සීත සෘතුව අවසන් වෙලා ජපානයම වසන්තය කරා ගමන් කරමින් සිටියි. ජපානයේ සොඳුරුම කාලය වසන්තය කියලයි මට හිතෙන්නේ. දැන් සකුරා ගස්වල එක දෙක පොහොට්ටු හැදීගෙන එනවා. ඒ කියන්නේ වසන්තය අත ළඟටම ඇවිත් කියන එකයි. කොහොම වෙතත් සීත කාලය තරමක් අපහසු වුණත් එහි ඇති සුන්දරත්වයේද අඩුවක් නැහැ. සීත කාලය අවසන් වෙන්න පෙරාතුව අඩි කිහිපයක් උසට හිමෙන් වැසී ගිය 'අකගි' කන්දේත් 'ඔනුමා' වැවේත් ඇවිදිමින් එහි මිහිර විඳගන්න පසුගියදා මටත් අවස්ථාව උදා වුණා.
'අකගි' කන්ද පිහිටලා තියෙන්නේ අප ජීවත් වන තෝකියෝවේ ගොතන්ඩා නගරයේ ඉඳලා කි.මි 141 ක් පමණ දුරකින් පිහිටි ගුම්මා වල. ඒ හින්දා උදෑසනින්ම ගුම්මා බලා පිටත් වෙන්න අපට සිදුවුණා. හිරු මුදුන් වෙන්න හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී අපට 'අකගි' කන්ද පිහිටි කඳු පන්තියට ළඟා වෙන්න හැකියාව ලැබුණා. හිමෙන් වැසී ගිය සුදුම සුදු හිම කන්ද මා ඉදිරියේ මැනවින් දර්ශනය වෙනවා. දැන් තමයි අපි හරියටම අපේ සංචාරය පටන් ගන්නේ.
ජපන් ජාතිකයන් 'Akagiyama' හෝ 'Akagisan' ලෙසද හඳුන්වන 'අකගි' කන්ද ගුම්මා හි පිහිටි ප්‍රධාන කඳු තුනෙක් එකකි. ගිනි කන්දේ විධාරණය හේතුවෙන් නිර්මාණය වූ කල්දේරා, කල්දේරා විල් කිහිපයකින් සහ කඳු මුදුන් කිහිපයකින් සංයුක්ත ගිනි කන්දක්. මේ කල්දේරා, කල්දේරා විල් සහ කඳු මුදුන් හේතුවෙන් 'අකගි' කන්දේ අලංකාරය තව තවත් වැඩි වෙලා කියා මට සිතෙනවා. උසම මුදුන 'Kurobisan' වන අතර, එය මීටර් 1828 ක උසකින් යුක්තයි.
පුරාණ ලේඛනවලට අනුව මෙය අවසන් වරට විධාරණය වෙලා තියෙන්නේ 1251. ඒ නිසාම ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මෙය සක්‍රීය ගිනි කන්දක් ලෙස හදුන්වනවා. එහෙත්, අවසන් විදාරණයෙන් පසු සෑහෙන කාලයක් ගතව ඇති බැවින් ඇතැම් ප්‍රවීණයන් මෙය අක්‍රීය ගිනි කන්දක් ලෙසද හඳුන්වනවා. ස්වභාදහමේ හැසිරීම කාටවත් හරියටම කියන්න අපහසුයිනේ. ගිනි කන්ද ආයෙමත් විධාරණය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
අපි අපේ සංචාරය පටන් ගන්නයි හදන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි ගමනක් යනකොට, විශේෂයෙන් හිමෙන් පිරී ගිය පාරක යනකොට ඒ සඳහා නිමවා ඇති ටයර් භාවිත කරන්න ඕන. එහෙම නොවුණොත් පාර ලිස්සන නිසා අනතුරක් වෙන්න පුළුවන්. අපිත් ඊට සුදානම් වෙලයි මේ ගමන ආවේ. ඒ කොහොම වෙතත් අපි පරිස්සමෙන් කඳු මුදුනට යන්න පටන් ගත්තා. විනාඩි 15ත් 20ත් අතර කාලයකින් පසුව අපේ ගමන තව තවත් දුෂ්කර වෙන්න පටන් ගත්තා. කඳු මුදුනට යන්න යන්න හිමෙන් වැසී ගිය ප්‍රමාණය වැඩි නිසා පාරේ ලිස්සන ස්වභාවයද වැඩියි.
තැනින් තැන රිය අනතුරු අවම කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන සංඥා පුවරුද අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. ඒ අතරින් එක් සංඥා පුවරුක් සඳහන් කර සිටියේ ඉදිරියෙන් පටු මාර්ගය සහ වංගු සහිත මාර්ගය ආරම්භ වන බවයි. ඒ කියන්නේ අප ගමන තව තවත් දුෂ්කර වෙනවා කියන එකයි. ඒ සමගම තවත් සංඥා පුවරුවක් සඳහන් කර සිටියේ හැකිනම් ටයර්වලට යකඩ දම්වැල් දමාගන්නා ලෙසයි. ඒ නිසා අපි තව තවත් පරිස්සම් වෙන්න වග බලා ගත්තා. එකා පසුපස එකා මෙන් වාහනද එක පෙළට කඳු මුදුන දෙසට ඇදෙනවා. තවකෙකුට ඉස්සර කරමින් ගමන් කරන්න කිසිවෙකුගේත් උනන්දුවක් නැහැ. එහෙම කළොත් අනතුරක් තමයි වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම සීරුවට ඉදිරියට ඇදෙනවා.
මඳ දුරක් පැමිණි අපි වංගු සහිත පටු මාර්ගයට අවතීර්ණ වුණා. මා මතකය නිවැරදිනම් පටු වංගු 38ක් අපට පසුකරන්න සිදුවෙනවා. ඒ සෑම වංගුවක්ම අංක පිළිවෙළට සටහන් කරලයි තියෙන්නේ. මේ වංගු හරියට අපේ 18 වංගු වගේ.
පැය එකහමාරකින් පමණ අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. ඒ කියන්නේ කඳු පන්තියකින් වට වූ 'අකගි' කන්ද මුදුනේ පිහිටි 'ඔනුමා' වැව මත්තට අපි පරිස්සමෙන් ළඟා වුණා.
ගිනි කඳුවල විධාරණය නිසා නිර්මාණය වූ කල්දේරා වැව් තුනකි. ඉන් විශාලතම වැව 'ඕනුමා' වැව වන අතර 'කකුමන්බුචි' සහ 'කොනුමා' සෙසු ඒවා වේ. වසන්ත සෘතුවේදී සහ ගිම්හාන සෘතුවේදී මෙය බොහෝ ක්‍රියාකාරකම්වලින් පිරුණු විස්මලන්තයක් කියලයි ජපන් ජාතිකයන් නම් කියන්නේ. ඒක ඇත්තද නැද්ද කියලා බලන්න ඉතින් ආයෙත් සැරයක් එන්න වෙනවා.
ජනවාරි මාසය වන විට වැව සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යන අතර, එය අවසන් වන්නේ මැයි මාසයෙනි. අපි එහි ළඟා වන විටත් බොහෝ පිරිසක් අඩි 5ක් හෝ 6ක් උසට හිමෙන් වැසී ගිය වැව මත්තට පැමිණ සිටියා. ඒ මසුන් ඇල්ලීම සඳහාය. සීත සෘතුවේදී වැව මතුපිට හිඳිමින් කුඩා සහ පහසුවෙන් හසුරන්නට හැකි උපකරණයක් අධාරයෙන් සෙ.මි 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා වළක් හාරා, ඒ තුළට සිහින් බිලී පිත්තක් දමමින් මසුන් ඇල්ලීම සීත සෘතුවේ 'ඕනුමා' වැවේ සිදුවන ජනප්‍රිය ක්‍රියාවකි. ජෙට් ස්කිද 'ඕනුමා' වැවේ තවත් ජනප්‍රිය ක්‍රීඩාවකි.
තෝකියෝවේ සිට සති අන්තය ගත කිරීමට පැමිණි තරුණ යුවළක් අප හා කතාවට එක්වෙමින් පවසා සිටියේ පැය තුන හතරක් තිස්සේ උත්සාහ කළද එකදු මාළුවකු අල්ලා ගැනීමට නොහැකි වූ බවයි. මේ සා තද සීතලක හිඳිමින් මසුන් ඇල්ලීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. ඒ ගැන ඔවුන්ගෙන් අසන්නට සිතුණත් මා එසේ නොකළේ ඔවුනට එය හුරුපුරුදු යැයි හැඟුණු නිසාය. කෙසේ වෙතත් විටින් විට ඔවුන් අසල ඇති කුඩා කූඩාරමට ගොඩ වැදී ශරීරය උණුසුම් කරගෙන නැවත පැමිණෙයි. තවත් තැනක තවකෙකු ශරීරය උණුසුම් වන අයුරින් ආවරණය කරගෙන එක හැල්ලේ මාළුවකු තම ඇමට අසුවන තෙක් බලා හිදී. මට එය නම් වෙහෙසකර ක්‍රියාවකි.
තරුණ යුවළට සමු දී වැවේ මඳ දුරක් පැමිණි මා නෙත ගැටුණේ ඈතින් වූ 'අකගි' දේවාලයයි. දේවාල පරිශ්‍රයම හිමෙන් වැසී ඇති නිසාදෝ වන්දනාවට පැමිණි කිසිවෙකු දක්නට නොලැබුණි. කෙසේ වෙතත් එකිනෙකට වෙනස් වූ අරමුණු, බලාපොරොත්තු වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම උදෙසා ජපන් ජාතිකයන් 'අකගි' දේවාලයට පැමිණෙති.
ඒ අතරින් ගැබිනි මවුවරුන් තම නූපන් බිලිදා වෙනුවෙන්, අලුත උපන් බිලිදාට නම් තැබීමට, වයස 7-5-3 මංගල්‍යයට (වයස අවුරුදු තුන පිරුණු පිරිමි සහ ගැහැනු දරුවන්ගේ, වයස අවුරුදු 5 පිරුණු පිරිමි දරුවන්ගේ සහ වයස අදුරුදු 7 පිරුණු ගැහැනු දරුවන්ගේ මනා සෞඛ්‍ය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමේ මංගල්‍යය) ආදී මෙකී නොකී බොහෝ අවස්ථාවන් වලදී ආශිර්වාද ලබා ගැනීමට ඔවුහු මෙම දේවාලයට පැමිණෙති. දේවාලය අතිශය කාර්යය බහුල වන්නේ නව අවුරුදු උදාවේදීය. තවද අගෝස්තුවේදී පැවැත්වෙන ගිම්හාන මංගල්‍යයද දේවාලයේ තවත් අලංකාර උත්සවයකි.
එය සමීපයට ගොස් නැරඹීමට මා සිත තුළ ආසාවක් උපන්නද එය එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන බව හැඟුණ නිසා මා එහි මිහිර ඈත සිටම විඳගන්නට වුණි. මන්ද හිම එය වෙහෙසකර ක්‍රියාවක් බවට පත්කර තිබූ බැවිනි. හිරු කෙමෙන් කෙමෙන් අවරට ගමන් කරමින් සිටී. මා හට දැනෙන සීතලද කෙමෙන් කෙමෙන් වැඩි වේගන එන්නට වුණි. උදෑසන හිරු රශ්මිය නිසා සීතල එතරම් නොදැනුණද දැන්නම් මෙහි කාලය ගත කිරීම කෙමෙන් කෙමෙන් දුෂ්කර වන්නට වුණි. ඒ නිසා හිමෙන් වැසී ගිය 'ඕනුමා' වැවට සමුදුන් අපි තෝකියෝව බලා එන්නට පිටත් වුණි.
විශේෂ ස්තූතිය ගුම්මා හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ලෙස්ලි වර්ණන් මහතා