පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති වීර මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමන් ජීවත් වූ කැප්පෙටිපොළ වලව්ව විනාශ වීමේ අවදානමක් පවතින බව එම පවුලේ ඥාතීහු පවසති.
මේ වනවිට වසර 220ක් පැරණි වලව්වේ වහලය දිරාගොස් ඒ අතරින් ජලය කාන්දු වීමෙන් බිත්ති විනාශ වෙමින් පවතින බවත්, මේ හේතුවෙන් නිවස විනාශවීමේ අවදානමක් මතුව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳ අදහස් දැක්වූ වීර මොනරවිල කැප්පෙටිපොළ පරපුරේ 06 වැනි පරම්පරාවේ මිනිබිරියක වන දනරංජනී මොනරවිල කැප්පෙටිපොළ මහත්මිය,
''අපට මේ වලව්ව ප්‍රතිසංස්කරණය කරගැනීමේ ගැටලුවක් නැහැ. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු සංරක්ෂණ කටයුත්තක් කරන්න අපට අවසරයක් නැහැ. මේ දිනවල විශාල පිරිසක් වලව්ව නරඹන්න එනවා. නමුත් වහලය දිරලා, සොල්දරයෙත් තත්ත්වය භයානකයි.
අද වනවිට වලව්වට සිදුව ඇති ඉරණම පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් ලිඛිතව හා වාචිකව දැනුම්දීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යම් ගොඩනැගිල්ලකින් ඉවතලන භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින පැරණි උළු කැට තොගයක් වලව්ව අසලට ගෙනවිත් තිබෙනවා. ඒ ගැන අපට කනගාටුයි. අපි මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකර අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම වලව්ව සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා'' යැයි පවසා සිටියාය.