හර්බල් නැතිනම් ශාකශාර යනු ආයුර්වේදය යැයි හැඟෙන පරිදි ඇතැම් ආලේපන වෙළඳ පොළට පැමිණීම දැන් කළක සිට සිදුවන දෙයක්. නමුත් මේ ශාකසාර යැයි කියාගන්නා ආලේපන ආයුර්වේදය මුවාවෙන් බොහෝ විට යම් යම් අයට අසාත්මිකතා ඇතිකිරීම කොතරම් සුලභව පවතිනවාද යන්න චර්ම රෝග සායනවලදී නිරන්තරයෙන්ම දැකිය හැකි තත්ත්වයක්. ශාකසාර යැයි පවසන සියල්ල ආයුර්වේදය නොවේ නම් ශාකසාර ආලේපන සම්බන්ධයෙන් ආයුර්වේදයෙන් නිර්දේශ කරන ඖෂධ අදාල ප්‍රතිඵල ලබානොදෙන්නේද? මේ ගැටලුව ඔබට නිරන්තරයෙන්ම මතුවන ගැටලුවක් වන බැවින් අද සෞඛ්‍ය පිටුව තුළින් මේ කාරණය සම්බන්ධයෙන් වඩා පුලුල් විග්රහයක යෙදෙන්නට අප අදහස් කළා.
කිසියම් අයෙක් ශාකසාර සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන අවස්ථා ලෙස අපට බොහෝ විට හමුවන්නේ චර්ම රෝග සහ චර්මයේ ඇතිවෙන නොයෙකුත් ආබාධ සඳහා ප්‍රතිකාර යෙදීමේදියි. ආලේපන යනු සම හරහා ශරීරයට උරාගැනීමට සැලැස්වීමෙන් යම් ප්‍රතිකාරයක් සලසා ගන්නා ක්‍රමයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. සමෙන් යම් යම් දේ පිට කිරීම මෙන්ම ඇතුලු කිරීමේ හැකියාවද පවතින බව මේ අනුව ඔබට වැටහෙනු ඇත. සමෙන් විෂ ඉවත් කිරීමට මෙම ක්‍රමය යොදාගනු ලැබුවේ ඈත අතීතයේ පටන්ම බැවින් මෙම ප්‍රතිකාර ක්රමයේ වරදක් පවසනු නොහැකිය. රත් හඳුන් ආලේප කිරීම, සුදු හඳුන් ආලේප කිරීම ,කොකුම් ආලේප කිරීම වැනි ආලේපයන් තුළින් සමට ප්‍රතිකාර සැලසීම සම්බන්ධව විටින් විට ඔබ අසා ඇති . පිළිස්සීමක් ඇති වූ අවස්ථාවක වහාම කෝමාරිකා මදය ගැල්වීම ආදී පිළිවෙත් ඇතැම් විට ඔබත් සිදු කර ඇතිවාට සැකයක් නැහැ.
සම යනුවෙන් හඳුන්වන්නේ සිරුරේ පවතින විශාලතම අවයවයයි. සිරුරේ සෑම අවයවයක්ම ආවරණය වන පරිද්දෙන් අපට ඇහැට දැකගත හැකිවන පරිද්දෙන් පිහිටා ඇති මෙම අවයවය අනෙකුත් අවයවයන්ට වඩා අපේ ඇස් ඉදිරිපිට දීම යම් යම් වෙනස්කම්වලට භාජනය වන අයුරු අපට දැකගන්නට පුලුවන්. මේ නිසා සම, අප සෑම කෙනෙකුටම පිහිටා තිබෙන නමුත් එක සමාන නොවන බව අප විසින් අවබෝධකරගත යුතු තත්ත්වයක් . සමේ ස්වභාවය බොහෝ විට කිසියම් මුදු බවක් දැක්වීම අප හොඳින් අත්විඳ ඇති දෙයක්. නමුත් ඇතමුන්ගේ සමේ අප මේ කතාකරන මෘදු ගතිය යම් යම් ආකාරවලින් වෙනස් ස්වභාවයක් ගන්නට පුලුවන්. මෘදු බව වෙනුවට යම් රළු බවක් සියුම් රැළි සහිත බවක්, තෙල් සහිත බවත් ආදී වශයෙන් සමේ ස්වභාවයන් වෙනස් වෙන්නට පුලුවන්. සාමාන්‍යයෙන් ආයුර්වේදයෙන් බැලූවත් බටහිර වෙදකම අනුව බැලුවත් චර්මයේ ස්වභාවය සම්බන්ධයෙන් පවතින ප්‍රබේධ එකම තලයක පවතින්නක්. සිනිඳු සම, රළු සම වශයෙන් අප හඳුන්වන මෙම ස්වභාවයන් තෙල් සහිත සම , වියළි සම , මිශ්‍ර සම සහ සාමාන්‍ය සම ආදී වශයෙන් හඳුන්වන්නට පුලුවන්. සාමාන්‍යයෙන් තෙල් සහිත සමක අපට දිලිසෙන සුලු තෙත් බවක් මෙන්ම නිතර කුණු දූවිලි රැඳෙන සිහින් බිබිලි , කුරුලෑ මතුවන සමක් වශයෙන් හඳුනාගත හැකිය. අප වඩාත් ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි සමක් සම්බන්ධයෙන් වන අතර මෙම සම සංවේදී සමක් ලෙස ක්‍රියාකරයි. වියළි සම තරමක වියපත් ලකුණු පෙන්වන අතර සම මත නියපොත්ත තබා ලිහිල්ව මද දුරක් ඉරි ඇඳි විට එය සම මත දිස්වන සුදු පැහැ ඉරක් ලෙස මතු වී පෙනෙයි.
එය වියළි සම හඳුනාගත හැකි ප්‍රභලම අවස්ථාවකි. වියළි සමේ යම් වියපත් බවක් දිස්වෙන අතර එහි අලංකාරයක් මතුවී නොපෙනෙන්නට ඉඩ ඇත. මිශ්‍ර සම යනු තෙල් සහ වියළි යන ලක්ෂණ දෙකම අඩු වැඩි වශයෙන් දිස්වන්නකි. මදක් රැළි මෙන්ම තෙල් සහ බිබිලි සහිත සමක් මෙම ආකාරයේ සමක් ලෙස හඳුනාගත හැකිය. තෙල් සහිත ස්වභාවය හෝ වියළි ස්වභාවය යන දෙකම නැතිව සිනිඳුවට බිබිලි ගඩු රහිතව අලංකාරවත්ව පිහිටා ඇති සමක් සාමාන්‍ය සමක් වන අතර මෙම සම පැහැපත් වුවත් නැතත් නිරෝගී පෙනුමක් අලංකාරයක් මතු කරයි. සමේ ස්වභාවයන් අනුව සමට යෙදිය යුතු ද්‍රව්‍යයන්ද වෙනස් වෙයි. මේ නිසා හර්බල් යැයි කියා වෙළඳු පොළට එන හැම ආලේපනයම හිතුමතයේ තෝරා ගැනීම ඉතාම හානිකරය. හර්බල් යනු එම අවස්ථාවේදීම සකස් කරගත් ශාක සාර ඇසුරින් නිපදවා ගන්නා ආලේපනයන් වන මුත් සකස් කර වෙළඳ පොළට එන ආලේපන වලට කල් ඉකුත් වන දිනයක් ඇති බව ඔබ දනී. කල් ඉකුත්වන දිනය ඈත වන්නට වන්නට එයට එක්කර ඇති රසායණ ද්‍රව්‍යද වැඩි විය හැකි බව ඔබ දැන සිටිය යුතුමය. එවිට ඔබ ශාකසාරයට අමතරව ඔබේ සම කිසියම් ආකාරයකට ශාකසාර නරක් නොවීම පිණිස යොදන රසායණිකයකටද නිරාවරණය කර ඇත.
මෙවන් අවස්ථාවල ඇතමුන්ට අසාත්මිකතා ලෙස මුහුණ පුරා පැතිරෙමින් විශාල වශයෙන් බිබිලි මතුවන්නේ තුවාල මතු වී කැලැල් ඇති වී වණ වෙන්නට පටන් ගත්තේ ශාක සාර නිසා නොවේ. එක්කෝ ඔබේ සමේ ස්වභාවයට එම ආලේපනය නොගැලපෙන නිසා හෝ එයට යොදා ඇති රසායණික ඔබේ සමට අසාත්මික නිසා හෝ විය හැකිය. එසේත් නැති නම් තවත් දෙයක් සිදු වීමට හොඳාකාරවම ඉඩ තිබේ. ඇතැම් විට ඔබේ සමෙන් මෙසේ මතුකරවන්නේ ඔබේ ශරීරයේ වා පිත් සෙම් යන තිදොස් කිපීමෙන් ඇති වූ කිසියම් රෝගයක පෙර ලක්ෂණයක් විය හැකිය. එයට ශරීරයට බෙහෙත් නොයොදා පිටතින් ගල්වන ආලේප මගින් කිසියම් පිළියමක් යෙදවීමට උත්සහ කිරීම නිශ්ඵල ක්‍රියාවක් වන්නට ඉඩ තිබේ. කිසිවිටෙක එවන් අවස්ථාවක කිසිම ආලේපනයකින් සහනයක් ලද නොහැකි විය හැකි අතර ඒ සඳහා නිසි රෝග පරීක්ෂාවකින් අනතුරුව ලේ පිරිසුදු කරන්නටත් තිදොස් සමනය කරන්නටත් ප්‍රතිකාර යොදා සිටිය යුතුය.
දැන් අප ස්වභාවික ශාකසාර හා සමේ ඇතිවන ව්‍යාධීන් සම්බන්ධයෙන් කතාකර සිටිමු. සමේ ඇතිවන ප්‍රභලම ගැටලුවකි කොරළ ඇති වීම. මෙසේ කොරළ ඇතිවීම විවිධ හේතු මත ඇතිවිය හැකි අතර සමහර විට එම තැනැත්තා මවුකුස සිටින විට මව ලබාගත් ආහාර විහරණ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙන්නට ඉඩ තිබේ. මේ හේතුව හැරෙන්නට ආහාර පානවල විෂමතා මෙන්ම රක්තය හේතුවෙන් ඇතිවන හේතු කෙරෙන් මතු වී පෙනීමට ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවල බොහෝ දෙනෙක් තමන්ගේ සමේ ස්වභාවය ගැන නොදැනම පුවත්පත්වල රූපවාහිණියේ හෝ වෙනයම් පත පොත් වල පළකරන ආලේපන සාදා ගැල්වීම නිරන්තරයෙන්ම දැකිය හැකි පුරුද්දකි. මෙයින් සිදුවෙන්නේ තව තවත් රෝගය උත්සන්න වීම විය හැකිය. එයට හේතුව ඔබ යොදාගන්නා ආලේපනයට අයත් ශාක සාර ඔබේ සමේ ස්වභාවය සමග නොගැලපෙන්නට ඇති ඉඩ කඩ නිසාය.. අනෙක් කාරණය නම් අලුහම් ඇතිවීමය .
අලුහම් යනු කිසියම් දිලීරයක් හේතුවෙන් සම මත වැඩෙනා සමේ නිරෝගිබවට තර්ජනයක් වන තත්ත්වයකි. මෙය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ විය හැකිවාක් මෙන්ම දහඩිය දමන විට කැසම ඇති වී තුවාල දමා සම වණ වීමට හේතුකාරණා සපයන්නටත් ඉඩ ඇති තත්ත්වයකි. හේතුව කුමක් වුවත් මුහුණ මත ඇති වී තුවාල ලෙස පැතිරී ගිය කුරුලෑ වුවත් ලප කැලැල් පවා ඉවත්ව යන ආකාරයෙන් ප්‍රතිකාර යෙදීමට හැකියාව පවතින අතර එය මෙම ඡායාරූප ඇසුරින් තවදුරටත් තහවුරුවනු ඇත. මෙවන් තත්ත්වයකදී හිතුමතයට ආලේප තැවරීමෙන් මේ කාරණය මර්දනය කරන්නට ඉඩක් නොලැබෙයි. ස්වභාවයෙන්ම වියළි සමක් ඇති අයෙකු තවත් සම වියළී යන ආලේපනයක් වෙත යොමුවුවහොත් සිදුවන්නේ රෝගය වෙනත් අතකට හැරීමය. රක්තය හේතුවෙන් ඇතමුන් එක්සීමා වශයෙන් හඳුන්වන දද වැනි තත්ත්වයන්ටද මුහුණ පානු ලබන අතර ඒවාට ගොඩ වෙදකම් යෙදීම ඉතාම හානිකරය.
ආයුර්වේද ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ මිනිසාට ඇතිවන ව්‍යාදීන් සොබාදහමේ ආධාරයද ලබා සුවපත්කරවන ශාස්ත්‍රයක් වශයෙණී. ඒ සඳහා හිතුමතයේ වෙදකම් තීරණය කිරීමට අවස්ථාවක් නොවන්නේ ශාකසාර සම්බන්ධයෙන්ද නිසි අවබෝධයක් ඇත්තෙකු විසින් සුදුසු කල්හී සුදුසු ප්‍රමාණ හා සුදුසු ආකාරවලින් එය යෙදවිය යුතු බැවිණි. මේ නිසා සමේ ඇතිවන කුමන තත්ත්වයක් සඳහා වුවත් නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරියකගේ උපදෙස් අනුව ප්‍රතිකාරවලට යොමු වි යුතුය. කුරුලෑ, සම මත ඇතිවන ගඩු , සම කැසීමි , අකළට රැළි වැටීම් , මුහුණේ යම් යම් තැන් වල ඇතිවන අව පැහැයන් , හිසකෙස් කෙරෙහි බලපානු ලබන හිසේ සමට ඇති විය හැකි ව්‍යාදීන් සමේ කුමන ස්ථානයක වුවත් ඇතිවන කැසීම් සැරව ගැලීම් සහ වන වීම් කොරළ, අලුහම් යනාදී මේ කුමන රෝග තත්ත්වයක් වුවත් කැළැල් ඉතිරි නොවන සේ සුව කරන්නට සමත් ප්‍රභල ආයුර්වේද ප්‍රතිකාර ඒකාන්තයෙන්ම පවතින අතර ඔබට ඒ සඳහා යොමු විය හැකි හොඳම මාර්ගය නම් වෛද්‍ය නිර්දේශය හා පරීක්ෂාව මත පමණක් ඖෂධ වෙත යොමුවීමය. ඔබ ප්‍රතිකාර සඳහා යන වෛද්‍ය ආයතන පිළිබඳවත් මනා සොයාබැලීමක් කරන්න. මන්ද සම යනු අප කළින් කීවාක් මෙන්ම යම් යම් දෑ පිටකරන්නට මෙන්ම සමෙන් යමක් ශරීර ගතවන්නටද ඉඩ කඩ පවතින්නකි. මේ වන විටත් ඔබ භාවිතකරන ඔබම සකසා ගත් ශාකසාර ආලේපනවල නිවැරදි බව සම්බන්ධව පළමුව තහවුරු කරගෙන සිටින්න. වෛද්‍යවරිය අමතන්නට 0115 629539 - 0714 4017474 අද පාඨක ඔබට විවෘතව පවතී.