීනි යෙදූ තේ කෝපි, ශක්ති ජනක පාන රස කළ කිරි, කිරි ආදේශක, සීනි යොදා රස කළ පාන වර්ග මේ අතර වෙයි.
(වොක්ලට් රසැති පානවර්ගයක් වශයෙන් ප්‍රකට එක්තරා කිරි වර්ගයක් අනුමත සීනි ප්‍රමාණය පමණක් යොදන බව තහවුරු කර ඇති බවත් එය උදෑසන ආහාරමය පානයක් වශයෙන් පැකට් කළ කිරි වර්ගයක් ලෙස ජනප්‍රියව පැවතීම සම්බන්ධයෙන්එතරම් ගැටලු සහගත තත්ත්වයක් නොපවතින බව මෙහිදී පෝෂණ විශේෂඥ වෛද්‍යවරියක වූ රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය ) සීනි යොදා රස කළ බීම ලෝකයේ බොහෝ රටවල්වල සුලභව දැකිය හැකිය.
එකතු කළ සීනි මුලු ශක්ති ප්‍රමාණයට සෘජුව බලපාන අතර මෙම පානවල ඇත්තේ අඩු පෝෂණ වටිනාකමකි. සීනි යෙදූ රස කළ කාබණීකෘත බීම මි. ලී 330 ක සීනි ග්‍රෑම් 35 ක් පමණ එනම් සීනි තේ හැඳි නවයක් පමණ අඩංගුවන අතර එමගින් ශක්තිය කිලෝ කැලරි 140 ක් පමණ නිපදවයි. එහෙත් එයින් ඇතිවන කිසිදු පෝෂණ වටිනාකමක් නැත.
සීනි අඩංගු බීමවල බලපෑම
සීනි භාවිතය කොතරම් හානිකරද යන්න අප දැන් මෙසේ විමසා බලමු. ශරීරයේ බර වැඩි වීම, තරබාරුව, හෘද රෝග, දත් දිරායාම, අස්ථිවල ඝනත්වය අඩු වීම, නිසා ඇතිවන ඔස්ටියෝපොරෝසීස් වැනි සෞඛ්‍ය ගැටලු වලට ඇති අවධානම වැඩිවීමට මෙම පාන වර්ග හේතුවෙයි. මේ වන විට ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටලු අතරින් අධික තරබාරු බවට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ සීනි අන්තර්ගත බීම.
පරිභෝජනයට ඇති නැඹුරුතාවයයි. එමගින් මුලු ශක්ති පරිභෝජනය පමණක් ඉහළ යන අතර අනෙකුත් කිසිදු පෝෂක කොටස් අඩංගු නොවෙන බැවින් ඝන ආහාර මගින් දැනෙන කුස පිරුණු බව ඇති නොවේ. එයින් ඇතිවන අතුරු ඵලයක් ලෙස මුලු ශක්ති පරිභෝජනය ඉහළ යන අතර අමතරව ලැබෙන කැලරි ප්‍රමාණයද මේදය ලෙස ශරීරයේ තැන්පත් වෙයි.
සිනි එක්කළ බීම වර්ග පානය කිරීමෙන් අනෙකුත් ආහාර සඳහා ඇති රුචිකත්වය යටපත් කරන අතර ප්‍රෝටීන් විටමින් කණිජ ලවණ. හා ආහාරමය තන්තු වැනි අත්‍යවශ්‍ය පෝෂකයන් නොලැබී යාමෙන් පෝෂණ ඌණතාද ඇතිවෙයි.
සමීක්ෂණ මගින් පෙන්වා දී ඇති පරිදි සීනි එක්කළ පාන වර්ග වැඩිපුර ගැනීම, අධි රුධිර පීඩනය, හෘද රෝග පරිවෘත්තීය සහ ලක්ෂණය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇතිවීම අතර සෟජු සම්බන්ධතාවයක් පවතියි.
සාමාන්‍යයෙන් සීනි එක්කළ බීම නිතර පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම එසේ එවැනි බීම අවම ලෙස පානය කරන පුද්ගලයෙකුට වඩා සියයට විසි හයකින් වැඩි ය.
දශක දෙකක් පුරා පිරිමි පුද්ගලයින් 40 ක් යොදා කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව පෙන්වා දෙන ප්‍රතිඵලය වනුයේ සිනි එක්කළ බිම වර්ග දිනකට එක් බෝතලය බැගින් පානය කළ පුද්ගලයන්ගේ හෘදයාබාධ ඇතිවීමේ හෝ හෘද රෝගයකින් මිය යාමේ අවදානම ඉතා කලාතුරකින් සීනි අඩංගු බීම පානය කරන පුද්ගලයෙකුට වඩා සියයට විස්සකින් වැඩි බවයි. කාන්තාවන් යොදා කරන ලද එවැනිම සමික්ෂණයකින්ද එවැනිම සබඳතාවයක් පෙන්වාදී ඇත.
සිසිල් බීම මෙන්ම ක්‍රීඩකයන් සඳහා සැකසූ පාන වර්ග වැනි සීනි සහිත බීම වර්ගවල අධික ආම්ලිකතාවය දත් දිරායාමට හේතු පාදක වන බව එවන් සමික්ෂණවලින් පෙන්වා දී ඇත. එමෙන්ම ඇතැම් බීම වර්ග වල කැෆේන් අඩංගුවනි අතර එය වැඩිහිටියන්ගේ වකුගඩුවල ගල් ඇතිවීම ද බලපායි. තවද ඒවා දරුවන්ගේ නින්දටද බාධා කරන අතර නින්දේදී මුත්‍රා පිටවීම, හා කාංසාව වැනි රෝග තත්ත්වයන්ද ඇතිකරයි.
දැන් අපි සීනි වලට අබ්බැහියක් ඇතිවන්නේ කෙසේදැයි විමසමු
සීනි ආහාරයට ගැනීමෙන් රුධිරයේ පවතින ස්නායු උත්ප්‍රේරකයක් වන ඩොපමින්, ට්‍රිප්ටොෆන්, සෙරටොනින් නම් රසායණික ද්‍රව්‍ය වැඩිවෙයි. සෙරටොනින් මගින් වේදනාව පාලනය කිරීම සහ නිදිමත පාලනය කිරීමක්ද සිදුවේ. සෙරටොනින් මට්ටම ඉහළ යෑමේදී පුද්ගලයෙකුට කායික මානසික සුවතාවයක් දැනේ.
සීනි වලට ඇබ්බැහිවීම කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට වඩා බලවත් වෙයි. කොකේන් වැනි මත්ද්‍රව්‍ය මගින්ද සිදුවන්නේ රුධිරයේ පවතින ඩොපැමින් රසායණිකය ඉහළ යෑම හා එමගින් එම මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහිවීමක් සිදුවීමයි. ආහාරවල ඇති සීනි මගින්ද රුධිරයේ ඩොපැමින් රසායණිකයේ මට්ටම ඉහළ යන අතර එමගින්ද පුද්ගලයෙකු සීනි සඳහා ඇබ්බැහිවීමක් සිදුකරයි.
සීනි ආහාරයට ගැනීමේදී අපගේ මොළය සීනි ශරීරයට ලැබෙන තුටු පඩුරක් සේ සිතයි. එසේ වනුයේ මිනිස් මොළයේ ඇති එක් ප්‍රදේශයක් මගින් සීනි සිරුරට ලැබෙන ත්‍යාගයක් ලෙස අවබෝධකර ගන්නා බැවිනි. එනිසා තව තවත් සීනි ගැනිමට පෙළඹෙයි.
අප සිරුරට අවශ්‍ය ප්‍රධාන කාණ්ඩ තුනකි. එවා නම් මේදය සහ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේටි වේ. සීනි යනු කාබන්, හයිඩ්රජන් හා ඔක්සිජන් අනුවලින් සමන්විත කාබෝහයිඩ්රෙටයකි. වෙනත් කාබෝහයිඩ්රේට් හා සසදා බලන කල සීනි යනු සරල අනුවර්ගයක් වන අතර එය පහසුවෙන් කුඩා කොටස්වලට කඩා සිරුරට අවශෝෂණය කර ගැනීම පහසු වේ. මෙම සරල සීනි ග්ලූකෝස්, ෆෘක්ටෝස් සහ සුක්රෝස් යනුවෙන් වර්ග කීපයකි. මෙම විවිධ අණු වර්ග එකතුවිමෙන් අපට හමුවෙන සීනි ලැබෙයි.
ඇබ්බැහිවීම යනු මානසික ගැටලුවක් වන අතර ඊට අමතරව එය කායික ගැටලුවක් බවටද පත්වෙයි. යම් මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි විම, එම මත් ද්‍රව්‍ය මත යැපීමට සම කළ හැකිය යම් මත් ද්‍රව්‍යයක් මත යැපීම යනු එම ද්‍රව්‍ය ගැනීම සදහා ඇතිවන පාලනය කරගත නොහැකි ආශාවයි. සාමාන්‍යයෙන් මත් පැන් සහ මත් ද්‍රව්‍ය මෙසේ ඇබ්බැහි වන ද්‍රව්‍ය ලෙස සලකන අතර සීනි ඊටත් වඩා දරුණු ලෙස ඇබ්බැහිවන ද්‍රව්‍යයකි. සීනි සම්බන්ධව සැලකීමේදි පාලනයකින් තොරව සීනි අනුභව කිරිමෙන් ශරීරයට ඉතා අහිතකර ප්‍රතිඵල ගෙනදෙයි.
සීනි ඇබ්බැහිය නවත්තගන්න නම්
සීනි සහිත බිම හා ආහාර නිවසට ගෙන ඒම අඩු කරන්න.
වැඩි වැඩියෙන් දවස පුරා ජලය පානය කරන්න. උදෑසණින්ම පෝෂ්‍යදායක ආහාරයක් ගන්න. ප්‍රධාන ආහාරවේල් මග නොහැර වෙලාවට ගන්න.
අමතර කෙටි ආහාර සඳහා රටකජු කඩල, පලතුරු වැනි ආහාර ලබාගන්න.
වැඩිපුර ස්වභාවික පානයන් වන කුරුම්බා, තැඹිලි, මේදය අඩු නැවුම් කිරි, සීනි නොදැමූ තේ පලතුරු යුෂ වැනි දෑ පානය කර ස්වභාවික රසයන්ට හුරු වෙන්න.
මානසික ආතතිය අඩු කරගන්න. භාවනාව, මිහිරි සංගීතයට සවන්දීම, පරිසරයේ සුන්දරත්වය වින්දනය කිරීමට සිනාසීම වැනි දේ කරන්න.
අමතර ශක්තිය වැය කිරිමට දිනපතා හෝ සුලු හෝ ව්‍යායායම කරන්න. ඇවිදීම සෙල්ලම් කිරීම, ගේදොර වැඩ කිරීම, ශරීරය චලනය වෙන වෙනත් ක්‍රියාකාරකම්.
ජාතික පෝෂණ මාසය( 2017 ජූනි ) නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාරි්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරෙණි.