දීප්තිමත් නෙත් සඟලට උරුමකම් කීමට හැකි නම් ඔබත් කැමති වනවා නොඅනුමානය. නමුත් ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව ඇස් වටා සම කළුපැහැ වීම මෙන්ම ඇස් යට සම එල්ලා වැටීමත් සිදුවිය හැක. මෙහිදී ඉහත සඳහන් කළ අවස්ථා දෙකම එක විට හෝ වෙන් වෙන්වද ඇති විය හැක.
මෙය වයස් භේදයකින් තොරව ඇතිවන තත්ත්වයක් වුවද බොහෝදෙනාට මැදි වයසත් සමගම ඇති විය හැකි සුලභ තත්ත්වයකි. නමුත් මෙහිදී මෙම තත්ත්වය නිසා මානසික පීඩාවන්ට ගොදුරු වේ.
ස්වාභාවිකවම ඇස් වටා ඇති සම තුනී වන අතරම ඉතා සංවේදී වේ. මෙහිදී සමට යටින් වතුර එකතු වීම නිසා ඇස් යට සම එල්ලා වැටීමට පටන්ගනී. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඉක්මනින් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු අතර, එසේ නොමැති වූ විටදී ඇස් වටා ප්‍රදේශය නැවත යථා තත්ත්වයට ගැනීමට අපහසු වේ. ඇස් වටා කළු වීම සහ සම එල්ලා වැටීමට බොහෝ හේතු කාරණා මුල්විය හැක. මෙලෙස බලපාන හේතූන් බොහෝ විට පොදු වූ කාරණා විය හැක.
අහිතකර පුරුදු
අධිකව නිදිවැරීම්, දුම් හා මත්පැන් භාවිතය, මානසික ආතතතිය ආදී හේතූන්ද ඇස් වටා කළු පැහැ වීම හා සම එල්ලා වැටීමට හේතු වේ.
ආසාත්මිකතා
විවිධ ආහාරයන් හා ආලේපනයන් හේතුවෙන් ඇතැම් පුද්ගලයන් නොයෙකුත් ආසාත්මිකතාවයන්ට ගොදුරු වේ. එවැනි අවස්ථාවලදී නිතරම ඇස් ඇල්ලීම, පොඩි කිරීම මෙන්ම කැසීම හේතුවෙන්ද මෙලෙස ඇස් වටා කළු පැහැ විය හැකිය.
දද රත්තය හෙවත් දද හේතුවෙන්ද ඇස් වටා කළු පැහැ වීමට පටන් ගනී.
නොයෙකුත් සෙම් රෝග නිසා
දිගුකාලීනව පවතින පීනස තත්ත්වය හා නාස් කුහරයේ ඇතිවන ආසාත්මිකතාවන්ට (Sinusitis) මෙන්ම නාසයේ ඇතිවන අවහිරතා හේතුවෙන්ද ඇස් වටා අවපැහැ විය හැක.
අධික හිරු කිරණ
අප නිරතුරුවම හිරු කිරණයන්ට අධික ලෙස නිරාවරණය වන්නේ නම් අපගේ ශරීරයේ වර්ණයකයන් වැඩිපුර ඇති වී ඇස් යට සම අවපැහැ විය හැක.
පෝෂණ ඌණතා
විටමින් ඌනතා නිසා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙනවා මෙන්ම ඇස් වටා සමද තුනී විය හැක.
රූපලාවණ්‍ය ආලේපන
ඇස් වටා ඇති සම ඉතාමත් සංවේදී වීම නිසා රූපාලංකාරය සඳහා යොදන ආලේපනයන් නිසි ලෙස ඉවත් නොකළහොත් එහි සම තුනී වීමට මෙන්ම අවපැහැ වීමට පටන් ගනී.
හෝමෝන අසමතුලිතතා
විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ එක් එක් කාලවලදී සිදුවන හෝමෝන විපර්යාසයන් නිසාත් (උදාහරණ ලෙස ගර්භිණී කාලය) මෙලෙස ඇස් යට සම අවපැහැ වීම සිදුවිය හැකිය.
මෙම හේතූන්ට මුල්වන හේතුව සඳහා මූලිකවම ප්‍රතිකාරයන් යොදනු ලැබේ. එනම් යම් හෙයකින් ඔබට ආසාත්මිකතාවක්, දද හෝ සෙම් රෝගයක් නම් ඒ සඳහා ප්‍රතිකාර නියම කිරීමක් සිදුකරනු ලැබේ.
මීට අමතරව ඔබට ගැළපෙන ආකාරයේ ආලේපනයන් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබයි.
ඇස් යට අවපැහැය වළකාගැනීමට අනුගමනය කළහැකි ක්‍රියාමාර්ග
සුවබර නින්දක් ලැබීම
ශරීරයට අවශ්‍ය පරිදි අනිවාර්යයෙන්ම විවේකගත යුතුමය. මානසික පමණක් නොව කායික නිරෝගීතාවටද අනිවාර්ය අංගයක් ලෙස සුවපහසු නින්ද අත්‍යවශ්‍ය වේ. සමේ පැහැයට සුවබර නින්දක් අත්‍යවශ්‍ය බව පරීක්ෂණ සාධක ඔප්පුකර ඇත.
ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම
අප ජීවත්වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑම අනිවාර්යයෙන්ම බලපෑම් කරනු ලබයි. අප නිදාගන්නා විට මුනින් අතට හැරී හෝ පැත්තට නිදාගැනීමෙන් ඇස් යට ජලය එකතු විය හැක. මේ නිසා උඩු අතට හැරී නිදාගැනීම ඉතාමත් යෝග්‍ය වේ.
සමේ තෙතමනය රඳාගැනීම
මෙහිදී ඇස් වටා ඇති සමේ නිරෝගී පැවැත්මට නිසි පෝෂණය මෙන්ම මනා තෙතමනයක්ද අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය තෙතමනය රඳා පවත්නා ආලේපනයන් (Cream) භාවිත කිරීම.
අනවශ්‍ය ලෙස හිරු එළියට භාජනය නොවීම
හොඳ තත්ත්වයේ අව් කන්නාඩියක් හෝ අව්වෙන් ආරක්ෂා වන ක්‍රීම් භාවිතය මේ සඳහා සුදුසු වේ.
රූපලාවණ්‍ය ක්‍රම
ප්‍රමිතියෙන් යුතු Canceller හෝ වෙනත් ලප කැලැල් මැකෙන රූපලාවණ්‍ය ආලේපන වෙළෙඳ පොළෙන් ලබාගෙන ආලේප කිරීමෙන් ඇස් යට අවපැහැ වීම මඟහරවාගත හැක.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කන්නංගර මහතාගේ උපදෙස් මත සැකසිණි.