ජපානය සංචාරක ආකර්ෂණයට නොමදව පාත්‍ර වූ සංචාරක පරාදීසයක්. සීත සෘතුවේදී හිම ක්‍රීඩා කරමින් ඔන්සෙන් (උණුසුම් දිය ස්නානය) පහස විඳගන්නට මෙන්ම වසන්ත සෘතුවේදී සකුරා මලින් වැසී යන සකුරා දේශය සියැසින් දැකගන්නට සංචාරකයන් බහුල වශයෙන් ජපානය වෙත ඇදී එනවා. මේ ගෙවෙමින් පසු වන්නේත්, ඉදිරියට ආරම්භ වීමට නියමිතව ඇත්තේත් ජපානය සංචාරකයන්ගෙන් පිරී යන සමයක්. නිලට නිලේ හැඩවූ ඉහළ අහසේ තුනී අළු පාට දුම්වලාවන් පිට කරන අසාම ගිනි කන්ද පසුකොට කිරි පැහැ වූ හිමෙන් වැසුණු සංචාරකයන්ගෙන් පිරීගිය ‘හකුබා’ වෙත ළඟා වූයේ අලුත් අත්දැකීමක රසය විඳගැනීමටයි.
අප හකුබාවට ළඟා වනවිටත්, අපගේ සංචාරයේ ගමන් ප්‍රධානියා වූ මරුයාමා සන් එහි පැමිණ සිටියා. 33 හැවිරිදි මරුයාමා සන් නරීටා ගුවන් තොටුපළේ සිට හකුබා දක්වා සැහැල්ලු ගුවන් යානා සේවයක්ද පවත්වාගෙන යන සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ජපන් ව්‍යාපාරිකයෙක්. මරුයාමා සන්ගේ සැහැල්ලු ගුවන් යානා සේවය හරහා ගුවනින් ගොස් කඳු වළල්ලකින් වටවූ හකුබාහි අසිරිය දැකගන්නත් සංචාරකයන්ට අවස්ථාව තිබෙනවා.
ඇමෙරිකාවේදී වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇති මරුයාමා සන්ට පිය උරුමයෙන් ලැබුණු සංචාරක හෝටලයක් වගේම තමන් විසින්ම ආරම්භ කළ අවන්හල් හතරක් සහ කෝටේජස් කිහිපයක් හිමියි. මරුයාමා සන් අඩු වයසෙන් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වූවෙක්. ඒ වගේම ඔහු සැහැල්ලු ගුවන් යානා පියාසර කරන්නෙක්. එයාගේ ගුරුවරයා තමයි ශුකඩා සන්. මට මේ ගමන සංවිධානය කරලා දුන්නු ලෙස්ලි සන්, ශුකඩා සන් සහ මරුයාමා සන් කලක පටන් ගජ මිතුරන්.
සීත සෘතුවේ ආරම්භයත් සමගම ඇදහැලුණු හිම මීටර් 2ක් හෝ 3ක් පමණ උසට කුඩා කුඩා කඳු පන්ති නිර්මාණය කර අවසන්. බැලූ බැලූ අත කිරිම කිරි පාට හිම, ඇතිරිල්ලෙන් වැසී ගිහින්. එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා මහමග මත වූ හිම නගර සභාව විසින් මග දෙපසට තල්ලු කර තිබුණත් ඒවාත් පරිවාර කඳු පන්ති වගෙයි මට පෙනුණේ. එසේ මහමග එළිපෙහෙළි කරගන්නට මහත් වූ පරිශ්‍රමයක් ඔවුන් දරන්න ඇති. ඒ ඝනකම හිම තට්ටු දෙපසට නොකළා නම් එදිනෙදා ජන ජීවිතය මහත් වූ වෙහෙසකර දෙයක් වන ලකුණු මගදෙපස විහිදිලා තියෙනවා.
මරුයාමා සන්ගේ මොමිනොකි හෝටලයට පැමිණි අපව ජපානයට ආවේණික තේ (Green Tea) පැන් සංග්‍රහයක් සමගින් සාදරයෙන් පිළිගනු ලැබුවා. අප එහි ළඟා වනවිටත් අලුයම හිම ක්‍රීඩා සඳහා පිටත්ව ගිය විදෙස් සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ද නැවත හෝටලය වෙත එමින් සිටිනු පෙනෙන්නට තිබුණා. කෙනෙක් හිම ක්‍රීඩා කිරීමට රැගෙන ගිය ක්‍රීඩා භාණ්ඩ පිළිවෙළකට අසුරමින් සිටි අතර, තවත් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට හිම කඳු පන්ති වෙත පියමන් කරමින් සිටියා.
හිරු මුදුන් වෙලා විනාඩි කිහිපයක් ගතව ගොස් අවසන්. පුංචි බඩගින්නකුත් කෙමෙන් කෙමෙන් මෝදු වෙන්න පටන් ගත්තා. අපි හතර දෙනා දිවා ආහාරය සඳහා මරුයාමා සන්ගේ තවත් අවන්හලක් වෙත පිය නැගුවා. එය විදෙස් වගේම ජපන් සංචාරකයන්ගෙන් පිරී ගිය අවන්හලක්. උදෑසනම හිම ක්‍රීඩාව සඳහා පිටත්ව ගිය සංචාරකයන් යැයි අනුමාන කළ හැකි කිහිපදෙනෙකු බඩගිනි හින්දමද කොහෙද ඒ වෙනකොටත් දිවා ආහාරය ගනිමිනුයි සිටියේ. තවත් මේසයක හිම ක්‍රීඩා කිරීමට පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පසුවන කණ්ඩායමක් යැයි අනුමාන කළ හැකි පිරිසක්ද ලහිලහියේ දිවා අහාරය බුක්ති විඳිමින් සිටියා.
මරුයාමා සන් අපට රුචි කෑම වට්ටෝරු ගැන විමසා ඒවා ඇණවුම් කළා. දිවා ආහාරය පිළියෙල කරන තෙක් එයා හකුබා ගැන විස්තර කරන්න පටන් ගත්තා.
හකුබා කියන්නේ නගානෝ නගරයෙන් පරිබාහිරව පිහිටි කඳු පන්තිවලින් අලංකෘත වූ ගමක්. 1998 සීත සෘතු ඔලිම්පික් තරගාවලිය පවත්වන්නත් අපට හැකියාව ලැබුණා. ඒ සීත සෘතු ක්‍රීඩාවන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස හකුබා ජපානයේ මෙන්ම විදේශිකයන් අතරද එකසේ ජනප්‍රිය නිසයි. සංචාරක හෝටල්, ආපන ශාලා, ඔන්සෙන් (ස්වාභාවික උණුසුම් දිය ස්නානය) මධ්‍යස්ථාන සහ හිම ක්‍රීඩා ආයතනවලින් හකුබා පෝෂිතයි කියලා මයුරුයාමා සන් විස්තර කරගෙන යනවා. මෙහි සංචාරය කරන ඕනෑම කෙනෙකුට හිත පිරෙන්න සිනිදු හිම කැටවල පහස විඳිමින් කඳු මුදුනේ සිට එහාට මෙහාට පැද්දෙමින් පහළට ලිස්සා එමින් සීත සෘතුවේ පහස නොමදව විඳගන්න පුළුවන්.
සීත සෘතුව අවසන් වූ පසු ජලයෙන් පිරී යන ගංඟා, ඇළ දොළවල්හි ඔරු පදින්නත්, පා පැදියකින් හෝ පයින් කඳු තරණය කරන්නත්, බැලූනයක් ආධාරයෙන් ගුවනේ සැරිසරන්නත් වගේම අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට පැරිග්ලයිඩින් කරන්නත් මෙහි පහසුකම් තියෙනවා. ඒ සඳහා සහාය දක්වන්න පුහුණු උපදේශකයන් සෑම අවස්ථාවකම සූදානමින් ඉන්නේ. මරුයාමා සන්ගේ සංචාරක ව්‍යාපාරය එවැනි ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙහිලා බොහෝ ප්‍රසිද්ධියක් උසුලනවා කියලත් එයා කියනවා. මෙහි සිටින සංචාරකයන් දුටුවිට එය සත්‍යයක් බව පසක් වෙනවා. මරුයාමා සන්ට ඉංග්‍රිසී භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන් වුණත් එයා බොහෝ අවස්ථාවලදී හකුබා ගැන විස්තර කළේ ජපන් භාෂාවෙන්. ඒ නිසා ලෙස්ලි සන් ඒවා සිංහලට පරිවර්තනය කරමින් මට උදව් කරනවා.
වර්ග කි.මී. 182ක් වූ හකුබා සංචාරක ගම්මානයේ 2014 වර්ෂයේ ජන සංගණනයට අනුව ජනගහනය 8912ක්. ජපානයේ සෙසු නගර මෙන්ම ගම්වලට සාපේක්ෂව හකුබාහි ජනගහනය සීමිත වුණත් එහි සිදුවන සංචාරක සේවාවන්හි ගුණත්වයේ කිසිදු අඩුවක් නැහැ. සාමාන්‍යයෙන් සම්බාහන සේවාවන් සැපයීම අතින් ජපානය තරමක ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම වර්ග කිහිපයකම සම්බාහන සේවාවන් ජපානය තුළ ක්‍රියාත්මකයි. එහි සේවය ලබාගන්නත් සංචාරකයන් තුළ විශාල උනන්දුවක් තියෙනවා. එවැනි සම්බාහන අතරින් හකුබාහි ශාක ක්ෂාරමය %සොබෙයි^ (Shobei) සම්බාහනය ජපානය තුළ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා.
Spa of Belles නමින් හඳුන්වන එය ශරීර සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද මනා පිටුවහලක් බවයි මරුයාමා සන් සඳහන් කරන්නේ. හකුබාහි සංචාරය කරන්නන්ට හකුබා කඳු පන්තියෙන් ඇදහැලෙන පිරිසුදු ජලයේ පහස නොඅඩුව විඳගන්න පුළුවන් කියලත් තවදුරටත් මරුයාමා සන් විස්තර කරගෙන යනවා. ඔය අතරේ මරුයාමා සන් අප වෙනුවෙන් ඇණවුම් කළ දිවා ආහාරය උණු උණුවෙම දුම් දමමින් මේසෙට ඇවිත්.
හකුබා කියන්නේ ගෝන්නුන්ගෙන් සහ ඌරන්ගෙන් පිරිච්ච ගමක්. කෙසේ වෙතත් ගෝන්නු ගහනය වැඩි වෙන එක මෙහි ජන ජීවිතයට විශාල බලපෑමක්. ඒ නිසා ගෝනුන්ගේ බෝ වීම පාලනය සඳහා සෑම වර්ෂයකම නොවැම්බර් මස 15 වැනිදා සිට ඊළඟ වසරේ පෙබරවාරි මස 15 වැනිදා දක්වා ගෝනුන් දඩයම් කරන්න ජපන් රජයෙන් අවසර දීලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් ගිනිඅවි භාවිත කරන්නත් නීතියෙන් අවසර තියෙනවා.
එක් ගෝනෙකුට රජයෙන් ජපානයෙන් 5000ක මුදලකුත් ගෙවනවා. ඒ විතරක් නෙමේ එසේ දඩයම් කරන ගෝනුන්ගේ මස් අලෙවි කරන්නත් ආහාරයක් විදිහට අලෙවි කොට මුදල් උපයන්නත් අවසර තියෙනවා. හකුබා සංචාරක ගම්මානය ගෝන මස් අලෙවිය සඳහා මෙන්ම ගෝනුන්ගේ මස් භාවිත කරමින් පිසිනු ලබන ව්‍යාංජන සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා. මරුයාමා සන් කියන්නේ හකුබා ප්‍රදේශයට විශේෂිත වූ කතාවක්. මොනවා වුණත් අහිංසක සත්තු අසරණයි මට ඉබේටම එහෙම හිතුණත් පාරිසරික සමතුලිතතාව රටක පැවැත්ම තීරණයට අනිවාර්ය සාධකයක් බව සැඟවිය නොහැකි කාරණයක්. ජපානයේ මේ වෙන්නේ ඒ සමතුලිතතාව ආරක්ෂා කිරීමකැයි කෙනෙකුට කිව හැකියි.
මරුයාමා සන්ගේ අවන්හලකට ගොඩවෙන ඕනෑම කෙනෙකුට විදෙස් රටවල ආහාරවල රස බලන්නත් හැකියාව තියෙනවා. ඉදිරියේදී අපේ රටේ ආහාර වේලක රස බලන්නත් මෙහි සංචාරය කරන්නන්ට අවස්ථාව ලැබෙනවා කියලා මරුයාමා සන් උනන්දුවෙන් කියනවා. අපේ ආහාර පිළියෙළ කරන්න හැකි ශ්‍රී ලාංකික සූපවේදියෙකුගේ සේවය ලබාගන්නත් මරුයාමා සන් සූදානමින් ඉන්නේ. කොහොම වෙතත් තව මාස කිහිපයක් ඇතුළත ඒ ඉලක්කය සපුරා ගන්නවා කියලා ඔහු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කියනවා.
දිවා ආහාරයෙන් පසුව හකුබා ගම්මානයේ කෙටි සංචාරයක නිරත වෙන්න අවන්හලෙන් පිටත් වූ අපි කිරට කිරේ වූ හිම ඇතිරිල්ලේ පහස විඳිමින් කැමරාවේ ඡායාරූප එක දෙක සටහන් කරගනිද්දී නොදැනීම වගේ හිරු අවරට ගොස් හාත්පසම අන්ධකාරයෙන් වෙලෙන්නට පටන් ගත්තා. එහි තවත් හෝරාවක් හෝ දෙකක් ගත කිරීමට ඇත්නම් කියා සිතුණත් සන්ධ්‍යාවේ දේශගුණය එතරම් යහපත් නොවන බව දැනුවත්ව සිටි නිසා මරුයාමා සන්ට සමුදී අපි නැවත ශුකඩා සන්ගේ නිවස කරා එන්නට හකුබා සංචාරක ගම්මානයට සමුදුන්නා.
ලෙස්ලි සන්, ශුකඩා සන් හා මරුයාමා සන්
විශේෂ ස්තූතිය - මොමිනොකි හෝටලයේ හිමිකරු මරුයාමා මහතා, ගුම්මාහි ශ්‍රී ලංකා හොනරරි කොන්සල් ලෙස්ලි වර්ණන් මහතා, ශුකඩා නොබුඕ මහතා සහ නොබුඕ මහත්මිය.