ඌව පළාත යනු ස්වභාවධර්මයාගේ දායාදයන්ගෙන් මනා ලෙස පෝෂණය වූ පළාතකි. දුන්හිඳ, දියලුම, ඇල්ල හා රාවණා ඇල්ල ආදී වූ ස්ථාන පිළිබඳව බොහෝදෙනා අසා තිබුණද තවමත් හරිහැටි දෙස්විදෙස් සංචාරකයන්ගේ නෙත නොගැටුණු ස්ථාන රැසක්ම ඌව පළාත තුළ පිහිටා ඇත. බදුල්ල, පස්සර, මඩොල්සිම හා රෝබේරි වතුයායන් අතර පිහිටි කුඩා ලෝකාන්තයද ඌව පළාතට පැමිණෙන්නන්ගේ නෙතට හසුවිය යුතු ස්ථානයකි.
මෙහි පැමිණෙන්නෙකුට ඒ සඳහා මාර්ග කිහිපයක්ම භාවිත කළ හැකිය. ප්‍රධාන මාර්ගය වන්නේ බදුල්ල නගරයේ සිට පස්සරට පැමිණ එතැන් සිට පස්සර - පිටමාරුව මාර්ගය ඔස්සේ මෙම ස්ථානයට පැමිණීමය. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 61ක් පමණ මේ සඳහා ගමන් කළ යුතුය.
මහනුවර සිට පැමිණෙන්නේ නම් බදුල්ල - රන්දෙණිගල මාර්ගයේ මීගහකිවුල නගරයට පැමිණ එතැන් සිට පිටමාරුවට ගොස් මෙම ස්ථානයට පැමිණිය හැකිය. මීගහකිවුල නගරයේ සිට මේ සඳහා කිලෝමීටර් 35ක් පමණ ගමන් කළ යුතු අතර, එම මාර්ගයේ යාහැක්කේ යතුරු පැදි හා ජිප් රථ ආදී වාහනවලට පමණක් බවද සිහිතබා ගත යුතුය.
කිනම් මාර්ගයක් ඔස්සේ ගමන් කළද ගමන් ගන්නා මග දෙපස පිහිටි තේවතු දිය කඩිති, පිටිසර ගම්මාන, කුඩා දිය ඇලි නිසා කිසිදු වෙහෙසකින් තොරව ගමනාන්තය කරා ළඟා විය හැකිය.
ගමන අතරතුරදී මෙරට ප්‍රථම අගමැතිවරයාගේ නමින් නම් කර ඇති එතුමන්ගේ රුවට සමාන දැවැන්ත ගල් ශිඛරයක් වන ඩී.එස්. ගල හෙවත් කොකාගල නැරඹීමේ අවස්ථාවද ඔබට හිමිවනු ඇත.
කුඩා ලෝකාන්තය නැරඹීම සඳහා එතරම් දුරක් පාගමනින් යායුතු නොවන අතර, ප්‍රධාන මාර්ගයේ සිට එයට ඇති දුර මීටර් 50කටත් අඩුය.
එක්වරම පහළට විහිද ගිය එහි බෑවුම අඩි 1250ක් පමණ වන අතර, දර්ශන පථය සැතපුම් සිය ගණනක් දක්වා විහිද යයි. මෙම ස්ථානයේ සිට බැලූ විට බිබිළ - මහියංගනය මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් මෙන්ම වැව් හා ජලාශ රැසක්ද නිරීක්ෂණය කළ හැකිය.
මෙහි එක් පසෙක දර්ශන පථය අම්පාර, මඩකලපුව නැගෙනහිර වෙරළ තීරය දක්වා විහිද යන අතර, අනෙක් පස මහියංගනය, පොළොන්නරුව තෙක් විහිද යයි. මිහිදුමින් ඉඳහිට එල්ල වන බාධාවන් හැරුණු විට ඔබේ රස වින්දනයට මේ පාරාදීසයේදී යම් බාධාවක් එල්ලවන්නේ නම් ඒ ඉඳහිට වතු කම්කරුවෙකුගේ මුවින් නික්මෙන හු හඬකින් පමණි.
නුවරඑළියේ පිහිටි මහා ලෝකාන්තයට ගමන් කරන විට දැනෙන තරමේ දැඩි සීතලක් නොවුවද මෙහි ඇති සෞම්‍ය දේශගුණය සැබැවින්ම ආශ්වාදජනකය.
පුංචි ලෝකාන්තයේ තුන්පසෙකින්ම ඇත්තේ බැලූ තෙක් මානයේ විහිද යන සුන්දර තේ වගාවන්ය. ඉහළට වැඩී ගිය ගස් සහිත බිම්තීරුවද, නෙල්ලි කහට ඇඹුල්පේර ආදී වූ ගස් සහිත පතන් බිමද මෙම බිම්තීරුවට ගෙන එන්නේ මනා සුන්දරත්වයකි.
මෙම ස්ථානයේ සිට මීටර් සියයක් පමණ ඈතට වන්නට මෙවැනිම තවත් ලෝකාන්තයක් පිහිටා තිබුණද බොහෝ දෙනෙකු රැඳී සිටීමට තෝරාගන්නේ මෙම ස්ථානය බව මේ ගමනේදී අපට හමුවූ වතු කම්කරුවෝ පිරිසක් පැවසූහ.
කලකට පෙර මෙම කොටස්වල කුලු හරකුන් සිටි බව අවට ගම්මානවල පිරිස් පැවසුවද අද වනවිට එම සත්ත්ව විශේෂය වඳවී ගොසිනි. එහෙත් මෙහි පැමිණෙන්නෙකුට වල් ඌරන්, මුවන්, ගෝනුන්, වළි කුකුළන්, සාවුන් වැනි සතුන් දැක බලා ගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත.
එසේම මෙහි ඇති ගහකොළ මත නිදහසේ සැරිසරන කුරුල්ලන් විශේෂ රැසක්ද නැරඹීමට ඔබ හැකියාව ලැබෙන අතර, විවිධ වර්ගයේ ශාක, ඔසු පැළෑටි ආදිය පිළිබඳ හදාරන්නන්ටද මෙය කදිම තෝතැන්නකි.
මෙම ස්ථානය මේ වනවිට පස්සර ප්‍රාදේශීය සභාව මගින් ආරක්ෂිත ලෙස සකස් කර තිබුණද සංචාරකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විවිධ අනතුරු සිදුවීමේ අවදානමක් නැතැයිද පැවසිය නොහැකිය.
සංචාරකයන් දහස් ගණනින් ගැවසෙන සංචාරක පුරවරයක් නොවූවද මෙහි පැමිණෙන ඔබ විශ්මයට පත්කර වන සුන්දර දසුන් පෙළක් උරුම වූ පුංචි ලෝකාන්තය ඌව පළාතට පැමිණෙන ඔබ අනිවාර්යයෙන්ම නැරඹීමට අවශ්‍ය ස්ථානයකි.
ඔබ මෙහි පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය ආහාර රැගෙන පැමිණිය යුතු අතර, නැවතී සුන්දරත්වය අත්විඳින්නට ඇවැසි පිරිස් කූඩාරම් රැගෙන ඒමටද, කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් වීමටද සිහි තබා ගත යුතුය. එමෙන්ම තම ආරක්ෂාව සලසා ගැනීමටද නිරතුරුවම සිහි තබා ගත යුතුය.
මෙය විවෘතව තැබෙන වේලාවක් නිශ්චිත වශයෙන් නොමැති අතර, ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමක් අවශ්‍ය නොවන බවද සිහිපත් කළ යුතුය.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක