සැබෑ යහපාලනය වෙනුවෙන් නීතිය ප්‍රතිසංස්කරණය හෝ නීතිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ඉකුත්දා දේශපාලන වේදිකාවකදී අවධාරණය කළේය. ඔහු පැවසුවේ, “ඉස්සර හිරේ දැම්මෙ නඩු අහලයි. ඒත් දැන් හිරේ දාලයි නඩු අහන්නේ” යනුවෙනි.
එම ප්‍රකාශය කරන්නේ රටේ හිටපු ජනාධිපතිවරයෙකි. මෙරට මානව හිමිකම් වෙනුවෙන් අනූව දශකයේ ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සත්‍යග්‍රහයක නිරතවූ මානව හිතවාදියෙකි. එනිසා එවැන්නෙකු විසින් රටත් ජාතියත් සහ ප්රජාතන්ත්රවාදය ස්ථාපනයට පවතින බාධාවන් අර්ථගැන්වීමක් සුළුකොට නොතැකිය යුතු තරම්ය. ජනතාවට බුද්ධිමය පිපාසය ඇති සමයෙක ඒ සඳහා රට භාරගැනීමට වෙහෙසෙන නායකයන්ගේ මගපෙන්වීම, පූර්වාදර්ශය ඊට අනුබලයකි. යම් වැරදි මගපෙන්වීමක් හෝ සාවද්‍ය ප්‍රකාශයක් වෙතොත් එයින් නොමග යන ජනතාව නීතියත් යුක්තියත් ලෙස විකෘති මානසිකත්වයකින් යුතුව තම තීරණ තීන්දුවලට එළඹෙති. එනිසා කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුමය.
නීතිය ඉදිරියේ පිළිගත් විධිමත් නඩු විභාගයකින් වැරදිකරුවන තෙක් සෑම පුද්ගලයෙකුම නිදොස් මිනිසෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය යනුවෙන් අර්ථ ගන්වන්නේද එයමය. විශ්ව මානව හිමිකම් ප්රඥප්තිය විසින් දක්වන්නේද විධිමත් පරීක්ෂණයකින් පසු වරදකරු බවට ඔප්පුවී නම් පමණක් දඬුවම් නියම විය යුතු බවකි. එහිදී මානසික දඬුවම් විනා කායික දඬුවම් ලබානොදිය යුතු බවට නිර්ණායකයකි. අදටත් මහින්දලා පෙන්වා දෙන්නේද හොරා කීවාට අධිකරණයකින් වරදකරු වී නැති නිසාම නිවැරදි බවට එකී නෛතික තර්කයයි.
හිරේ දමා නඩු අසන ක්‍රමයක් යහපාලනය තුළ පවතින්නේ නම් එය පුද්ගලයා කෲරත්වයට පත්කිරීමකි. සැබවින්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිපාදනයන්ට පටහැණි ක්‍රියාවකි.රටේ කවුරු වරදක් කළත් වරදමය. ජනාධිපතිවරයාගේ සිට මහමග යාචකයා දක්වාම එය සිද්ධාන්තයකි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුක්තියක් ලබාදුන්නද එයද අහෝසි කම්ම තත්ත්වයට දැන් පත්ව තිබේ. රජකම් කළත් කළකම් පළදෙන බවද බැහැර කළ නොහැක්කේ මෙයට පෙර ජනපතිකම් දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායකද තම පාලන කාලය තුළ කළ වෝටර්ඒජ් ගනුදෙනුව සඳහා අධිකරණයෙන් යම් දඬුවමකට යටත් වූ හෙයිනි.
යමෙකු සැකකරුවෙකු බවට පත්වූ පසු නියමිත කාලයක් තුළ අධිකරණයක විනිසුරුවරයෙකු ඉදිරියට පත්කළ යුතුය. සාක්ෂි සලකා බලා විනිසුරුවරයා ඇප කොන්දේසි නියම කිරීම හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීම කරයි. වරදකරු වන අයෙකු බන්ධනාගාර ගත කිරීම, අත්හිටවු සිරදඬුවම් නියම වීම, අවවාද කිරීම වැනි තීන්දු විනා කායික දඬුවමකට යටත් වීමක් සිදුනොවේ.
ආණ්ඩු පක්ෂය පවසන්නේ වංචා දූෂණ සහ පොදුදේපළ පනත යටතේ අදටත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින්නේ මහින්ද පිලේ සජින් වාස් පමණක් බවය. පවතින නීතිය අනුව ගෝඨලා, බැසිල්ලා, ශිරන්තිලා, ශෂීලා හිරේ දමා නඩු ඇසුවේ නැතැයි ඔවුහු පෙන්වා දෙති. රජයේ නිලධාරීන් දෙතුන් දෙනෙකුද දිවිනැගුම හෝ ජනාධිපති කාර්යාලයේ අවිධිමත් ගනුදෙනු පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහල බවද රනිල්වාදීහු කියති.
2012 පෙබරවාරියේදී හලාවතදී පැවති ධීවරයන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකදී ඇන්තනී ප්‍රනාන්දු වෙඩි තබා මැරුවේ නඩු නොඅසා මහපාරේදී යැයි ධීවර ජනතාව පවසති. 2012 දී අර්ථසාධක ඇරමුදල ඩැහැගැනීමේ යටිසූත්තර මගඩියන් යැයි කටුනායකදී වැඩකරන ජනතාව වීදි බැසීමට එරෙහිව රොෂේන් තරුණයා නඩු නොඅසා ආණ්ඩුවෙන් මරා දැමුවේ යැයි චෝදනා කරන්නේ වැඩිබිම් සේවකයන්ය.
මහින්දගේ ප්‍රකාශ කෙරෙහි මෛත්‍රී හිතවාදීන් පවසන්නේ වෙනත් කතාවකි. රතුපස්වලදී නිරායුධ මිනිසුන් තිදෙනෙකු මහමග මරාදමා 37 ක් පිරිසකට කායික හිංසන සිදුකළේ මහින්දගේ චින්තනය යටතේ සන්ධානයේ පාලනය තුළය. ඒ ඔහුගේ රාජ්‍ය හමුදාව විසිනි. එසේ නම් ඒ මිනිසුන් උසාවි නොදමා හෝ නඩු නොඅසා මහමගදී බල්ලන් බළලුන් ලෙස මරාදැමුවේ කිනම් නීතියක් යටතේද යැයි ඔවුහු ප්‍රශ්න කරති.
පෙර කළ වැරදි වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි හිරකරුවන් තිහකට ආසන්න පිරිසක් කිසිදු නඩු විභාගයකින් තොරව මහින්දගේ පාලනය සමයේ හිරගෙදර තුළදීම මරාදැමුවේ රජයේ හමුදාවන් යැයි මානව හිමිකම් කොමිසම වාර්තා කළේද පසුගිය දිනකය.
හැම මිනිසෙකුටම ගෞරවණීය උපතක් මෙන්ම දිවි පැවැත්මක් සහ ගෞරවණීය මරණයක්ද හිමිවිය යුතුය. එය ලබාදිය යුත්තේ රාජ්‍ය පාලකයන් විසිනි. මහින්ද සිහිපත් කරදෙන්නේද ඒ ගරුත්වය අහිමිවීම පිළිබඳ කතාවකි. නැතහොත් හිරේ දමා නඩු ඇසීමේ අමුතු කලාවක් ගැනය.
කවුරු වරදක් කළත් සැකකරුවෙකු නම් පවතින නෛතික ප්‍රතිපාදන තුළ සිදුවන ක්‍රියා දාමයට එරෙහිවීමට කිසිම ජගතෙකුට හැකියාවක් නැත. නීතිය සමච්චලයට ලක්කරමින් වීදි බැස අරගල කර විනිසුරුවන්ට හූ කියමින් අධිකරණයට ගල් ගසමින් පාර්ලිමේන්තුවේ නිදි වදිමින් ජාතිවාදය අවුස්සමින් ප්‍රශ්නයෙන් පැනයාමට නොහැකිය. නීතිගරුක මිනිසුන් කිසිවෙකු එසේ විරෝධතාව දක්වා එයින් පළා යාමට උත්සාහ කරන්නේද නැත.
එසේ නම් දැන් ප්රශ්නය ඇත්තේ මහින්ද කාලේ නඩු අසා හිරේ දැම්මාද නැතහොත් හිරබත් කමින් සිටි මිනිසුන් නඩු නැතිව මරා දැමුවාද යන ප්රශ්නයකි. තිබහට පිරිසිදු වතුර පොදක් ඉල්ලා සිටි මිනිසුන් කැලෑ නීතිය යටතේවත් නඩුවත් ගොනු නොකර මහින්දගේ හමුදාවන් විසින්ම මරාදැම්මේ නම් මේ අප්‍රභංස කතාවල ඇත්ත නැත්ත විමසිය යුත්තේද මහින්ද ආණ්ඩුවෙන්මය. කැලණියේ සමෘද්ධි නිලධාරියා ගස් බැන්දේත්, වයඹ පළතේ ගුරුවරියක දණ ගැස්සුවෙත් කිනම් ආණ්ඩුවක් යටතේ කිනම් අධිකරණයක් යටතේද යන්න මෛත්‍රී යහපාලකයෝ අසති. ඔවුන් පවසන්නේ එදා ඒ කළ දේ නිවැරදි යැයි මහින්ද සන්ධානය සපථ කළ බවකි.
ජනතාවට අනුව මේවා ප්‍රලාප හෝ කෝලම් නැතිනම් නාඩගම් සහ මුසාබස්ය. ජනතාවට සිදුව ඇත්තේ මේ විකාර දෙස බලාසිටීමද? මතු පරපුරට බියෙන් සැකයෙන් තොර නීතිය ස්ථාපනය වූ නිදහස් නිවහල් ජීවිතයක්ද? අගෝස්තු 17 දින සිහිනුවණින් සිතා පැන්සල අතට ගත යුත්තේ ඒ තීරණයෙන් පසුය.