උදේට ඇහැරුණාම ඇඳෙන් බිමට අඩියක් තියන්න බෑ. හරියට උලකින් අනින්න වගෙයි. ටික දුරක් බොහොම අමාරුවෙන් බිත්තියක් අල්ලගෙන ගියාට පස්සෙ ඔන්න වේදනාව ටිකක් අඩුවෙනවා.මේ අපේ කාන්තා පාර්ශ්වය බොහෝ දෙනෙකු නිතර පවසන කාරණයකි. කෙසේ වෙතත්, මෙය රෝගී තත්ත්වයක් බව බොහෝ දෙනා නොදන්නවා සේම, තවත් අය මේ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ගොස් හති වැටී සිටිති. 'අද සෞඛ්‍ය පිටුව' තුළින් අපි කතා කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන අස්ථි ලියලනවා යැයි කියන රෝගය සම්බන්ධයෙනි. මෙයට ආයුර්වේදයේදී 'වාත කණ්ඨක යැයි කියයි.
උදෑසන අවදි වූ විගස දෙපය බිම තබා ගැනීමට නොහැකි බොහෝ කාන්තාවන් අපට ඔවුන්ගේ වේදනාව පවසන්නේ 'වාත කණ්ඨක' තත්ත්වයෙන් ඔවුන් පෙළෙන බව නොදැනය. විලුඹ අස්ථියට, සන්ධියට කිසිදු බාහිර අනතුරක් සිදුනොවී හට ගැනෙන මේ වේදනාව, තීව්ර වේදනාවක් ගෙන දෙන්නකි. ඒ අනුව, මේ %වාත කණ්ඨක^ රෝගය ඔබටත් වැළඳී ඇති බව ප්රත්යක්ෂ කරගැනීමට නම් පහත සඳහන් රෝග ලක්ෂණවලින් ඔබත් පිඩා විඳින්නේ දැයි ඔබටම විමසා බැලීමට පුළුවන.
රෝග ලක්ෂණ
උදෑසන අවදි වූ විගස ඇඳෙන් නැගිට විලුඹ බිම තබා ගැනීමට නොහැකි වෙයි.
විලුඹ බිම තබන විට උලකින් අනිනවා වැනි දැඩි වේදනාවක් ඔබට දැනෙයි.
යම් වේලාවක් අැඳෙහි වාඩි වී සිට අසල වූ බිත්තියක් අල්ලාගෙන ක්‍රමයෙන් අඩි කිහිපයක් ඉදිරියට යනවිට වේදනාව තරමක් අඩුවෙයි.
ඔබ ඉහත රෝග ලක්ෂණ ගණන් නොගෙන සිටින විට, මීට නිසි ප්‍රතිකාරයක් නොගෙන සිටින විට උදෑසන කාලයට පමණක් සීමා වී තිබූ මේ විලුඹ වේදනාව දවසේ වැඩි වාර ගණනක් ඔබට අත්විඳීමට සිදුවනු ඇත. එමෙන්ම, ඔබ මේ වේදනාවෙන් මිදීම සඳහා අපහසුවෙන් ඇවිදීමට ගොස් ඔබේ බත්කෙන්ද, දණහිස, කොන්ද වේදනාවද පසු කාලීනව ඇතිවීමේ අවදානමක් පවතී.
රෝගය ඇතිවීමට හේතු
අප මුලින් සඳහන් කළ ආකාරයටම මේ රෝගයෙන් වැඩි වශයෙන් පීඩා විඳින්නේ පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වයයි. එසේ නම්, ඔබට මෙතරම් වේදනා ගෙනදෙන මේ විලුඹ කැක්කුම හෙවත් වාත කණ්ඨක ඇති වන්නේ කෙසේදැයි යන්න අපි විමසා බලමු.
ශරීරයට දෛනිකව අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබීම හේතුවෙන් ඇති වන ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ අයන සාන්ද්‍රනය ඉහළ යාම සිදුවිය හැකි දෙයකි. එවිට එම රුධිරයේ ද්‍රාවිත, වැඩිපුර අයන සිරුරේ විවිධ ස්ථානවල තැන්පත් වීම සිදුවන්නේ රුධිරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහාය. එය වැඩි වශයෙන් සිදුවන්නේ අස්ථි හා සන්ධි ආශ්‍රිතවය. අස්ථිභවනය වීම් (Calcification) නිසා ඇතිවන මේ තත්ත්වයන් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ Bone Spurs යනුවෙනි. මෙවැනි අස්ථිභවනය වීම් විලුඹ සන්ධියේ යටි පතුලේ කවාලිකාවේද (Plantar Fascia), අනුගුල්ප ස්ථානයේද (Insertion of Achilles Tendon), විලුඹ අස්ථියේද (Calcaneus Bone) සිදුවිය හැකිය. ඒ අනුව, විලුඹ වේදනාවට ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා ඇතිවන අස්ථිභවනය වීම් හේතුවක් ලෙස දැක්වීමට පුළුවන.
ඊට අමතරව අඩි උස සපත්තු (High Heel Shoes) පැලඳීම නිසාද විලුඹ සහ අනුගුල්ප කණ්ඩරාවට අධික පීඩනයක් ඇති වන බැවින් මෙයද විලුඹ වේදනාව ඇති වීමට යම් හේතුකාරයකයක් වෙයි.
එමෙන්ම, නිරන්තරයෙන් සරඹ (වේගයෙන් ශබ්ද නැගෙන ලෙස පාදය පොෙළාවට පතිත වන ක්‍රීඩාවක්) පුහුණුවන අයට ඔවුන්ගේ පාදය වේගයෙන් නිතර පොළොවේ වැදීම නිසා විලුඹ අස්ථිය සහ යටි පතුල් අනුගුල්ප කණ්ඩරා කෙළවර යම් ආකාරයකට තුවාලවීමක් හෝ ප්රදහනයකට ලක්වීමක් සිදුවිය හැකිය. මෙවැනි ඉතිහාසයක් ඇති අයටද පසු කාලීනව විලුඹ වේදනාව ඇති වේ.
අධික තරබාරු අයටද තම සිරුරේ අධික බර දරාගනිමින් ඇවිදීම හෝ සිටගෙන සිටීම නිසාද විලුඹ වේදනාව ඇති වේ.
මීට අමතරව, නිරන්තරයෙන් ඇසිඩ් බහුල ආහාර / ආම්ලිකතාව වැඩි ආහාර ගැනීමද මෙම රෝගයට හේතුවක් ලෙස දැක්විය හැකිය.
රෝගය සඳහා ප්‍රතිකාර
මේ රෝගී තත්ත්වය ඇති අය සාමාන්‍ය දෛනිකව පානය කරන ජලය ප්‍රමාණයට වඩා දෙගුණයක්වත් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
එමෙන්ම, දැනට මේ රෝගය මුල් අවස්ථාවේ පවතින හෝ රෝගය නොවැළඳුණු අය පවා සාමාන්‍ය දෛනිකව පානය කරන ජලය, ප්‍රමාණවත් ලෙස සෑම පැය භාගයකට වරක්වත් ලබාගැනීමට වගබලා ගත යුතුය.
මීට අමතරව, ශරිරයේ බර අඩුකර ගැනීම, අධික ආම්ලිකතාවයෙන් යුතු ආහාර ගැනීමෙන් වැළකීම මෙන්ම, ක්‍රීඩාවන් හිදී මෙන්ම, අඩි උස සපත්තු පැළඳීම වැනි ක්‍රියාවලදී තම ශරීරයට අනවශ්‍ය හානියක් ගෙන නොදෙන ආකාරයෙන් ක්‍රීඩාවක් හෝ විලාසිතාවක් කිරීමටද ඔබ බුද්ධිමත් විය යුතුය.
බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ රෝගයට වේදනා නාශක ලබාදීම, එන්නත් කිරීම් වැනි ප්‍රතිකාර ඇති නමුත් එය තාවකාලික සහනයක් ගෙන දෙන්නකි. නමුත්, ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මේ සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම රැසක් ඇති අතර, ඔබට කිසිදු අතුරු ආබාධයක් නොමැතිව 'වාත කණ්ඨක' රෝගය නිට්ටාවටම සුවකරගත හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හෝ ආයුර්වේද රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමය.