Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
රජය ගෙන එන්නට සූදානම් වන සමාජ මාධ්‍ය නියාමනයක් පිළිබඳ මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. මහනුවර ආශ්‍රිතව පසුගියදා සිදු වූ ගැටුම මේ සඳහා ප්‍රමුඛතම හේතුව බවට පත්ව ඇතැයි වගකිවයුතු අංශවල ප්‍රකාශවලින් පැහැදිලිය. මීට පෙර ජාතිවාදී මතවාද දිනපතාම පාහේ සමාජ මාධ්‍යයන් අරක්ගෙන තිබියදී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ රජය විශාල ගැටුමක් ඇති වූ පසු එක්වරම නියාමන ගෙන එන්නට කටයුතු කිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බව ඇතැමුන් පෙන්වා දෙන අතර, අනෙකුත් සියදිවි නසාගැනීම් දක්වා දුරදිග ගිය අවභාවිතාවන් තිබියදී එදා රජයන් කිසිවක් නොකර සිටියේ ඇයිද යන්න ඇතැමෙක් ප්‍රශ්න කරති. තවත් පිරිසක් චෝදනා කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන මහා ඉහළින් වර්ණනා කළ මේ රජය මෙසේ නියාමන ගෙන එන්නේ දිගින් දිගටම සිදුවන රජයේ නොහැකියාවන් වසාගන්නට බවයි. කෙසේ නමුත් සමාජ මාධ්‍ය නියාමනය කොතෙකුත් දුරට සාධාරණද, ඒ සඳහා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න පිළිබඳව විද්වත් මතය ගෙන ඒමට %අද^ අප කටයුතු කරමු.
“සමාජ මාධ්‍ය අපේ රටේ ප්‍රචලිත වෙන්න කලින් ජනතාවට තමන්ගේ කුමන හෝ අදහසක් වේවා සමාජය වෙත මුදාහරින්න තිබුණු ඉඩකඩ ඉතාමත් සීමිත වෙලා තිබුණා. එවකට ජනතාව අතර ජනප්‍රිය වෙලා තිබුණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණේ වරප්‍රසාද ලත් පුද්ගලයන්ට පමණයි. ඒක මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම පොදු දෙයක්. වෛරී අදහසක් වුණත්, සමාජ ප්රගමනයට හෝ වෙනසකට හේතුවන අදහසක් වුණත් සෘජුවම ප්‍රකාශ කරමින් සමාජගත කිරීමේ වරප්‍රසාදය සෑම අයෙකුටම හිමි වීම ආරම්භ වෙන්නේ මේ සමාජ මාධ්‍යවල ආගමනයත් සමගයි.
මේ සමාජ මාධ්‍ය භාවිතයට කිසිදු සීමාවක් හෝ නියාමනයක් නොතිබෙන නිසා අතිශය නිදහස් වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පාලනයකින් තොරව ඕනෑම අදහසක් සෘජුවම සමාජගත කරන්න ඉඩ ලැබී තිබීමම බරපතළ ආකාරයේ සමාජ ගැටලු නිර්මාණය කරන්න අද හේතු වෙලා තිබෙනවා. මිනිසුන්ගේ මානසික මට්ටම් විවිධයි. ඒ ඔස්සේ පළ කරන අදහස් හොඳ පැත්තට වගේම නරකටත් හේතු වෙන්න පුළුවන්.
පසුගිය කාලවකවානුව තුළ මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකම සිදු වූ බල පෙරළීන් සමාජ මාධ්‍ය හරහා සිදුවුණු බවට ජනප්‍රිය මතයක් සමාජගත වුණා. ප්‍රධාන ධාරාවේ දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය පවා ඒ මතය සනාථ කරන ප්රවෘත්ති හුවාදැක්වුවා. ඒ හරහා තමයි සමාජ මාධ්‍ය හරහා දේශපාලනික බල පෙරළියක් ඇති කළ හැකි බවට අපේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ පරිශීලකයන් අතර විශ්වාසයක් ඇති වුණේ. මේ විශ්වාසය කොතරම් ප්‍රබලද කියනවා නම් 2015 බල පෙරළියෙන් පසු පත් වූ ජනාධිපතිවරයා පවා විශේෂ ස්තුතියක් කළා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට. ඒත් සමග සමාජ මාධ්‍යවලට ජනතාව තව තවත් නැඹුරු වෙන්න පටන් ගත්තා.
මෙතන තිබෙන දෛවෝපගත සිදුවීම තමයි තමන් බලයට පත් කිරීම ගැන සමාජ මාධ්‍යවලට ස්තුති කළ ආණ්ඩුවම පසුගියදා මහනුවර සිදු වූ ජාතිවාදී ගැටුම මුල් කරගනිමින් ඇති වූ අවභාවිතාවන් නිසා සමාජ මාධ්‍ය වාරණයකට යොමුවීම. ඇත්තටම මෙතන දකින්න ලැබෙන්නේ මාධ්‍ය නිදහස හෝ අදහස් පළ කිරීමේ නිදහස නෙවෙයි. මේ සමාජ මාධ්‍යවල හැසිරීමේදී අඩුම තරමින් ස්වයං ශික්ෂණයක් හෝ ඇතිව කටයුතු කරනවා දකින්න ලැබෙන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවෙලා තවත් කෙනෙකුට ද්වේෂ සහගත ආකාරයෙන් හානි කිරීම හෝ අපකීර්තියට පත්කිරීම අනුමත කරන්න බැරි කාරණයක්. සමාජ මාධ්‍ය ඇතුළෙ අසීමිත නිදහසක් තිබෙනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒ විශ්වාසය ඇති වෙන්නේ එය පාලනය සඳහා නීතියක් නොමැති වීම තුළ හෝ පවතින නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම තුළයි. එහෙමත් නැත්නම් ඒ නීති පිළිබඳ ජනතාව දැනුම්වත් නොවීම තුළයි.
මේ ගෙන එන්න යන නියාමනය පිටුපස තිබෙන්නේ ජාතිවාදී අදහස් පිටුදැකීම පමණක්මය කියන කාරණය විශ්වාස කරන්න හැකියාවක් නැහැ. මොකද රජයට එරෙහිව එන යම් යම් විරෝධතා මැඬපැවැත්වීමටත්, ඒ සඳහා තමන්ට බලය තිබෙන බව පෙන්වීමත් රජය මින් බලාපොරොත්තු වෙන බව පැහැදිලියි. සමාජ මාධ්‍ය හරහා වන අහිතකර තත්ත්වයන් මැඬපවත්වන්න රජයක් කටයුතු කිරීම සාධාරණ බව අපි දකිනවා. නමුත් පැහැදිලිවම අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වෙමින් සාධාරණ විරෝධයන් පවා මැඬලීමට උත්සාහ කරනවා නම් එය අනුමත කළ නොහැකියි. ඒ නිසා ගෙන එන්න බලාපොරොත්තු වන සමාජ මාධ්‍ය නියාමනයට විනිවිදභාවයක් තිබිය යුතුමයි.
මේ නියාමනය සඳහා දේශපාලන හිතවතුන් සහ රජයේම ඉහළ තනතුරු දරන පිරිස් පත්වෙනවා නම් එය කිසිසේත්ම සාධාරණ නැහැ. මේ නියාමනය පිළිබඳව, එය සිදුවිය යුතු ආකාරය පිළිබඳව, ඒ සඳහා පත් කරන පුද්ගලයන් පිළිබඳව, සකස් කෙරෙන නීති පිළිබඳව සහ නියාමනය කරන්නේ මොනවාද යන්න පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති වීම අවශ්‍යයි. අපි දකිනවා සමාජ මාධ්‍ය නියාමනය අවශ්‍යයි කියන බොහෝ පිරිස්වලට අඩුම තරමින් ෆේස්බුක් ගිණුමක් හෝ ට්විටර් ගිණුමක් නැහැ. ඒ නිසා සමාජයේ සිටින මේ සමග කටයුතු කරන සමාජය, නීතිය පිළිබඳ අවබෝධය තිබෙන විද්වතුන් සම්බන්ධ කර නොගත්තොත් තිබෙන ප්‍රශ්නයට වඩා බරපතළ ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා.*
සමාජ ජාල පරිහරණය යන විෂයය ඍජුවම පුද්ගලයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, යම් ආගමික විශ්වාසයක් දැරීමේ හා ප්‍රචාරය කිරීමේ අයිතිය යනාදී මූලික අයිතිවාසිකම් සමග එකට බැඳී පවතියි. එබැවින් සමාජ ජාල පරිහරණයට තහංචි පැනවීම එක් අතකින් මූලික අයිතිවාසිකම් සීමා කිරීමක් වනු ඇත. අනෙක් අතට එවැනි සීමා පැනවීම සමාජීය වටිනාකම්වල කාලානුරූපී පරිණාමයට සෘජු බාධා කිරීමක් වනු ඇත.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ සඳහන් ප්‍රකාශන ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින රාජ්‍යයකි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 15 වැනි වගන්තියේ සඳහන් පරිදි මිනිසුන්ට කිසියම් ජනවර්ගයකට අයත් බව පිළිගනු ලැබීමට අයිතිය තිබිය යුතු අතර, එම ජනවාර්ගික කොට්ඨාසයට අයත් නොවන සේ තමන් විසින් සලකා තම ජනවර්ගයෙන් වෙන්ව සැලකුම් ලැබීමට වුව අයිතිය තිබිය යුතුය. එහි 18 වැනි වගන්තියේ සඳහන් පරිදි සෑම මිනිසෙකුටම තමන්ගේ විශ්වාස මත රඳා පැවතීමටද, කැමති ආගමක් ඇදහීමටද නිදහස ඇත. එසේම තමන් අදහන ආගම කැමති පරිදි වෙනස් කිරීමටද අයිතිය තිබිය යුතුය. එහි 19 වැනි වගන්තියේ සඳහන් පරිදි සෑම තැනැත්තෙකුටම තම හෘදය සාක්ෂිය පිළිබඳ අයිතියද, එය ප්‍රකාශ කිරීමේ අයිතියද තිබිය යුතු අතර, විදේශ රටවල සිටින්නන්ගේ එබඳු තොරතුරු ලැබීමේ අයිතියද තිබිය යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තියේ සහ ඉන් අනතුරුව ඉදිරිපත් කළ සම්මුතීන්හි සඳහන් අයිතිවාසිකම් ගණනාවක්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීම තුළින් එම අයිතීන් මෙරට නීතියේ කොටසක් බවට පත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව මෙසේය.
‘‘සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳගැනීමේ නිදහසද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
සමාජ ජාල පරිහරණය කිරීමේදී ප්රකටව ක්‍රියාවට නැංවෙනුයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි ප්‍රබල අයිතිවාසිකම් වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) අනුව්‍යවස්ථාව ගෙනහැර පෑ හැකිය.
‘‘14(1) (අ) සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට හා ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.
14(1) (අ) අනුව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ නිදහස හා ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස යන්න අධිකරණමය අර්ථ දැක්වීම්වලදී පුළුල් ලෙස සලකා ඇත. වාචික ප්‍රකාශයන් මෙන්ම කටවුට්, බැනර්, පෝස්ටර් වැනි දේ තුළින් ඉදිරිපත් කර ඇති දේද ප්රකාශනය හා අදහස් පළකිරීම යන අර්ථය තුළට වැටෙන බව අමරසිංහ එදිරිව සිරිමල් ( 1993-1 ශ්‍රීලනිවා 264) නඩුවේදී පෙන්වා දී ඇත. විසුවලිංගම් එදිරිව ලියනගේ (1984-2 ශ්‍රීලනිවා 123) දරන නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්රකාශනයේ අයිතිය යන්න වඩාත් පුළුල් අර්ථයක් තුළ අර්ථ දක්වනු ලැබීය. ඒ අනුව පුවත්පතක් තහනම් කිරීම තුළින් පුවත්පත කියවන්නාගේ අයිතීන් බලපෑමට ලක්වන බව තීරණය කරනු ලැබීය.
කෙසේ නමුත් 14 වැනි ව්‍යවස්ථාවේ අන්තර්ගත භාෂණයේ අයිතිය 15(2) අනුව්‍යවස්ථාවෙහි ඇතුළත් සීමාකිරීම්වලට සෘජුවම යටත් වෙයි. 15(2) අනුව්‍යවස්ථාවේ ඇතුළත් සීමාකිරීම් හැරුණු කොට භාෂණයේ අයිතිය වෙනත් අයුරකින් සීමා කළ නොහැකි බව මලල්ගොඩ එදිරිව නීතිපති (1982-2 ශ්‍රීලනිවා 777) නඩුවේදී පෙන්වා දෙනු ලැබ ඇත.
15(2) අනුව්‍යවස්ථාවෙහි ඇතුළත් විස්තරය අනුව පහත සම්බන්ධ කරුණුවලට අදාළව නීතියෙන් කරනු ලබන සීමාකිරීම්වලට භාෂණයේ නිදහස යටත් වෙයි. මෙහි නීතියෙන් කරනු ලබන සීමාකිරීම් යන්නෙන් රටෙහි බලපවත්නා ලිඛිත හෝ ලිඛිත නොවූ නීතිය අදහස් කර ඇති බවත්, නීතියෙහි මට්ටමෙන් පහත ඇති දෙපාර්තමේන්තුවලින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ආදිය ඊට අදාළ නොවන බවත්, ප්‍රකට කරුණකි.
1. වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම
2.පාර්ලිමේන්තු වරප්‍රසාද
3.අධිකරණයට අපහාස කිරීම
4. අපහාසය
5. වරදකට පෙළඹවීම
මලල්ගොඩ එදිරිව නීතිපති (1982-2 ශ්‍රීලනිවා 777) නඩුවේ පෙත්සම්කරු කවියෙකි. ඔහු විසින් රචිත නූතන දේවදත්ත නම් කෘතියෙහි පිටපත් සියල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් 14 වැනි ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙන්වා දෙනු ලැබීය. එනමුත් වගඋත්තරකාර පාර්ශ්වය පෙන්වා දුන්නේ රජයේ ප්‍රධාන දේශපාලන බලධාරීන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ එම කෘතියේ තිබූ බැවින් එලෙස එම පිටපත් අත්අඩංගුවට ගත් බවයි. අධිකරණය මෙම කරුණෙහිලා 15(2) වැනි අනුව්‍යවස්ථාව සෘජුව බලපාන බව ප්‍රකාශ කළේය. ඒ අනුව අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම වැළැක්වීම තුළින් මූලික අයිතිවාසිකමක් කඩ නොවන බව තීරණය විය.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) වගන්තියට අනුකූලව වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම පිණිස සමාජ ජාල පරිහරණය සීමා කිරීමට නීති පැනවීමට පවත්නා රජයට බලයක් ඇති බව බැලූ බැල්මටම පෙනෙන්නට ඇත. එසේ නමුත් වර්තමානයේ හටගෙන ඇති සමාජීය අර්බුදය ජාතිවාදී අරගලයක් බවට ප්රක්ෂේපණය කර පෙන්වීමට දක්වන උත්සාහය හුදු මනෝභ්‍රාන්තීන් මත සිදුවන්නක් බව යුක්ති සහගත ලෙස ඔප්පු කර පෙන්වා දිය හැකිය.
2015 ජනවාරි 08 වැනිදා එතෙක් පැවැති රජය පෙරළා දමා අලුත් රජයක් බිහිකරනු ලැබීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් අතිවිශාල බලපෑමක් කරන ලද බව නොරහසකි. 20%ක් පමණ ඇතැයි ගණන් බලා ඇති ‘‘%පාවෙන ඡන්ද’වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සමාජ ජාලයන්හි බලපෑම හේතුවෙන් පෙර පැවැති රජයට අහිමි වී ගියේය. නැවත 2018 පෙබරවාරි මස 10 වැනිදා පවත්වන ලද පළාත් පාලන ඡන්ද විමසීමට පෙරාතුව ෆේස්බුක් ක්‍රියාකාරීන් රජයට විරුද්ධව මතවාදී අරගලයක් ගෙනගිය බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එම ප්‍රවණතාව සනාථ කරමින් රජයට අතිශය අවාසිදායක ලෙස ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්විය.
මෙවන් වාතාවරණයක් තුළ රජයේ තර්ජනාංගුලිය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙත එල්ල වීම පුදුමයක් නොවේ. සමාජ ජාල පරිහරණයට නීති පැනවීමේ හදිසි අවශ්‍යතාවක් රජය විසින් මතුකර ඇත්තේ පාවෙන ඡන්දදායකයන් තවදුරටත් ගැලවී යෑම වළක්වනු පිණිසය යන අප්‍රසන්න අනුමිතියට අද වැඩි දෙනෙක් පත්ව සිටිති. ගිංතොට, තෙල්දෙණිය, දිගන, අම්පාර වැනි ප්‍රදේශවල විටින් විට ඇවිළුණු ගැටුම්, ජාතිවාදී අරගල නොවන බව එම සිද්ධීන්ගේ පසුබිම සාධාරණ විශ්ලේෂණයකට බඳුන් කිරීමේදී පෙනී යයි. ඒ සියලු සිද්ධීන් පිටුපස බලලෝභී දේශපාලන හස්තයන් කිහිපයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd