අධිකරණ සේවය සහ විනිසුරුවන් පත්කිරීම මෙන්ම විනිසුරූ භූමිකාව සම්බන්ධයෙන්ද සමාජය තුළ යම් සංවාදයකි. යහපත් ආකාරයෙන් නිවැරදි දැක්මෙන් සියල්ල සිදුවන්නේ නම් යහපතකි. එහෙත් පටු වාසි ලාභ ප්‍රයෝජන තකා එවැනි දේ ඇසෙන සහ දකින විට තීරණ තීන්දුගන්නා පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කළයුතු බව ජනතාව පවසන්නේ නීතියේ ස්වාධීනත්වය යහපාලනය තුළ යථාර්ථයක් විය යුතු හෙයිනි.
වත්මන් ආණ්ඩුව විසින් මහාධිකරණ විනිසුරු පදවියක් නුසුදුස්සෙකුට ලබාදුන්නේ යැයි විනිසුරු සංගමයේ විරෝධතාවය ජනාධිපතිවරයාට යොමුකළ බවට පුවතක් පෙබරවාරි 13 දින 'අද' පුවත්පතද මුල්පිටුවේ අනාවරණය කළේය. විනිසුරුවරුන් සම්බන්ධයෙන් ගතවූ කාලය තුළ විවිධ මතිමතාන්තර ජනතා සංවාද සහ විවෘත චෝදනා සාමාන්‍ය දෙයක් බවට පත් විය. ඒ ජනතාව විසින් විනිසුරුවරුන් දුන් තීන්දුවලටත් වඩා ඇතැම් විනිසුරුවරුන්ගේ පෞද්ගලික සහ චර්යාමය ක්‍රියාවන්ද ජනතාව අතර තියුණු අවධානයකට පත්වූ හෙයිනි.
තවත් කරුණක් වූයේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්වයන් විසින් ජනමාධ්‍ය හරහා හෝ ප්‍රසිද්ධ වේදිකා මත සිට අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින ගරුත්වය නැතිවන ආකාරයෙන් යම් යම් ප්‍රකාශයන් කළ හෙයිනි. විනිසුරු තනතුරට සුදුසුකම් නොමැති අයෙකු අවුරුදු 20ක් විනිසුරුවරයෙකු ලෙස අධිකරණයේ කටයුතුකර ඇතැයිද ඔහු එම ධුරයෙන් පහ කළ පුවත ඇසුණේ ගතවූ මාසයේදීය.
එසේම යම් දේශපාලකයන් තමන් කළ දේ නිවැරදි යැයි පැවසීමට අධිකරණය වක්‍ර ආකාරයෙන් සම්බන්ධකර ගැනීමේදී එහි සැබෑ ස්වරූපය දන්නා ජනතාව සෘජුවම අධිකරණයට චෝදනා කරන්නේ යැයි ජනතාව පෙන්වා දෙන සත්‍යය දේශපාලකයන්ද වගකීමෙන් සවන්දිය යුතු කරුණකි.
ඇතැම් විනිසුරුවරුන් රටේ නායකයන්, පාලකයන් හමුවී තමන්ට ඇති පෞද්ගලික අර්බුද අපහසුතා සම්බන්ධයෙන් වැඳ වැටුණේ යැයි හෝ තමන්ට ගෙදර යන ගමන් පැමිණ පත්වීම් දුන්නේ යැයි විවිධ ඕපාදූප ව්‍යාප්තියද විනිසුරුවරුන්ගේත්, නීතියේත් ගරුත්වයට හානියකි.ජනතාව විනිසුරුවයෙකු දෙස බලන්නේ යුක්තිය පසිඳලන සාන්තුවරයෙකු වශයෙනි. නැතහොත් සහසක් නෙත් ඇති සක් දෙවිඳුගේ මෙන් ඔවුන්ගේ පඩුපුල් අසුනද තමන්ගේ දුක්ගැනවිල්ල හමුවේ රත්වනු ඇතැයි ජනතාව සිතති. එනිසා එතැනට අවශ්‍ය වන්නේ යහපත්, වැදගත්, උගත්, බුද්ධිමත්, ප්‍රායෝගික මිනිසුන් බව නීතිවේදීහූ පවසති.
අධිකරණයේ විශ්වසනීයත්වයට බරපතළ හානි සිදුවූයේ ගතවූ මහින්ද සන්ධානය සමයේ යැයි ජනතාව චෝදනා කරති. අගවිනිසුරු ශිරාණි තිලකවර්ධන සිද්ධිය සහ ඒ වෙනුවට පත්වූ මොහාන් පීරිස් වෙනුවෙන් එවකට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ඒ සැකය තහවුරු කළේය. එසේම මෙයට පෙර හෙල්පින් හම්බන්තොට ගිණුමේදී අගවිනිසුරුවරයා දුන් තීන්දුව වරදක් යැයි ඔහු විසින්ම පිළිගැනීමෙන් ජනතාවට අධිකරණය කෙරෙහි ඇතිවූ කලකිරීම අදටත් ජනමතයෙන් බැහැර කළ නොහැකි සාක්ෂියකි.
අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සහ අධිකරණ කටයුතුවල කාර්යක්ෂමභාවය වැඩිදියුණු කිරීම සඳහා විනිසුරුවරුන් සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම සම්බන්ධයෙන් මෙයට මාස තුනකට පමණ පෙර යම් සීමාවන් පැනවිණ. සියලුම දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් වෙත අධිකරණ සේවා කොමිෂන් ලේකම්වරයා විසින් අංක 393 චක්‍රලේඛය මගින් ඒ බව දන්වා තිබේ.
ඒ අනුව විනිසුරුවරුන් හැමවිටම තම නිලයේ ගෞරවය ආරක්ෂාකර ගැනීම සඳහාත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගැනීම සඳහාත් කටයුතු කළයුතු බව එහි දක්වයි. කිසිදු අවස්ථාවක විනිසුරුවරුන්ගේ හෝ සමස්ත අධිකරණයේ ගෞරවයට හානිවන ආකාරයෙන් ප්‍රසිද්ධියේ විවේචනය නොකළ යුතු බව, සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් නොදැක්විය යුතු බව, තම පවුලේ හෝ තමාගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ නොකළ යුතු බවද එහි සඳහන්ව ඇත.
එසේම විද්‍යුත්, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික සමාජ මාධ්‍යයන්හී පෙනී සිටිමින් ප්‍රකාශයන් නිකුත් නොකළ යුතු අතර, කිසිම නඩු කටයුත්තකදී නඩුවකට අදාළ නොවන දේ විවෘත අධිකරණයේ ප්‍රකාශ නොකළ යුතුය. අධිකරණ තීන්දු මෙන්ම අධිකරණ ක්රියාවලියද දරුණු ලෙස විවේචනය කිරීමට මහජනතාවට අයිතියක් ඇත. විනිශ්චයකාරවරයෙකුගේ යම් අයථා ක්‍රියාවක් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අයිතියද මහජනතාවට ඇති බව පිළිගැනෙයි.
නමුත් තමන් විනිශ්චයකාරවරුන් යැයි සිතා ගනිමින් තීන්දු දෙමින් අධිකරණයට නිග්‍රහ කිරීමට හෝ ඒවා අවතක්සේරුවෙන් විවේචනය කිරීමට අයිතියක් ඇතැයි එයින් අදහස් නොවන බවද නීති විශාරදයෝ පෙන්වා දෙති. විනිසුරු භූමිකාව සරලව විග්රහ කරමු. ඉංග්‍රීසි නීතිය අනුව විනිසුරුවරයෙකුගේ කාර්යභාරය වනුයේ නීතිය අර්ථ නිරූපණය (Interpretation) කිරීම යැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.
විනිසුරුවරයෙකුට නීතිය ක්‍රියාත්මක කරවීමේ බලයක් ඇතත්, නීති හැදීමේ බලයක් නැත. නමුත් නීතිය අර්ථ නිරූපණයට හැකියාව තිබේ. තවත් ආකාරයකින් සමාජයේ සාමය ආරක්ෂා කිරීමේ කාර්යයටද මහේස්ත්‍රාත්වරුන් දායක වන බව මෙහීදි අමතක නොකළ යුතුය. නීතිය ක්‍රියාත්මක වන සමහර අවස්ථාවලදී අභිමතානුසාරී බලය විනිසුරුවරුන්ට ලැබී ඇත. එසේම පිළිගත් අධිකරණ සම්ප්රදායන්ගෙන් බැහැරව විනිසුරුවරුන් පත්කිරීමත්, උසස් කිරීමත් නීතියට පටහැනි ක්රියාවකටත් වඩා ජනතාව නීතිය කෙරෙහි පවතින විශ්වාසයට ඇතිකරන පැල්ලමකි.
විනිසුරුවරයෙකු සතු ගුණාංග වශයෙන් සොක්රටීස් පෙන්වා දෙන්නේ ආචාරශීලීව සවන් දිය යුතුය, ප්‍රඥාවන්තව පිළිතුරු සැපයිය යුතුය, තැන්පත්ව සිතා බැලිය යුතුය සහ අපක්ෂපාතීව තීන්දු දිය යුතුය යනුවෙනි. එනිසා විනිසුරුවරුන්ගේ කටයුතු යමෙකු හේතු රහිතව විවේචනය කිරීමේදී එය විනිසුරුවරයාගේ අභිමානයටත් වෘත්තියේ ගරුත්වයටත් නීතියේ පිළිගැනීමටත් හිතාමතා සිදුකරන හානියක් බවද කිවයුතු නැත. කෙසේවෙතත්, නීතියේ බලය විමසීමේදී නීතියට ඉහළින් කිසිවෙකු නැත හෝ නීතියට සියලුදෙනාම යටත්ය යන සංකල්පය බැහැර කළ නොහැක.ජනතාවගේ පැත්තෙන්ද අවධාරණය කළයුතු කරුණු එදිනෙදා සිදුවීම් පෙන්වා දෙයි.
යම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය වූ පිරිස් පැමිණ අධිකරණ භූමිය අවට රැඳී විරෝධතා දැක්වූ සිදුවීම් නිතර වාර්තා වෙයි. අත්අඩංගුවට පත් ඇතැමුන් තමන් අත රැඳි මාංචු යුගල ඉහළට ඔසවා ප්‍රදර්ශනය කරන විටත්, ජනතාව වටේ සිට ඔල්වරසන් හඬ දෙන විටත් එයින් සිදුවන්නේ නීතියත් කජ්ජක්ද යනුවෙන් ආකල්පයක් මැවීම බවට ඇතැමුන් පෙන්වා දෙන තර්කයද නීතියේ අභිමානයට යහපත් නොවේ.
මර්වින් සිල්වාගේ පුතාගේ සිදුවීමකදී ඔහුට ඇප දෙන මෙන් ඉල්ලා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගේ නිවසට පැමිණ යම් පිරිසක් තර්ජනය කළෝය. වීරවංශ මෙන්ම මාරසිංහත්, අලගියවන්නත් අත්අඩංගුවට ගන්න යැයි අධිකරණය ඉදිරියේ නියෝග කිරීම නීතියට කරන බලපෑමකි. නීතියත්, පුද්ගලයා සහ සිදුවීම් පෙළත්, හිතවත්කමත් සමග වෙනස් වන්නේ යැයි ජනතාවට හැඟෙන්නේ නම් එයද රට කරවන පාලකයන්ටත්, යහපාලනය නැමති ආණ්ඩුවේ ගරුත්වයටත් සුදුසු නැත.
එක් විනිසුරුවරයෙකුගේ නොමනා චර්යාමය සිද්ධියක ප්‍රතිඵලයක් වශයෙන් විනිශ්චයාසනයේ සිටි විනිසුරුවරයාට යමෙකු අශූචි මල්ලකින් දමා ගැසුවේය. එම පුවත ඇසුරෙන් සිනමා නිර්මාණයක්ද ගෙතුණි. සිනමාපටය අකුලා ගන්න යැයි එයට සම්බන්ධ සහ එනිසා අධිකරණයට ගිය විනිසුරුවරයා පවසද්දී, තමන්ගේ නොමනා හැසිරීම් දමනය කර ගත්තේ නම් එවැනි සිනමාපටයක් නිර්මාණය නොවන බව ජනතාව පැවසූහ. අවසානයේ සිනමාකරුගේ භාෂණයේ අයිතිය දක්වා ගෞරවනීය විනිසුරුතුමා විසින් සිනමාකරුගේ වාසියට තීන්දුව දුන්නේය. ඒ තීන්දුව නිසාම අධිකරණය තම ක්ෂේත්රයේ විනිසුරුවරයෙකු වෙනුවෙන් වුවද අපක්ෂපාතී විනිශ්චයක් ලබාදෙන බවට ජනතාව තුළ යහපත් ආකල්පයක් ගොඩනැගුණි.
අදටත් හොරුන් දූෂිතයන් යැයි අධිකරණයට ඉදිරිපත් කරන අය තමන්ගේ ඇප ලැබීමේ ජයග්‍රහණය සමග පවසන්නේ “රටේ නීතිය පිළිබඳ අපට ලොකු විශ්වාසයක් තියෙනවා” යනුවෙන් ප්‍රකාශයකි. ඒ නීතිය තමන්ගේ වාසිය පැත්තට යැයි හැඟෙන විටය. එහෙත් ඒ ඇත්තන්ගේම යමෙකුට ඇප නොලැබෙන විටකදී අනෙක් අතට පවසන්නේ උසාවියත් ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව නීතිය නවන බවට බරපතළ (අවස්ථාවාදී) ප්‍රකාශයකි.
පසුගියදා පැවති නුගේගොඩ ඒකාබද්ධ විපක්ෂ රැළියට ආණ්ඩුව පැත්තෙන් පිරිසක් එන බවට සංවිධායකයන් ප්‍රචාරය කළද, අවසානයේ මහින්ද රාජපක්ෂ පැවසුවේ “ආණ්ඩුවේ අය එන්න එපා. දරුවන් ගනියි” යනුවෙනි. එයින් ගම්‍ය වන්නේ රටේ නීතිය හෝ නීතිය ක්‍රියාත්මක වන්නේ නීතියට අනුව නොව ආණ්ඩුවට අවශ්‍ය පරිදි උසාවි හරහා සිදුකරන බවට මැසිවිල්ලකි. එසේනම් එයින් හානියක් සිදුවන්නේ නීතියට මිස දේශපාලකයන්ට නොවේ යැයි මේ කතා අසා සිටින ජනතාව පවසති.
සයිටම් අරගලයේදී අභියාචනාධිකරණය ජනවාරි 31 දින සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ පසු ඇතැම් විරෝධතාකරුවන්ගේ ප්‍රකාශයන් අධිකරණයේ විශ්වාසනීයත්වයට හානියක් කළේදැයි ඒ කතාබහට සවන් දුන් ජනතාව අවධාරණය කරති. අධිකරණය අවට උද්ඝෝෂණ වර්ජන පැවැත්වීම නීතිගරුක මිනිසුන්ගේ හොඳ පුරුද්දක්ද යනුවෙන් ජනතාව අසති.
උසාවි තීන්දුව ඉලක්ක කර අරගල පැවැත්වීම කෙතරම් උචිතද යන්න නැවත විමසීම පූර්වාදර්ශ සැපයිය යුතු ඉහළ රාජ්‍ය සේවකයන්ගේද වගකීමකි. අධිකරණ භූමියක් ඉදිරිපිට පවත්වන වර්ජනයන් වලදී, අරගල, කෑකෝ ගැසීම් වලදී සැකරුවන්ට වාසිදායක වන පරිදි සහ නීතියට හානිකර වන පරිදි ප්‍රකාශයන් කිරීමෙන්, ඒවා දකින ජනතාව පුරුද්දක් ලෙස 'අරයා කළා වගේම අපිත් කරමුයි' යනුවෙන් රට පුරා අධිකරණ ශාලා වෙත ගෙන යාමට ගන්නා නොමනා ප්රයත්නය නීතිගරුක පුරවැසියෝ හෙළා දකිති.
එහෙත් ඒ කිසිවක් පිළිබඳ විළි බිය නැති මිනිසුන් වශයෙන් උගතුන්, බුද්ධිමතුන් සහ ජනතා මුදලින් වැටුප් ලබන්නන් ජනතාව වෙනුවෙන් පවතින රටේ නීතිය සමච්චලයට හෝ හෑල්ලුවට අනුබලයක් විය හැකි පරිදි කටයුතු කරන්නේ නම් එය උගත්කමටත් ඒ ඒ පුද්ගලයා පිළිබඳ පවතින චර්යාමය සහ විශ්වාසනීයත්වය පිළිබඳ වන ඇගයීමටත්, ප්‍රතිරූපයටත් හානියකි.
මහින්දගේ සන්ධානය ගෙදර ඇරියේ ඒ ටික කරගන්ට නොවේ යැයි ජනතාව පවසන දේ යහපාලන නායකයන්ට ඇසිය යුතුය.