අරණායක සාමසර කන්ද ගම්බිම් යටකරමින් දූ දරුවන්, ඥාතීන්, අසල්වැසියන් මෙන්ම ඥාති හිතෛෂීන් පවා සඟවා ගනිමින් සිදුකළ මහා විනාශයට අද (17දා) දිනට වසර දෙකක් සපිරේ. අමතක කළ නොහැකි මතකයන් රැසක් ඉතිරි කළ මෙම ඛේදවාචකය කාගේත් හදවත් කම්පනයට ලක් කළ සිදුවීමක් විය. එමෙන්ම මෙම ඛේදවාචකය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැක එයින් කම්පාවට පත් දෙස් විදෙස් ජනතාව වැල නොකැඩී අරණායක අවතැන්වූවන්ට සහන සපයා දුන්නේ වෙසක් මාසයේ සිදුකරන පුණ්‍ය ක්‍රියාවන් මෙම ව්‍යසනයෙන් අවතැන් වූවන්ට සිදුකරමිනි.
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පුද්ගල මරණ හා අතුරුදන් වීම් 123ක් වාර්තා වූ අතර, එයින් පුද්ගල මරණ 22කි. මෙම ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු වූ නිවාස ගණන 72කි. නමුත් එම නිවාසවලින් හිමිකමක් හෝ පැවසීමට කිසිවෙකුත් ඉතිරි නොවී පස් කන්දට යට වී ගිය පවුල් සංඛ්‍යාව 14කි. මෙම ව්‍යසනය මෙන්ම අරණායක ප්‍රදේශයේ එම කාලයේ සිදු වූ තත්ත්වයන් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිර්දේශිත අධි අවදානම් පවුල් සංඛ්‍යාව 586කි. එම පවුල්වලට අයත් පුද්ගල සංඛ්‍යාව 2121කි. ඒ අනුව දැනට වසන්තගම පදිංචි වී සිටින්නේ සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ය.
වසර දෙකක් ගත වී ගියද සාමසර කන්දේ දුක් සුසුම් තවමත් වියැකී නොමැත. එයින් අසරණ වූ මිනිසුන් සොයා අපි පසුගියදා අරණායක වසන්තගම ගම්මානයට ගියෙමු. මෙම ගම්මානයේ නිවාස 55කි. එහිදී අපට මුලින්ම මුණගැසුනේ මෙම ඛේදවාචකයෙන් සිය පවුලේ 6 දෙනෙකුම පස් කන්දට යට වෙද්දී ජීවිතය ගලවා ගැනීමට වාසනාව ලැබූ ඒ.පී. සුගතපාල මහතායි. එම අමිහිරි මතකයන් සම්බන්ධයෙන් ඔහු අපට පැවසුවේ මෙවන් කතාවකි.
&කන්ද නාය යෑමෙන් අපේ පවුලේ 6 දෙනෙක් මිය ගියා. මගේ බිරිඳ, දරුවෝ, දරුවන්ගෙ දරුවෝ නැති වුණා. ඒවා ගැන කතා කරල වැඩක් නැහැ. හරි දුකයි. වසර දෙකක් ගත වෙලා ගියත් අපි තවම අසරණයි. එදා අපිව බලන්න වැල නොකැඩී ආපු මිනිස්සු දැන් බලන්න එන්නේ නැහැ. දැන් අපි ඉන්නේ කබලෙන් ලිපට වැටිලා. මේ ව්‍යසනය වුණාට පස්සේ අපි කඳවුරුවලයි, කූඩාරම්වලයි අවුරුද්දකට වැඩි කාලයක් ඉතා අපහසුවෙන් කල් ගත කළා. අපිට දැන් ගෙවල් ලැබිලා තිබෙනවා. මේ ගෙවල් හම්බවුණාට අපිට සතුටට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද මං එහෙම කියන්නේ අපට ජීවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් මේ වෙනකොට නැති නිසා. සාමසර කන්දේ ඉන්නකොට අපිට තේ තිබුණා. මටත් අක්කර දෙකයිකාලක් තිබුණා. ඒ ආදායම්වලින් අපි හොඳට ජීවිකාව පවත්වාගෙන ගියා. අපි කිසිම කෙනෙකුට අතපාන්න ගියේ නැහැ. රජයෙන් කියලා අපි කිසිදෙයක් ඉල්ලපු මිනිස්සු නොවෙයි.
අපිට දැන් ගෙවල් දුන්නට ජීවත් වෙන්න, ආදායම් මාර්ගයක් කරගන්න අඩුම ගානේ ඉඩම් කෑල්ලක්වත් නැහැ. ගේ හදලා තියෙන පොඩි කොටස විතරයි. ඒකෙ වගා කරන්න බැහැ. අපේ අතපය ශක්තිය තියෙන කාලේ වැඩපල කරලා හම්බ කරගන්න පුළුවන්කම තිබුණත්, ඒ කිසිදෙයක් මෙතනට ආවට කරගන්න බැහැ. ස්වයංරැකියා කියල දෙයක් අපි පුරුදු වුණෙත් නැහැ. අපිට ආදායම් ලබාගැනීමට හැකි ඉඩම් තිබුණා. දැන් ඉන්නේ අලුත් ගමක. කුලී වැඩකටවත් යන්න අපි දන්න කියන අය නැහැ. ඒ අය දැන හඳුනාගෙන ඒ දේවල් කරගන්නකොට අපේ කාලේ අහවරයි.
අපි වගකිව යුතු අංශවලට කියන්නේ ඉඩම්, වන්දි වගේ දේවල් දෙන්න ඕන. නැතිනම් නිවසක් දීලා, ඉඩමකුත් දෙන්න ඕන. නැතුව අපිට ජීවත් වෙන්න බැහැනේ. ඒ වගේම කියන්න ඕන තේ අධිකාරියෙන් අපිට හරිම අසාධාරණ වැඩක් කළා. අපි තේ අධිකාරියට උරදීලා, වැඩ කරලා මේ රටේ විදේශ විනිමය ලබාගන්න විශාල වූ දායකත්වයක් ලබාදුන්නා. කියන්නත් ලැජ්ජයි අපිට කරදරයක් වුණ වෙලාවේ ඒ තේ අධිකාරියේ අය අපි ගැන බැලුවේ නැහැ. ඒ ගැන අපි කනගාටු වෙනවා.*
වසන්තගම ගම්මානය පිහිටා තිබෙන්නේ අරණායක ගැවිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට උස් කඳු මුදුනක පිහිටි සමතලා බිමකය. ගැවිලිපිය මංසන්ධියේ සිට කිලෝමීටර් 2ක පමණ දුරක් ගිය පසු මෙම ගම්මානය හමුවේ. එම ස්ථානයට නාය යෑමට ගොදුරු වූ සාමසර කන්ද හොඳින් දිස්වන අතර, ඒ දෙස බලමින් තවමත් සුසුම් හෙළන වැඩිහිටියන්ද වේ. ඒ අතරින් අපට මුණගැසුණේ,
දැන් අපිට තියෙන ගැටලුව මේ හැම කෙනෙකුටම වාගේ ජීවිකාව පවත්වාගෙන යන්න ක්‍රමවේදයන් නැති වීම
බී. ආශෝකා පුෂ්පකාන්තිය. ඇයද මෙම වසන්තගම ගම්මානයේ ජීවිකාව පවත්වාගෙන යන අතර, ඇයගේ දියණියක් මෙන්ම ඥාතීන් බොහෝමයක් මෙම ව්‍යසනයෙන් මියගොස් තිබුණි.
අර පෙනෙන කන්දේ අපි හොඳින් යහමින් ජීවත් වුණා. කෝපි, ගම්මිරිස්, තේ, පුවක් මෙන්ම සෑම භෝගයක්ම වගා කරගෙන තමයි හිටියේ. මම අවුරුදු 14ක් විතර විදේශගතව රැකියාවක් කරලා ගෙවල්දොරවල් හැදුවා. වතුපිටි ඒ නායගිය කොටසින්ම ගත්තා. නමුත් ඒ සියල්ල අපිට දැන් නැහැ. මම එදා බේරුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වැඩපළක රැකියාවේ නිරත වන නිසා. දරුවො කතා කරලා කිව්වා උදේ ඉඳන් වහිනවා කියලා. මං කිව්වා වැස්ස වැඩිනම් කොහාට හරි යන්න කියලා. නමුත් ඒ අයව නාය යනකොට පස් කන්දට යට වුණා. මගේ
ස්වාමියා බේරුණේ නාය යනකොට දුවලා ගිහින්.
දැන් අපිට තියෙන ගැටලුව මේ හැම කෙනෙකුටම වාගේ ජීවිකාව පවත්වාගෙන යන්න ක්‍රමවේදයන් නැති වීම. ඒ දේ අපිට කරල දෙන්න පුළුවන් නම් වටිනවා.*
ගෙවල්වල බිත්ති 4 තියෙනවා, වහලයක් තියෙනවා. වෙන මොනවත් අපිට නැහැ
වයස අවුරුදු 61ක් වන කේ.ජී. පියසේන මහතාද මේ ගමනේදී අපට හමු වූ තවත් අයෙකි. ඔහු අද මෙහි ඇති එක් නිවසක තනිවම කල් ගෙවන්නේ සිය පවුලේ 4 දෙනෙකු සාමසර කන්ද නිසා මියගොස් සිටින බැවිනි.
මගේ පවුලේ මාත් එක්ක 5 දෙනෙක් හිටියා. එයින් 4 දෙනෙක්ම පස් කන්දට යට වෙලා මියගියා. මම එදා බේරුණේ දවල් ලොතරැයි විකුණන්න ගිය නිසා. එදා දවල් 1ට විතර මම ඔය නාය ගිය අපේ ගෙවල් තිබුණු තැන ඉඳලා කඩමණ්ඩිය පැත්තට ගියා. ඒ ගිහින් ගෙදර එනකොට හෙලිකොප්ටරයක් බානවා වාගේ ශබ්දයක් මට ඇහුණා. මීදුම නිසා හරියට කිසිදෙයක් පෙනුණෙත් නැහැ. 5.20ට විතර තමයි මේ දේ සිද්ධ වුණේ. මම එදා වාසනාවකට බේරුණා. නමුත් අද හිතින් තැවෙනවා. අපේ ජීවිතවලින් අපේ දරුවො, බිරිඳ අමතක කරන්න බැහැ. අපි හොඳට ජීවත් වුණ අය. මේ විදිහට පස්වලට යට වෙයි කියලා කවුද හිතුවේ.
ඔහුගේ වචනවල බලය අඩු විය. එතරම් දුකක්, වේදනාවක් දැනෙන එතුමාගෙන් අප මීළඟට ඇසුවේ &දැන් ගෙවල් ලැබුණා. ඒ ගැන මොකද හිතෙන්නේ* යනුවෙනි.
ගෙවල්වල බිත්ති 4 තියෙනවා, වහලයක් තියෙනවා. වෙන මොනවත් අපිට නැහැ. අපි ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. අපි දැන් වයසයි. කුලී වැඩක් කරගන්නත් පේන තෙක් මානයක වැඩක් හොයාගන්න නැහැ. දැන් කිසිම දෙයක් රජයෙන් ලැබෙන්නෙත් නැති නිසා අසරණ අපි වෙනුවෙන් මොනවා හරි ජීවන වෘත්තියක් හඳුන්වා දුන්නොත් ඒ ඇති.
දැන් සාමසර කන්ද නාය ගියා කියලා අවතැන් වූවන් හැමතැනම. අපි තමයි මේකෙ අවතැන් වූ සැබෑම කොටස. නමුත් අධි අවදානම් නිසා ඉවත් කරපු අයත් කියන්නේ අපි සාමසර කන්දේ අවතැන් වූවන් කියලා. දැන් සියලු දෙනා කවලම් වෙලා. නමුත් මෙතන ඉන්න සියයට
90කගේම පවුල්වල අයගෙන් කවුරු හරි පස් කන්දට යට වුණා.
තම තමන්ගේ දුක සහ වේදනාව මෙම මිනිසුන් අපට පවසන්නේ සැබැවින්ම ඔවුන් තවමත් අසරණ බැවිනි. ඒ අතර සෑම අයෙක්ම රජය මගින් මෙන්ම පෞද්ගලික ආයතන පරිත්‍යාගශීලීන් විසින් නිවාස සකස් කර පදිංචි කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ අතර, ඔවුන් සෑම කෙනෙක්ම පැවසුවේ කූඩාරම්වල වසරකට ආසන්න කාලයක් දුක සේ අපහසුවෙන් ජීවිකාව පවත්වාගෙන ගිය බවයි.
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පසුව, එම කාලයේදීම එහි තවත් කඳු කිහිපයක් සුළු නාය යෑම්වලට ලක්විය. එමෙන්ම අධි අවදානම් සහිත ස්ථානවල ඇති නිවාස ඉවත්කර, ඔවුන්ව කඳවුරුවලට යොමු කරනු ලැබීය. ඒ අනුව රජයට නිවාස 586ක් මෙම අවතැන් වූවන් මෙන්ම අධි අවදානම් සහිත පවුල්වලට ඉදිකර දීමට සිදු වූ අතර, එහිදී රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික වතු සමාගම් යනාදියෙන්ද ඉඩම් අත්පත් කරගනිමින් නිවාස සකස් කිරීම ආරම්භ කරන ලදී.
මෙම ව්‍යසනය වන අවස්ථාවේදී අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා වී සිටියේ ඉසඩ්.ඒ.එම්. ෆයිසල් මහතායි. එතුමා සහ ඔහුගේ කාර්යමණ්ඩලයේ 370ක් පමණ වන සියලු දෙනා මෙවැනි ව්‍යසනයකට මීට පෙර මුහුණ දී නොමැති වුවත්, මෙම ව්‍යසනයේදී සියලු රාජකාරී දිවා, රාත්‍රී අකුරටම සිදුකර තිබිණ. ඒ සඳහා අරණායක මාවනැල්ල රාජ්‍ය ආයතනද, දිස්ත්‍රික් කාර්යාලයේද නොමඳ සහාය ලැබුණි.
මෙම ව්‍යසනය සහ තවත් කරුණු රැසක් පාදක කරගනිමින් පසුගිය මැයි 8 වැනිදා ජාතික රතු කුරුස සංවිධානයේ ජාතික දින උත්සවය අරණායකදී සිදුකළ අතර, අරණායක ප්‍රාදේශීය ලේකම්වරයා එහිදී මෙම ව්‍යසනය සම්බන්ධයෙන් දිර්ඝ අදහස දැක්වීමක් සිදුකළේය. එම අදහස් මෙන්ම මැයි 09 වැනි දින එතුමන්ගේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මුණගැසී සාකච්ඡාවට බඳුන් කළ කරුණුද මෙහි ලියා තබන්නේ අතිවිශාල සේවයක් මෙම රජයේ නිලධාරීන් මෙන්ම ඒ මොහොතේදී රතු කුරුස සංවිධානයද සිදුකර ඇති බැවිනි.
&2016 මැයි මාසේ 17 වැනිදා ඒ සිදු වූ නාය යෑමත් එක්ක අරණායක ප්‍රදේශයේ කඳවුරු 27ක් පවත්වාගෙන ගියා. පීඩාවට පත් වූ ජනතාව 6000ක් ඉක්මවා සිටියා. මේ සියලු කඳවුරුවලට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයා දුන්නා. විශේෂයෙන් කිවහොත් මුළුතැන් ගෙවල් ඉදිකිරීම, නාන ස්ථාන ඉදිකිරීම, වැසිකිළි පද්ධති ඉදිකිරීම වැනි ඒ සියලුම කටයුතු ඒ කඳවුරුවල ඉදිකරලා දුන්නේ රතු කුරුසය කියන එක අපි ඉතාම සතුටින් යුතුව ප්‍රකාශ කරන්නට කැමතියි.
මීට පෙර අරණායක කිසිදු අාපදාවක් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරයා විදිහට මම සහ මාගේ නිලධාරීන් අත්දැකීම් ලබාගෙන සිටියේ නැහැ. නමුත් අවස්ථානුකූලව තිබෙන ගැටලු විසඳාගෙන ඉදිරියට යන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ මහ දිසාපතිතුමා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් අපිට ලොකු ශක්තියක් ලබාදුන්නා. සමහර අවස්ථාවල ක්ෂණිකව අපිට කටයුතු සිදුකිරීමේදී රාජ්‍ය නොවන ආයතන විශාල සහයෝගයක් ලබා දුන්නා.
ඒ වගේම අපි අවතැන් වූවන්ට නිවාස ලබාදුන් වසන්තගම ගම්මානයේ නාය යෑමට ඍජුව සම්බන්ධ වූ පවුල් 55ක් ප්‍රථමයෙන් පදිංචි කළා. ඒ පවුල් 55 ඇතුළෙ ඉන්න පවුල්වල අයගේ සමාජිකයන් කවුරු හරි ආපදා තත්ත්වයෙන් මියගිහින් තිබෙනවා. ඒ අයගේ මානසික මට්ටමත් පහළ වැටිලයි තිබුණේ. ඉදිරියට යන්නේ කොහොමද, තමන්ගේ ජීවනෝපාය කරගන්නේ කොහොමද වගේ ගැටලු තිබෙන මොහොතේ රතු කුරුස සමාජය ඒ සියලු දෙනාටම රුපියල් 56,000 බැගින් ලබාදුන්නා. ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවීමට ස්වයංරැකියාවක් සිදුකරගන්න අපිට සහයෝගය ලබාදුන්නා.
මම හිතන විදිහට ආපදාවට ලක්වෙලා නැවත පදිංචි කරනවා කියනවට වඩා ඒ අයගේ ජීවනෝපාය නැවත යථාතත්ත්වයට පත්කිරීම කියන කාරණය ඉතාම අපහසුයි. නමුත් අපි අද සතුටින් කියන්නේ රතු කුරුස සමාජයෙන් අපිට ලබාදුන්න ඒ මුදලුත් එක්ක ඒ අය තමන්ගේ
ජීවන වෘත්තිය යහපත් අයුරින් සිදුකරගෙන ඉන්නවා.
කෙසේවෙතත් මැයි 9 වැනිදා ප්‍රාදේශීය ලේකම්වරයා හමුවූවායින් පසුව ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
&අපි දැනට නිවාස සකස් කරල දීල තිබෙන ස්ථාන කිහිපයක්ම තිබෙනවා. වසන්තගම ඍජුව නාය යෑමට ගොදුරු වූ අයට රුවන්දෙණිය තට්ටු නිවාස 60ක්, වේරගොඩ නිවාස 54ක්, තල්ගමුව නිවාස 36ක්, පනපුරේ නිවාස 27ක්, දුල්දෙණියේ නිවාස 16ක්, හබලක්කාවේ නිවාස 51ක් වශයෙන් නිවාස සකස් කර දී තිබෙනවා. මේ සියලු නිවාස සකස් කරල තියෙන්නේ රජය මගින් පවරාගත් ඉඩම්වලයි. මීට අමතරව තමන් විසින් ඉඩමක් සොයා ගත් පසු ඒ වෙනුවෙන් ලක්ෂ 4ක මුදල් රජය මගින් ලබා දී, නිවාස ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 12ක් රැගෙන ඉඩම් ලබාගත් අයද බොහෝමයක් සිටිනවා. ලක්ෂ 16ක් රජය මගින් ලබාගෙන නිවාස ගත් අයත් සිටිනවා. කෙසේවෙතත් මේ වන විට නිවාස 586ක් අපි ඉදිකරලා ජනතාව එයින් නිවාස බොහෝමයකම පදිංචි කර තිබෙනවා. දැනට කූඩාරම් සහ අවතැන් කඳවුරු අපේ කොටසේ නැහැ. යම් යම් ප්‍රශ්න මෙන්ම සමහර පවුල්වල තිබෙන උනන්දුව අඩු නිසා යම් කාර්යයන් ප්‍රමාද වී තිබෙනවා. ඒක රජයට චෝදනා කරන්න බැහැ* යැයිද පැවසීය.
කෙසේ වෙතත් හිටි හැටියේ සිදු වූ මෙම ව්‍යසනයට වසර දෙකක් ගත වී තිබෙන මේ මොහොතේ අවතැන් වූ බොහෝමයකගේ මෙන්ම, අධි අවදානම් පිරිසගේ කටයුතු අවසන් වී ඇති අතර, ඇතැම් නිවාස සංකීර්ණ පිහිටි ස්ථානවල යටිතල පහසුකම් යනාදිය තවමත් සිදුවෙමින් පවතී. ඒ සියල්ලද ඉතා ඉක්මනින් ජනතාවට ලබා දී වෙනස් වූ මෙම ජීවිත නැවත නගාසිටුවීමත්, විනාශ වී කැඩි බිඳී ගිය මානසික තත්ත්වයන් සංවර්ධනය කිරීමත් රජය මගින් සිදුකළ යුත්තේ මොවුන්ද අපේ රටේම කොටස්කරුවන් වන බැවිනි. එදා වැල නොකැඩී පැමිණි ජනතාව කළ උදව් සහ එම මිනිසත්කම මෙම හදවත් තුළ තවමත් පැලපදියන් වී තිබේ. ඔවුන් නැවත බලා සිටින්නේ ජීවන ගමන වෙනුවෙන් අත්වැල් සහ තල්ලුව ලබාදෙන තෙක්ය. සාමසර කන්දේ අවතැන් වූවන් සිටින වසන්තගම, සෙනෙහේ සියපත ගම්මානය වෙත ඔබ එනතුරු ඔවුන් බලා සිටී.
මෙලෙස නැවත ගම්මාන සකස්කර ජනතාව පදිංචි කළ ස්ථානවල ඇති පාරවල් මෙන්ම ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ප්‍රජා ශාලා ගොඩනැගිලි, සම්මන්ත්රණ ශාලා, උත්සව ශාලා යනාදිය සඳහා සකස් කර ඇති කෝටි ගණන් වියදම් කර සාදන ලද ස්ථාන අද කැලෑ වැදී ඇති අන්දමත් මෙම වසර දෙක සම්පූර්ණ වන කාලයේ අපට වසන්තගම ගම්මානයේදී දැකගත හැකි විය. එමෙන්ම බාගෙට ඉදිකරන ලද බැමිද, ජලය බැස යෑමේ ක්‍රමවේද නොතිබීම හේතුවෙන් සේදී යන පාරවල්ද, ඉඩම්ද අපට දැකගත හැකි විය. ඒවාද නියමිත කළමනාකාරීත්වයකින් යුතුව සකස්කර දිය යුතු බව අප සිහිපත් කරන්නේ මෙම සියලු දෑ ජාතික ආර්ථිකය නගාසිටුවීමට ඉවහල් වන බැවිනි.
එමෙන්ම දෛනිකව මෙම සුන්දර පරිසරය විනාශකර දමා තව තවත් නාය යෑම් වැනි ආපදා තත්ත්ව උදාකරන්නට සිදුකරන සංවර්ධනයන්ද නවතා දැමිය යුතුය. හෙට දවසේ අනාගතය වෙනුවෙන් තමන් තමන් විසින්ම මෙම පරිසරය ආරක්ෂා කර සුන්දර ලංකාවක් බිහිකරන්නට සියලු දෙනා අත්වැල් බැඳගත යුතුය.
එදා නායගිය සාමසර කන්ද අද ක්‍රමයෙන් කැලෑ වැදී එම ස්වාභාවික පරිසරය නැවත සකස් වෙමින් පවතී. තැනින් තැන නාය යෑමෙන් යට වූ නිවාස, සිද්ධස්ථාන යනාදියත්, වැසී ගිය සාමසර මුදුනේ රජයේ කනිෂ්ඨ පාසල සහ කඩ ඇතුළු අධිඅවදානමේ නිවාසද පාළුවට යමින් පවතී. මෙය රක්ෂිතයක් බවට පත්කරන ලෙස ගැසට් කර ඇති අතර, එය සිදුවන තෙක් ඉතිරි වූ ස්ථානවල තේ ඵලදාව මෙන්ම වැවිලි භෝගයන්ගේ ඵලදාව නෙළා ගැනීමට අදටත් ගිරි දුර්ග අතරින් ඇතැමුන් ගමන් කරයි.