සබරගමු මහ සමන් දේවාලය ශතක අටකට වැඩියෙන් පැරණි දේවාලයකි. තථාගත බුදුරජාණන් වහන්සේ ලක්දිව කැලණියට වැඩි අවස්ථාවේ දහම් අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් නම් බෞද්ධ ප්‍රාදේශීය නායකයෙකු වූ සුමන සමන් නැමැති ජන නායකයා මරණයෙන් පසු දේවත්වයට පැමිණ බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්ව ඇතැයි යන්න එක් ජනතා විශ්වාසයකි.
සබරගමු පළාතට අධිගෘහිත සුමන සමන් දෙවියන් සිරිපා අඩවිය සිය වාසස්ථානය කරගෙන සිටින බවට ජනතාව විශ්වාස කරති. සිරිපා වන්දනාවාරය ආරම්භ කිරීමේ දී හඳුන් දැවයෙන් මූර්තිමත් කළ සුමන සමන් දෙවියන්ගේ රුවද සධාතුක කරඬුව සමග වැඩම කරවන්නේ එනිසාය.
එසේම සිරිපා වන්දනා වාරය අවසන් කිරීමේදී නැවත වරක් සිරිපා මළුවේ සිට එම දෙව්රුව සහ සධාතුක කරඬුව ආපසු වැඩම කරවයි. කෙසේ නමුත් සිරිපා මළුවට වැඩම කරවන සුමන සමන් දෙව්රුව තැන්පත්කර ඇත්තේ පැල්මඩුල්ලේ පිහිටි ගල්පොත්තාවල ඓතිහාසික ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේය.
සමන් දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1228-1263 කාලයේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේය. රජුගේ මහ ඇමතිවරයාව සිටි ‘ආර්යකාමදේව ඇමතිවරයා විසින් බවද ඉතිහාසයේ දැක්වේ. ඒ භාරයක් ඔප්පු කිරීම වෙනුවෙනි. සමන් දේවාල භූමියේම විහාරස්ථානයක්ද පිහිටි අතර එය සමන් විහාරය නම් විය.
සමන් දේවාලයේ පෙරහර සම්බන්ධව විමසීමේදී ක්‍රිස්තු වර්ෂ 1580දී දන්ත ධාතූන් වහන්සේට උපහාර පිණිස දළදා පෙරහරක් මුලින්ම වැඩම කළ බව ඉතිහාසයේ දැක්වේ. මේ වකවානුවේ වත්මන් සමන් දේවාලය පිහිටි භූමිය ‘සමන් වෙහෙර’ ලෙස හඳුන්වා තිබේ. ඒ වනවිට සීතාවක රාජධානිය රටේ ප්‍රධාන රාජධානිය බවට පත්ව තිබුණි. ඊට හේතුව වූයේ කෝට්ටේ රාජධානියේ තිබූ දළදා වහන්සේ සීතාවක රාජ්‍යයට වැඩම කරවීමයි.
ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1549දී කෝට්ටෙන් දන්ත ධාතූන් වහන්සේ සීතාවකට හොර රහසේ වැඩම කරවා සීතාවක රජකළ මායාදුන්නේ රජුට භාර කළේය. සීතාවක රාජධානිය වත්මන් අවිස්සාවේල්ල ආශ්රිත ප්‍රදේශයේ තිබූ නිසා දළදා වහන්සේ එහි තැන්පත් කිරීම එතරම් ආරක්ෂාකාරී නොවූ බැවින් එතැනින් කිලෝමීටර් තිහක් පමණ දුරක වූ කුරුවිට පිහිටි දෙල්ගමු රජමහා විහාරස්ථානයේ වැඩසිටි ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර නම් මහ තෙරනමකට පැවරිණි. උන්වහන්සේ මායාදුන්නේ රජුගේ සමීපතම හිමිනමක වූහ.
වැඩි ආරක්ෂාවට දෙල්ගමුවේදී යෝධ කුරහන් ගලක් තනා ඒ තුළ වූ කුහරයක දළදා වහන්සේ බහාලූ කරඬුව තැන්පත් කර තිබුණි. මායාදුන්නේ රජුගෙන් පසු රාජ්‍යත්වයට පැමිණි පළමුවන රාජසිංහ රජු දෙල්ගමුව විහාරයේ තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ, වත්මන් සමන් දේවාලය වූ එදා සමන් වෙහෙරට පෙරහරින් වැඩම කරවා සමන් වෙහෙරේද පෙරහර පවත්වා නැවත දෙල්ගමු රජමහා විහාරයට පෙරහරින් වැඩම කරවා යළිත් යෝධ කුරහන් ගල තුළම තැන්පත් කර තිබේ.
ක්‍රිස්තු වර්ෂ 1592 තෙක් මේ ආකාරයට පෙරහර පැවැත්වුවද, රට ආක්‍රමණය කර සිටි පෘතුගීසීන් සීතාවක හරහා රත්නපුර දෙසට පැමිණීමට පටන් ගෙන තිබුණි.
ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජු ශිව ආගම වැලඳ ගැනීමද දළදා වහන්සේගේ ආරක්ෂාවට ගැටලුවක්වූ නිසා දෙල්ගමුවේ වැඩසිටි මහින්දාලංකාර හිමි දළදා වහන්සේ කන්ද උඩරටට (මහනුවරට) හොර රහසේම වැඩම කරවූහ.
දළදා වහන්සේ සොයා දෙල්ගමුවට පැමිණි පෘතුග්‍රීසින් දෙල්ගමු පන්සල විනාශකර එහි කඳවුරු බැඳගත්හ.
ඉන් පසු පෘතුගීසීහු සමන් වෙහෙර (වත්මන් සමන් දේවාලය) ආක්‍රමණය කර එහි කතෝලික දේවස්ථානයක්ද පිහිටු වූහ.
වෙනත් පෙරහරවලදදී දක්නට නොලැබෙන අංගයක් සමන් දේවාල පෙරහරේදී දක්නට ලැබෙයි. ඒ ‘මහබඹා කෝළමයි’, ‘බබා කෝළම’, ‘මහ බබා’, ‘මහබඹා’ ආදී නම් වලින්ද එය හඳුන්වනු ලබයි. මේ මහබඹාට මුහුණු දෙකක් ඇත. එක් පැත්තක දෙවියෙක් බඳු පැහැපත් මුහුණකි. අනෙක් පැත්තේ යක්ෂයෙකු වැනි බියකරු මුහුණකි.
ඒ මුහුණේ නයි පෙන ද ඇත. වම් අත ඉනට තබාගෙන සිටින ස්වරූපයක් ගන්නා අතර ඒ අතේ මල්ඉත්තක් ඉනට තබාගෙන සිටින ස්වරූපයකි. අකුණු අත ඉහළට දිගු කරගෙන කඩුවක්ද අමෝරාගෙනය. මේ මහබඹා කෝළම අඩි අටක් පමණ උස වන අතර උණ ලී සැකිල්ලකින් එය නිර්මාණය කර ඇත. ඇතුළට රිංගා ගන්නා තැනැත්තෙක් එය පෙරහරේ ගෙන යනු ලබයි.
සමන් දේවාල පෙරහර පෙරහර පහකින් සමන්විතය. දළදා කරඬුව රැගත් දළදා පෙරහර මුලින්ම ගමන් කරයි. ඒ ක්‍රිස්තු වර්ෂ 1580දී දෙල්ගමු විහාරයේ සිට වැඩම කළ දළදා පෙරහරේ සිහිපත් කරවීමයි. දළදා පෙරහරට පිටුපසින් ගමන් කරන්නේ පත්තිනි දේවාල පෙරහරයි. ඊට පිටුපසින් සමන් දෙවියන්ගේ බිරිඳ වූ බිසෝ දෙවියන් වෙනුවෙන් පවත්වන බිසෝ දෙවි පෙරහර ගමන් කරයි. ඊට පිටුපසින් කුමාර දෙවි පෙරහර ගමන් කරයි. එය සමන් දෙවියන්ගේ පුතණුවන් වෙනුවෙන්ය. අවසානයට ගමන්ගන්නේ සමන් දෙවි පෙරහරයි.
සමන් දේවාලයේ පෙරහර කප් සිටුවීමෙන් ආරම්භ වන අතර, ඊට පෙර මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සර්වරාත්‍රික පිරිත් දේශනයක් දේවාලයේ පැවැත්වේ. පසුදින සාංඝික දානයකි. කප් සිටවුන්නේ ඊට පසුදිනය. කප් සිටවූ දිනයේම කුඹල් පෙරහර උඩමළුව වටා පැවැත්වෙයි. දේවාභරණ තැන්පත් කළ දෝලාවක්ද සහිතව පත්තිනි දේවාලයේ පෙරහරද ඊට එක්වෙයි. කුඹල් පෙරහර සවස් වරුවේ පුරා දින පහක් තිස්සේ පැවැත්වෙයි.
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 22දා අලුයම නැකතට කප් සිටුවීමෙන් පසු ආරම්භ විය. කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර සහ දිය කැපීමේ ගඟේ දහල් පෙරහර යන පෙරහර සතර පැවැත්වීමෙන් අනතුරුව දේවාභරණ යළි දේවාලයේ තැන්පත් කිරීමෙන් පසු සැප්තැම්බර් 06 දින පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.
මෙවර අගෝස්තු 22 දින සිට අගෝස්තු 26 දින දක්වා කුඹල් පෙරහර පැවැත්විණි.
හයවන දිනයේ සිට දෙවේලේ පෙරහර ආරම්භ වෙයි. සවස 06.00ට සහ රාත්‍රී 09.30ට දෙවතාවක් පෙරහර පැවැත්වෙයි. එනිසා එයට දෙවේලේ පෙරහර යැයි පැවසේ. දෙවේලේ පෙරහරේ දේවාභරණ වැඩම කරවන්නේ අලියෙකු පිටය.
ඊට අමතරව පත්තිනි දේවාලයේ දෝලාවක් දෙවේලේ පෙරහරේ වැඩම කරවයි. දෙවේලේ පෙරහර උඩමළුවෙන් පටන් ගෙන බඩල් වීදිය, උඩ වීදිය, ගම්පහේ වීදිය සහ හුණුවල වීදිය ඔස්සේ ගමන් කරයි. දෙවේලේ පෙරහර ගමන් කරන්නේ හේවිසි, කොඩි, සේසත් සහ සබරගමු නැටුම් ආදී අංගද සහිතවය.
හස්තියකු පිට වැඩම කරවන රන් හීයක් සමන් දෙවිඳුන් සංකේතවත් කරමින් වැඩම කරවයි. බිසෝ දෙවියන් නියෝජනය කරමින් පෙරහරේ ආභරණ වැඩම කරවීම දෙවේලේ පෙරහරේ විශේෂත්වයකි. ‘බොලපැන් තේවය’ පැවැත්වෙන්නේ දෙවේලේ පෙරහර කාලය තුළවීමද සුවිශේෂය. සවස 03.00ට පටන් ගන්නා මෙය පැරණි චාරිත්රයකි. මෙවර දෙවේලේ පෙරහර පැවැත්වෙන්නේ ඊයේ (27දා) සිට ලබන 31දින දක්වාය.
දෙවේලේ පෙරහරින් පසු සැප්තැම්බර් 01දා මහ පෙරහර ආරම්භ වෙයි. එය අවසන් වනනේ සැප්තැම්බර් 05 දිනය. දළදා පෙරහර, පත්තිනි දෙවි පෙරහර, බිසෝ දෙවි පෙරහර, කුමාර දෙවි පෙරහර සහ සමන් දෙවි පෙරහර එක්ව වීදි සංචාරය කරන්නේ මහ පෙරහරේදීය. නිල ඇඳුමින් සැරසුණ බස්නායක නිලමේවරයාද පෙරහරේ අවසානයට ගමන් කරයි. නැකතට පෙරහර ආරම්භ වන අතර බොහෝ වෙලාවට නැකැත් යෙදෙන්නේ රාත්‍රී නවයෙන් පසුවය.
සැප්තැම්බර් 06 දින අලුයම දිය කැපීමේ පෙරහර හෙවත් ගඟේ පෙරහර පැවැත්වෙයි. දේවාල භූමියෙන් රත්නපුර පානදුර ප්‍රධාන පාරට පිවිස කොටාඹේ තොටුපළින් දිය කැපීමෙන් ගඟේ පෙරහර ආරම්භ වෙයි. කළුගඟ ඔස්සේ ඔරු අඟුල් වලින් සැතපුම් හතරක් පමණ ඉහළට ගොස් රතඹලා ඇල්ල අසලදී චාරිත්‍රානුකූලව දිය කැපීම සිදුකරයි.
දිය කැපීමෙන් පසු යළි ගඟ දිගේ ඔරු පාරුවලින් දේවාලයට නුදුරු කොටාඹේ තොටුපළට පෙරහර පැමිණි පසු ඇලි ඇතුන් හා උඩරට, පහතරට, සබරගමු ආදී සම්ප්‍රදායන්ට අයත් නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විත පෙරහරකින් යළි රත්නපුර පානදුර ප්‍රධාන පාර ඔස්සේ දේවාල වීදියට ඇතුළුවී දේවාලයට ගෙවැදීමෙන් පසු සබරගමු මහ පෙරහර අවසන් වෙයි. දිය කැපීමේ පෙරහර, ගඟේ පෙරහර සහ දවල් පෙරහර ලෙස ද හඳුන්වයි.
පෙරහර පැවැත්වීමේදී වර්තමානයේ නම් මොහොට්ටාලවරු, විදානේවරු, ලේකම්වරු සහ කංකානම්වරු, බස්නායක නිලමේවරයාට පූර්ණ සහාය ලබාදෙති. ක්‍රිස්තු වර්ෂ 1600 සිට මේ වනවිට 33 වැනි බස්නායක නිලමේවරයා ලෙස රාජකාරී කටයුතු කරන්නේ කමල් සේනක රත්වත්තේ මහතා ය.
අජිත්ලාල් ශාන්තඋදය