Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නවතම වාර්තාවලට අනුව මෙරට හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. ඔවුන්ගේ භාවිතයට වීදි මට්ටමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 985 ක් පමණ වසරකට අවශ්‍ය බව ඇස්තමේන්තුගත කර ඇත.
මෙවන් වාතාරවරණයක් පවතින පසුබිමක හෙරොයින් මහා පරිමාණයෙන් අත්අඩංගුවට පත්වන්නේ කාගේ පරිභෝජනයටදැයි පැනයක් නැගෙනු ඇත.
මන්දයත් පසුගිය දින කිහිපය තුළ 'දිවයිනේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම කුඩු තොගය', 'එක්කෝටි විසි ලක්ෂයක් වටිනා කුඩු අල්ලයි' ආදී සිරස්තල යටතේ පුවත් පළවීම හේතුවෙනි. මෙලෙස අප රටට හෙරොයින් කිලෝ සිය ගණනින් ඇතුළුවන්නේ අපේ රට හෙරොයින් හුවමාරු වන මධ්‍යස්ථානයක් වශයෙන් හෙරොයින් ජාවාරම්කරුවන් විසින් භාවිත කිරීම හේතුවෙනි.
මෙරටට ගුවන් මගින්, බෝට්ටු මගින් ප්‍රධාන වශයෙන් හෙරොයින් ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන් හා පාකිස්තානයෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දකුණු ඉන්දියාව හරහා බටහිර වෙරළ තීරයට මාළු බෝට්ටු ආධාරයෙන් හෙරොයින් ප්‍රවාහනය කෙරෙන බවට වාර්තා වේ. 2015 වර්ෂයේ හෙරොයින් කිලෝග්‍රෑම් 47 ක් නීතියේ රැහැනට හසු කරගෙන ඇති බවට ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එසේම හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් ගණන 26,539 බවත්, එය 2014 වසරට සාපේක්ෂව 14% ක ඉහළ යෑමක් බවත් එහි සඳහන් වේ. තවද 2015 වර්ෂයේ හෙරොයින් සම්බන්ධව අත්ඩංගුවට ගැනීම්වල ප්‍රවණතාව ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට 128 ක් ලෙසද සටහන් වෙයි. 2015 වර්ෂයේ හෙරොයින්වල මිල ගණන් 2014 වසරට සාපේක්ෂව 32%කින් පහළ ගොස් තිබුණු බව සඳහන් වේ. එනම් රුපියල් මිලියන 9.5 සිට රුපියල් මිලියන 6.5 දක්වා මිල සටහන් වී තිබිණි.
කෙසේ වෙතත් 2016 වර්ෂයේ මෙම අගයන් යළි ඉහළ ගොස් ඇත. එනම් මේ වනවිට හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් මිලියන 10 ක් බවට පත්ව ඇත. එසේම පවතින දත්තවලට අනුව මෙරට භාවිත වන හෙරොයින්වල ඩයි ඇසිටයිල් මෝර්ෆින් ප්‍රමාණයේ අගය 15.55%කි. මෙය 2014 ට සාපේක්ෂව 39%කින් පහළ යෑමකි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් සිදුකරනු ලැබූ සාම්පල පරීක්ෂාවන් මගින් සිදුකළ විශ්ලේෂණවලදී සොයාගෙන ඇත්තේ පසුගිය අවුරුදු 05 තුළ හෙරොයින් සාම්පලවල ශුද්ධතා අගයෙහි සාමාන්‍ය අගය ක්‍රම‘යෙන් අඩු වී ඇති බවය.
2013 වර්ෂයේ හෙරොයින්වල ශුද්ධතා අගයෙහි සාමාන්‍යය 30%ක් වී ඇති අතර, 2015 වර්ෂයේ එය 15.5% ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් අතට පත්වන හොරොයින් ප්‍රමාණය අඩු මට්ටමක පවතින බව පැවසිය හැකිය. මේ හේතුව නිසා ක්‍රමයෙන් හෙරොයින්වල මිල ගණන් ඉහළ යමින් පවතියි. හෙරොයින් මිල ඉහළ යෑමත්, සුලබත්වය අඩුවීමත් යන හේතු මත ක්‍රම‘යෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් වෙනත් ආදේශක කරා යොමු වීමක් දක්නට ලැබෙයි.
ඒ හේතුව නිසාම හෙරොයින් හා සමානව මෙරටට ගෙන එනු ලබන ගංජා ප්‍රමාණයන්ද ඉහළ ගොස් ඇත. 2015 වර්ෂයේ මත්ද්‍රව්‍ය ආශ්රිත අත්අඩංගුවට ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක්ම වාර්තා වන්නේ ගංජා ආශ්රිත වැරදි සඳහාය. එය පුද්ගලයන් 52,076 කි.වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මීළඟට ගම්පහ සහ මාතර දිස්ත්‍රික්කවල අත්අඩංගුවට ගැනීම් පිළිවෙළින් සටහන් වෙයි.
2015 වර්ෂයේදී ගංජා කිලෝග්‍රෑම් 6570 ක් අත්අඩංගුවට ගෙන ඇත. එසේම මනෝවර්ථක ගණයේ ඖෂධ දුර්භාවිතයද ක්‍රම‘යෙන් මෙරට සමාජය තුළ ගැටලුවක් බවට පත්වෙමින් පවතියි.මේ හේතුව නිසාම ශ්‍රී ලංකා පොලීසිය, රේගු දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ, නාවික හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් මගින්ද මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරනු ලබයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයන් ළඟ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත්වෙද්දී මහා පරිමාණයෙන් ප්‍රවාහනය කරන්නෝද නීතියේ රැහැනට හසුවෙති. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ සංක්‍රමණික ස්ථානයක් වන ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය යුරෝපයේ රටවල් හා බටහිර රටවලට කොළඹ, මාලදියින හරහා බෙදාහැරීම සිදු වේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා අනුව පසුගිය වසර පහක කාලය තුළ නිරිතදිග ආසියානු හෙරොයින් හෙවත් දුඹුරු හෙරොයින් ප්‍රධාන වශයෙන් ජාවාරම් කර ඇත්තේ ඉන්දියාවෙන් හා පාකිස්තානයෙනි. එසේම පසුගිය වසර 08 ක කාලය තුළ විදේශීය ජාතිකයන් 130 ක් ශ්‍රී ලංකාවේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර 44 දෙනෙක් ඉන්දියානුවෝ වෙති.
එසේම විදේශ රටවලදී ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකුද අත්අඩංගුවට පත් වී ඇති අතර, ඔවුන්ද ඉන්දියාව හා මැලේසියාව වැනි රටවලදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ හෝ වේවා 2015 වර්ෂයේදී මෙරට තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා 82,482 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. එය 2014 වසරට සාපේක්ෂව 23෴ ක වැඩි වීමකි. ඔවුන් අතරින් 32% ක් හෙරොයින් සම්බන්ධ වැරදි සඳහාද, 63% ක් ගංජා සම්බන්ධ වැරදි සඳහාද වේ. මෙරට වීථි මත්ද්‍රව්‍ය හුවමාරුව මෙන්ම සංක්‍රමණික ප්රවාහනයටද වැට බැඳීම උදෙසා නීති දැඩිව ක්‍රියාත්මක කරමින් පවතියි. එසේම පරිභෝජනයේ අගය අඩු කරගැනීම සඳහාද අලුතින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන්නන් අඩු කරගැනීම සඳහා තරුණ ප්‍රජාව දැනුම්වත් කෙරෙයි. ඒ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද එක්ව සිටියි. තවද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගැනීම සඳහාද එම ආයතන හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. මෙසේ සමාජයක් විනාශ මුඛයට ඇද දමන මත්ද්‍රව්‍ය මෙරටින් අතුගා දැමීම සඳහා එක්ව සිටින ආයතන කිහිපයක් මෙලෙස අප සමග අදහස් දැක්වීය.
අපේ මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන ආයතන 05 ක් තියෙනවා. ඒ පහේම නිතරම 400 ක් වගේ පුනුරුත්ථාපනය සඳහා යොමු කෙරුණු අය ඉන්නවා. ඒ අය අපි වෙත එන්නෙත් පොරොත්තු ලේඛනයක රැඳී ඉඳලයි. හැම වෙලාවෙම ඇතුළු වෙන්න බලාගෙන තව පනහක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී ඉන්න බව පේනවා. මේ දවස්වල පුනරුත්ථාපනය සඳහා යොමුවන පුද්ගලයන්ගේ වැඩිවීමක් තිබෙනවා. වෙළෙඳ පොළේ හෙරොයින් අඩුවීමත්, පොලිස් නිලධාරීන් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමත් නිසා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඉන් මිදෙන්න ගොඩක් උත්සාහ දරනවා වගේම, පුනරුත්ථාපනය සඳහා යොමු වෙනවා.
නමුත් ගැටලුවක් ලෙස අපට දකින්නට ලැබෙන්නේ පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන අය අතර අඩු වයසේ ළමයින් වැඩි වීම. මේ අයගෙන් බොහෝ දෙනා මත්පෙති වර්ගවලට තමයි ඇබ්බැහි වී තිබෙන්නේ. ඒ කියන්නේ අපේ ළමා පරපුර අතර මත්පෙති වැනි වෙනත් ආකාරයේ මත්වන ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා. එය ගැටලුවක් බවට පත්වෙලා. රූපවාහිනී දර්ශන, අන්තර්ජාලය හරහා මනස අවුල් වී තිබීමත්, නිවෙස් තුළ හංසාකාරී වාතාවරණයක් පැවතීම වැඩි වීම නිසාත්, දෙමාපියන් සමග තිබෙන සම්බන්ධතාව ගිලිහී යෑමත් නිසා ළමයින් මත්ද්‍රව්‍යයට හුරුවීම දක්නට ලැබෙනවා. ඒ වගේම සමාජගත දුර්මත නිසාත් පිරිමි ළමයින් මත්ද්‍රව්‍යවලට පෙළඹීම දැකගත හැකියි. අපි ළඟට හෙරොයින්වලට ඇබ්බැහි වූ ළමයි දිහා බැලුවම ඔවුන් මේ දක්වා ඇවිත් තියෙන්නේ මුලින්ම සිගරට්ටුව භාවිතයෙන්, දුම්කොළ, පුවක් භාවිතයෙන්. එහෙමත් නැත්නම් වැඩිහිටියන් පාවිච්චියට ගත් මත්පැන් වීදුරුවල ඉතිරි වූ ටික පානය කිරීමෙන්. මෙහෙම පටන්ගත් අයගෙන් 90% ක් පමණ හෙරොයින්වලට ඇබ්බැහි වෙලා.
අපට අපේ සමාජය මත්ද්‍රව්‍යවලින් මුදවාගන්න හුදෙකලාව කටයුතු කිරීමෙන් බැහැ. සමස්ත සමාජයම මෙයට කැපකිරීමක් කරන්න ඕන. විශේෂයෙන් අධ්‍යාපන ක්‍රම‘යේ ලොකු වෙනසක් ඇතිවිය යුතුයි. විභාග මුල් කරගත් තරගකාරී අධ්‍යාපන ක්‍රම‘යෙන් තවදුරටත් ළමයි පීඩාකාරී වෙනවා.
ඒ නිසා මනස සුවපත් වන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ටියුෂන් සංස්කෘතිය තුළත් මෙවැනි අහිතකාරී තත්ත්ව ඇතිවෙනවා. ළමයෙකුට තීරණ ගැනීමේ, නායකත්වය දැරීමේ ජීවන කුසලතා ඔප්නංවාගැනීමේ අවස්ථා සලස්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.ඒ වගේම මත්ද්‍රව්‍ය ගැවසෙන්නේ නැති වටපිටාවක් සකස් කිරීම මෙන්ම පවුලේ එකමුතු බව රැකෙන පවුල් සංස්ථාවක් ගොඩනගාගෙන දරුවන් පිළිබඳ හොඳ අවධානයක් යොමු කිරීමත් සිදුවිය යුතුයි.
2013.08.30 දිනයේ තමයි විශාලතම හෙරොයින් තොගය කිලෝ 261 ක් සෙයා ගැනුණේ. කන්ටේනර් පරීක්ෂාවේ වගකීම එන්නේ රේගුවට. මම දන්න තරමට මේ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේත්, නාවික හමුදාවේත් සහාය ලැබෙනවා. මේ දිනවල පොලිස් විශේෂ කාර්ය බළකායත් රේගුවේ කටයුතුවලට උදව් උපකාර කරනවා.
නව උපකරණ, නවීන පන්නයේ එක්ස්රේ යන්ත්‍ර ගෙනඒමට ප්‍රසම්පාදනය කර තිබෙනවා. අපි ඇමෙරිකාව වගේ දියුණු රටවල් එක්ක නිතර කතා කරනවා මේ ගැන මොනවද කරන්න පුළුවන් කියලා. නමුත් ඔවුන් කියන්නේ මේවා නවත්වන්න පුළුවන් උපකරණ තිබෙනවා නම්, ලෝකයේ ගුවන් තොටුපොළවල් හා වරායන් හරහා මේවා ජාවාරම් කරන්න අමාරුයි කියලා. එහෙම නම් වෙරළ තීරයෙන්, අනවසර නෞකාවලින් පමණයි ගේන්න වෙන්නේ කියලා. අපි කොයිතරම් තාක්ෂණය දියුණු කළත් මේ ගැටලුව අපට දිගින් දිගටම තියේවි. ජාත්‍යන්තර සබඳතා තවත් ශක්තිමත් කරගෙන ජාත්‍යන්තරය සමග වැඩ කරලා තමයි අපට මේ සඳහා කටයුතු කරන්න වෙන්නේ.
සාක් කලාපයේ ඇමතිවරුන් හමු වූ වෙලාවේ අපි සාකච්ඡා කළා. අපි STMOD නමින් සංවිධානයක් ඇති කරගෙන තිබෙනවා. එය ලංකාවේ තමයි ස්ථාපිත කර තිබෙන්නේ. මේ රටවල් අතර සම්බන්ධීකරණ කටයුතු අපි සිදුකරනවා. ඒ අනුව මතක ඇති මීට මාස හතර පහකට කලින් නාවික හමුදාවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයත් එකතු වෙලා අනවසර නෞකාවකින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා.
අපි අවධානය යොමු කරනවා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ගෙනත් ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම නතර කරන්න. ඒ විතරක් නොවේ. ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය නැති කරන්නත් කටයුතු කරනවා. මේවා ලේසි පහසු කටයුතු නෙවෙයි.
2016 වසරේ මේ දක්වා කොකේන් කිලෝ 02 ක්, හෙරොයින් කිලෝ 113.5 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1525 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේවා ලංකාවට බෝට්ටු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනුණේ. අපට ළඟම රට ඉන්දියාවෙන් තමයි බොහොමයක් මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ. ඊට අමතරව ඉරානය හා පාකිස්තානයෙන් ගෙන එන හෙරොයින් හා කොකේන් ලංකාව හරහා වෙනත් රටවලට රැගෙන යෑම සිදුවෙනවා. අපි අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදෙනවා. ඔවුන් ඒ අනුව වැඩිදුර විමර්ශනය සිදුකරනවා. අපි ගැඹුරු මුහුදේ යාත්‍රා යොදා තිබෙනවා වගේම වෙරළ ආසන්නයේ කුඩා යාත්‍රා හා ප්‍රහාරක යාත්‍රා මේ වැටලීම් සඳහා යොදවා තිබෙනවා. ඒ වගේම අපේ බුද්ධි අංශ නිලධාරීන් හරහා එන බුද්ධි තොරතුරු වැඩි වශයෙන් මේ සඳහා යොදාගැනෙනවා.
අපේ රේඩාර් පද්ධති ලංකාව වටේම ක්‍රියාත්මකයි. තවද වෙරළ නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථාන හරහා නිරන්තරයෙන් මේ කටයුතු සිදුකරනු ලබනවා. පෙර වර්ෂ සමග බැලුවාම මේ වසරේ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. ඊට අපේ වැටලීම් වැඩිවීමත්, බුද්ධි තොරතුරු හරහා ලැබෙන තොරතුරු වැඩිවීමත් හේතු වෙලා තිබෙනවා. මෙයට මහජනතාවගේ සහායත් නිතරම ලැබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd