Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාව සැමරිය යුතු දිනයක් වුවත්, ශ්‍රී ලංකාව තුළදී මැයි දිනයේ උරුමක්කාරයන් වී සිටින්නේ දේශපාලඥයන්ය. මේ නිසා වැඩ කරන ජනතාව මැයි දිනයේදී පක්ෂවලට බෙදී දේශපාලඥයන් වේදිකාවට නංවා ඔවුන් කියන දේවල්වලට හුරේ දැමීමට මේ රටේ අති බහුතරයක් ජනතාව කටයුතු කරනු ලබයි. පසුව වැඩකරන ජනතාවගේ ගැටලු පවතින ආණ්ඩුවට ඉදිරිපත් කරමින් මහපාරේ අරගල කිරීමත්, මේ රටේ වැඩකරන ජනතාවගෙන් අති බහුතරයක් සිදුකරනු ලබයි.
පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන වැඩකරන ජනතාව තමන් නියෝජනය කරන කණ්ඩායමේ පාලකයන් වී සිටින තාක්කල් වැඩකරන ජනතාවට ඇතිවී තිබෙන ගැටලු ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් එම කණ්ඩායමට බලය නැතිවූ මොහොතේ සිටම තමන්ට තිබෙන ගැටලු කියමින් අලුතින් පත්වූ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගැනීමද මේ රටේ වැඩකරන ජනතාවගෙන් දැකිය හැකි සුලභම ලක්ෂණයකි. මේ නිසා වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබීම කනකැස්බෑවා විය සිදුරෙන් එළිය දකින ආකාරයේ කටයුත්තකි.
මේ අනුව බලන කල මීට වසර 132කට පෙර එනම් 1886දී ධනවාදයේ පීඩනයට හා සූරාකෑමට එරෙහිව පැය 08ක වැඩ දිනයක් ඉල්ලා චිකාගෝ නුවර කම්කරුවන් විසින් දියත් කළ අරගලයට අනුව දිනාගත් කම්කරු අයිතිවාසිකම්ද අද වන විට මේ රටේ බහුතර පිරිසක් පාවා දී ඇති ආකාරයකි.
ලෝක කම්කරු ජනතාව දිනා දුන් පැය 08 වැඩමුරය පවා මෙරටේ පාලකයන් කප්පාදු කිරීමටද සැලසුම් සකස් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සමාගම්, ව්‍යවස්ථාපිත ආයතන හෝ කුඩා මධ්‍ය පරිමාණ මහා පරිමාණ කර්මාන්ත ශාලා හා සමාගම්වල සේවය කරන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ හා භාරකාර අරමුදලේ දායකත්වය ලබාදිය යුතුය.
එහෙත් පසුගිය වසරේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට තුළ ලක්ෂ 60කට වැඩි ශ්‍රම බලකායක් සිටියත් අර්ථසාධක අරමුදලේ දායකත්වය ලක්ෂ 25කට වඩා අඩු බවට වාර්තා විය. තවද රාජ්‍ය සේවකයන්ට ලබාදුන් පූර්ණ විශ්‍රාම වැටුප මේ වන විට අහිමිකර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයා ශක්තිමත් කිරීමට සකස් කරන බව සඳහන් කළ විශ්‍රාම වැටුප් ක්‍රමයත් මේ වන විට කුණු කූඩයට වැටී තිබේ.
ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ ගැන කතා කිරීමේදී එහි වැඩි දායකත්වයක් ලබාදෙන්නේ කාන්තාවන් විසිනි. කාන්තාවන්ට ලබාගත හැකි උතුම්ම පදවිය මවු පදවියයි. මේ නිසා ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව වැඩකරන දින ගණනය කරමින් වැටුප් සහිත දින 84ක අඛණ්ඩ ප්‍රසුත නිවාඩුවක් ලබාදීම සිදුකළ යුතුය. එහෙත් තැපැල් දෙපාර්තමේන්තුවේ හා වතු ආශ්රිත රැකියාවේ නිරත කාන්තාවන්ට, ඇඟලුම් ක්ෂේත්‍ර‘යේ නිරත අති බහුතරයක් වූ කාන්තාවන්ට මෙම වරප්‍රසාදය හිමිවන්නේ නැත.
මෙහිදී බොහෝ දෙනෙකුට ලැබෙන්නේ එක දිගට ගණනය කරන දින 84ක නිවාඩුවකි. වතු ආශ්රිත ප්‍ර‘දේශවලදී එම දින ප්‍රමාණය 45ක් වන අවස්ථාද තිබේ. පිරිමියාට සාපේක්ෂවම කම්කරු වෘත්තීන්වල නිරත වන කාන්තාව අදාළ සේවා සැපයීමට කටයුතු කළද බොහෝ පෞද්ගලික ආයතන මගින් කාන්තාවන්ට ලබාදෙන්නේ අඩු වැටුපකි.
මීට අමතරව සේවකයන්ට වඩා සේවිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත්, පෞද්ගලික අංශයේ අති බහුතරයක් ආයතනවල එම වරප්‍රසාදය හිමි වන්නේ නැත. දින 180ට වඩා සේවය කර සිටින අනියම්, කොන්ත්‍රාත්, ආදේශක, කම්කරු ජනතාව සේවය ස්ථිර කළයුතු බවට නීතියක් පනවා තිබුණත් බොහෝ අර්ධ රාජ්‍ය හා රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල වසර හතර පහ එම තනතුරුවල සේවය කරන පිරිස් සිටිති. රාජ්‍ය සේවයේ අනධ්‍යයන කාර්යමණ්ඩලවල පවා අනියම් ආදේශක තනතුරු යටතේ සේවය කරන විශාල පිරිසක් සිටින බවද අනධ්‍යයන සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති සඳහන් කරති.
ජාත්‍යන්තර කම්කරු ප්රඥප්තියේ අංක 87 මගින් තහවුරු කර තිබෙන්නේ වෘත්තීය සමිති පිහිටුවීම, වෘත්තීය සමිතිවලට නිදහසේ සන්ධානගත වීමේ අයිතිය පිළිබඳවයි. එහෙත් අර්ධ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා බොහෝ පෞද්ගලික ආයතන තුළ වැඩකරන ජනතාවට වෘත්තීය සමිති සකස් කිරීමේ අයිතිය නැත. අඩුම තරමින් සුළු කම්කරු ප්‍රශ්නයක්වත් හාම්පුතුන් සමග හෝ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල සමග සාකච්ඡා කිරීමටවත් වැඩකරන ජනතාවට අයිතියක් නැත. මේ නිසා බොහෝ හාම්පුතුන් හා බොහෝ සමාගම් වැඩකරන ජනතාව සූරාකමින් සේවය ලබාගැනීමේ ක්රමයක්ද රට තුළ ක්‍රියාත්මක කරමින් සිටියි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවය කරන වැඩකරන ජනතාවට සුළු හෝ කම්කරු අයිතිවාසිකමක් හිමිව තිබුණද, සුපිරි වෙළෙඳ සැල්, ආපන ශාලා, හෝටල්, කඩසාප්පුවල සේවය කරන අති බහුතරයකට සුළු හෝ කම්කරු අයිතිවාසිකමක් හිමිවන්නේ නැත. කුමන හෝ අසනීපයක් නිසා රාජකාරියට වාර්තා නොකළහොත් සේවය අහිමි කරන සුපිරි වෙළෙඳ සැල්, සාප්පු හා කඩ, ආපන ශාලා, හෝටල් නැතුවාද නොවේ. මෙවැනි ස්ථානවලදී සේවය කරන පිරිස් අමතර දීමනා ලබා නොදී එක දිගට පැය 10ක් 15ක් සේවයේ යොදා ගැනීම, රජයේ අනුමත නිවාඩු දිනවල කිසිදු දීමනාවක් ලබා නොදී සේවයේ යොදා ගැනීම වැනි ක්‍රියාද බහුල ලෙසම සිදුවන බව වාර්තා වේ.
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ගොවීන්ට, ධීවරයන්ට ලංකාව තුළ කිසිදු කම්කරු වරප්‍රසාදයක් නොමැත. වඩුවන්ට, පෙදරේරුවන්ට, විදුලි කාර්මිකයන්ට, වෙළෙඳුන්ට ඇතුළු අවිධිමත් ආකාරයට ජීවන උපාය සරිකර ගන්නා පිරිස්වලටත් කම්කරු අයිතිවාසිකම් නොමැත. මේ නිසා මෙරට වැඩකරන ජනතාව සිදුකළ යුත්තේ දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ යටතේ නොසිට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමය. මන්ද මෙරටේ දේශපාලඥයන් කිසිදා මෙවැනි දෙයක් කරන්නට ඉඩ නොතබන බවට පැහැදිලි වන කාරණයකි. මන්දයත් මෙරටේ දේශපාලඥයන්ට ජනතාව රවටා ගැනීමට බත් පැකට්ටුවක් හෝ පොල් කටු හැන්දක් වැනි සුළු දෙයක් ලබාදීමෙන්ද හැකියාව තිබෙන බැවිනි.
මම ජීවත් වෙන්න කරන්නේ පෙදරේරු රස්සාව. අපේ රස්සාවට කම්කරු නීති නැහැ. උදේ හතහමාරට අපි වැඩ පටන් ගත්තම පැය 9ක් 10ක් වුණත් වැඩ කරන්න වෙනවා. පොදුවේ වැටුප ගත්තොත් දවස් පඩි ලැබෙන්නේ. ලංකාව පොඩි රටක් වුණත් දෛනික වැටුපේ මුදල ප්‍රදේශයෙන් ප්‍ර‘දේශයට වෙනස් වෙනවා. ලැබෙන වැටුප දවසේ වියදමට යන නිසා ඉතුරුවක් නැහැ. පෝයද, කම්කරු දිනේද, ඉරිදද කියල අපිට බලපාන්නේ නැහැ. මොකද වැඩ නැති වුණොත් එදාට දවසේ පඩිය නැහැ. අර්ථසාධක, භාරකාර අරමුදල් නැහැ. පැන්ෂන් යන වයසක් නැහැ. ඇගේ හයිය තියෙනකම් වැඩ කරනවා. මේක මේසන් වැඩ කරන හැම කෙනාටම පොදු දෙයක්.*
ධීවර ජනතාවට කම්කරු නීතිරීති නැහැ. දෛනික වැටුපක් නැහැ. මුහුදු ගිහින් අල්ලන මාළු ප්‍රමාණය අනුවයි දවසේ වැටුප තීරණය වෙන්නේ. අල්ලන මාළු ටිකට මිලක් නැති වුණොත් එදාට බඩගින්නේ ඉන්න වෙනවා. කම්කරු අයිතිවාසිකම් නැති වුණත් මෑතක් වනතුරු තමන්ගේ මහන්සියෙන් මාළු ටික අල්ලගෙන ජීවත් වුණා. ඒත් කොළඹදී පෝර්ට් සිටියක් නිර්මාණය කළ නිසා එම මුහුදු තීරයේ ධීවර කටයුතු කළ සුළුපන්න ධීවරයන් පනස්දහසකට අධික පිරිසකට රැකියාව කරන්න තැනක් නැතිවෙලා තියෙන්නේ. ඒ වගේම මේ වන විට ආණ්ඩුව ගෙනැවිත් තිබෙන නීතිරීතිවලට අනුව ඉදිරියේදී ධීවර කටයුතු කරන්න වෙන්නේ දිග අඩි 55ට වැඩි යාත්‍රා උපයෝගී කරගෙන.
එම යාත්‍රාවක් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 150කට වැඩියි. එදාවේල හොයාගන්න සුළුපන්න ධීවර කටයුතු කරන ධීවරයාට මෙතරම් මුදලක් වියදම් කරලා යාත්‍රාවක් ගන්න එක සිහිනයක්. මේ නිසා ලෝක කම්කරු දිනයක් යෙදී තිබෙන මෙම මාසයේ අපි බලධාරීගෙන් ඉල්ලා සිටින්නේ අපේ පාඩුවේ අපේ රැකියාව කරන්න දෙන්න කියලා. මොකද ධීවරයා නිසා රටේ ජනතාවට මාළු ටික ලැබෙනවා. ඒක ධීවරයා කරන සේවයක්. මේ සේවයට සරිලන්න පාලකයෝ ධීවරයට දෙන දෙයක් නැහැ. විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒකෙ තියෙන අවිධිමත්භාවය නිසා ඒ තුළින් ධීවරයාට සෙතක් වෙන්නේ නැහැ. ධීවරයා හම්බ කළොත් විතරයි ඔහුගේ බඩ පිරෙන්නේ.
රටට බත සපයන ගොවියාට කිසිම කම්කරු අයිතිවාසිකමක් නැහැ. අඩුම තරමින් ලෝකයේ ගොවි ජනතාවට රජයෙන් ලැබෙන පහසුකම් පවා මේ රටේ ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ රටේ පාලකයෝ හැමදාම කළේ ගොවියාට කෙනෙහිලිකම් කරන එක. ගොවියන්ට තම ජීවන උපාය මාර්ගය ගෙනියන්න ඉඩම් සහ ජලය කියන්නේ ඉතාමත් වැදගත්ම වන සාධක. ඒත් මේ වන විට ඉඩම්වල අයිතිය හා ජලයේ අයිතිය පවා ගොවීන්ට නැති කරමින් තියෙන්නේ. ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන විට එම දේම පිටරටින් ගෙන්නනවා. ඊට පස්සේ ගොවියාගේ අස්වැන්න විකුණා ගන්න බැහැ. පසුගිය දවස්වල එළවළු ගොවියා තම අස්වැන්න මහපාරේ හළලා ගිය අවස්ථාත් තියෙනවා. ඒ වගේම මේ රටේ ගොවීන් ලක්ෂ ගණනක් වකුගඩු රෝගවලින්, පිළිකා රෝගවලින් පීඩා විඳිනවා.
වාර්තා වන ආකාරයට දිනකට ගොවීන් නවයක්, දහයක් වකුගඩු රෝගය නිසා මියයනවා. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නැහැ.
කෘෂිකර්ම ප්‍ර‘දේශවල පැතිර යන වකුගඩු රෝගයට හේතු ලෙස කෘෂි රසායන භාවිතය පෙන්වා දෙනවා. වෛද්‍යවරුන් පර්යේෂකයන් සිදුකළ පරීක්ෂණවලින් මේ බව තහවුරු වෙලා තියෙනවා කියලත් කියනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පූර්ණ වල්නාශකයක් 2015 තහනම් කළා. ඒ වගේම වසවිසෙන් තොර ගොවිතැනක් හඳුන්වා දුන්නා.
තහනම් කරලා තිබුණු වල්නාශකය නැවත රට තුළ භාවිත කරන්න අවසර දුන්නා කියලා කියනවා. කාබනික ගොවිතැනක් ගැන කතා කරමින් ආණ්ඩුව රසායනික පොහොර සහනාධාරය දෙනවා. අපට කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන්න පෙර ජීවත්වීමේ අයිතිවාසිකම් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ.
කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන්න නෙවෙයි දැන් සිදුවෙලා තියෙන්නේ. ජාත්‍යන්තරයම සමරන මැයි පළමු වැනිදා සැමරුම සමරන්න දෙන්න කියලා වෙනම සටනක් කරන්න වෙලා තියෙන්නේ.
මොකද මෙවර මැයි දිනය මේ රටේ වැඩ කරන ජනතාවට සමරන්න පාලකයෝ ඉඩ දුන්නෙ නැහැ. මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් කරලා තියෙන්නේ වැඩ කරන ජනතාවට නිදහසේ මැයි දින සැමරුම කරන්න වගේම අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා පෙළපාළි යන්න වගේම ඒකරාශී වෙලා හඬක් නගන්න.
ඒත් මෙවර එම අවස්ථාව අහිමි කළා. මැයි දින සැමරුම් රැලි සහ පෙළපාළි 07 වැනිදා පවත්වන්න කියලා ආණ්ඩුව කිව්වා. කවුරුහරි උපන් දිනය සමරන්නේ ඉපදුණ දවසේ. මැයි පළමු වැනිදා කියන්නෙත් ඒ වගේ එකක්. මේ නිසා කාටවත් හිතෙන හිතෙන ආකාරයට මැයි දිනය වෙනස් කරන්න බැහැ.
අනෙක් එක තමයි දැන් දේශපාලඥයන් එම දිනය උදුරාගෙන තමන් වටේ ඉන්න පිරිස්වලට මොනවා හරි කියලා රවටන එක. කම්කරුවන්ට, වැඩ කරන ජනතාවට පාලකයෝ කිසි දෙයක් නිකන් දෙන්නේ නැහැ. ඉතිහාසය දෙස බැලුවත් නිකන් දීලා නැහැ. මේ නිසා අයිතිවාසිකම් දිනාගන්න ගිහිල්ලා තමයි මැයි දිනයක් හරි ප්‍රකාශයට පත් වුණේ.
මේ නිසා මේ රටේ වැඩ කරන ජනතාවට සිදුකළ යුතු වන්නේ එක් රතු ධජයක් යටතට ඇවිල්ලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක.
මේ රටේ වැඩ කරන ජනතාවගෙන් බොහෝ දෙනෙකුට කම්කරු අයිතිවාසිකම් නැහැ. බොහෝ දෙනෙකුට වැඩ කරන තරමට නියමිත වැටුපක් නැහැ. වැඩපොළ තුළ කම්කරුවා සුරක්ෂිත වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන තරම්.
කම්කරුවන් දිවි පුදා දිනාගත් පැය 08 වැඩ දිනය විවිධාකාර උප්පරවැට්ටිවලින් තවත් පැයකින් දෙකකින් වැඩි කරගන්න උත්සාහ කරනවා.*
මම කරන්නේ නගරයේ එකතු වෙන කුණු, ලොරියට පටවන එක. උදේ 6.00ට වැඩ පටන් ගන්නවා. වැඩ ඉවර වෙනකොට හවස හයහමාර විතර වෙනවා.
මම හම්බ කරන එකෙන් පවුලේ හය දෙනෙක් ජීවත් වෙනවා. රැකියාවක් නැති නිසා මම මේක කරනවා. මට දැන් වයස අවුරුදු 67යි. ඇඟේ හයිය තියෙනකම් වැඩ කරන්න ඕන. මොකද මම වැඩ කළොත් තමයි මගෙයි මගේ පවුලේ අයගෙයි බඩ පිරෙන්නේ. මම මුලින් නගර සභාවේ රැකියාව කළේ. පැන්ෂන් ගියාට පසු මේ ආයතනයට ආවේ. පැන්ෂන් ගිහිල්ලා දැන් අවුරුදු 07ක් වෙනවා.*
මම කරන්නේ පාරේ තියෙන කුණු අතුගාලා ඉවත් කරන එක. මුලින්ම මම වැඩ කළේ කටුගෙයි. පස්සේ පෞද්ගලික ආයතනයට ආවා. මම උදේ හතහමාරට වැඩට එනවා. හවස පහට හයට වැඩ ඉවර කරනවා.
මගේ වයස දැන් අවුරුදු 58යි. ඒත් තාම ඉන්න ගෙයක්වත් නැහැ. ගෙයක් හදාගන්නවත්, ගෙයක් සල්ලිවලට ගන්නවත් වත්කමක් නැහැ. මට අයිති පාරේ කොටස දවසට දෙසැරයක් අතුගානවා. මහන්සි වෙන තරමට තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ.*
මගේ පඩියෙන් පවුලේ පස් දෙනෙකු ජීවත් වෙනවා. මම මුලින්ම වැඩ කළේ කොළඹ මහ නගර සභාවේ. පැන්ෂන් ගියාට පස්සේ පෞද්ගලික ආයතනයකට ඇතුළත් වෙලා කුණු අදින එක කරනවා. උදේ 6.00 වැඩ පටන් ගන්නේ. වැඩ ඉවර වෙනකොට හවස හයහමාර හත වෙනවා.
අවුරුදු 35ක් නගර සභාවේ කුණු ලොරියේ වැඩ කළා. ලැබෙන පැන්ෂන් පඩියෙන් ජීවත් වෙන්න බැහැ. දෙයියෝ දීලා තියෙන හැටියට වැඩ කරනවා. අපි වැඩට ආවොත් තමයි වැටුප ලැබෙන්නේ. ඒක නිසා අපි හැමදාම වැඩ කරනවා.
මම පුංචි කාලේ ඉඳලම කරත්තවල බඩු ගෙනහින් දීලා කීයක් හරි හොයාගත්තා. දැන් මගේ වයස අවුරුදු 52යි. කිලෝ 1000ක් දාලා වුණත් මට කරත්තේ අදින්න පුළුවන්. වැඩ කරන තරමට තමයි මට ආදායම ලැබෙන්නේ. මම හම්බ කරන මුදලින් පවුලේ 06 දෙනෙක් ජීවත්වෙනවා. මගේ තාත්තා කළෙත් මේ ජොබ් එක. ඒත් මගේ දරුවන්ට මේ දේ දෙන්නේ නැහැ. ඇඟේ හයිය තියෙනකන් මේක කරනවා. අපට පැන්ෂන් යන්න වයස් සීමා නැහැ. දෛනික වැටුප මෙච්චරයි කියලා එකක් නැහැ. කම්කරු දිනේට නිවාඩු තියෙන නිසා මමත් වැඩ කරන්නේ නැහැ.
අපි වැඩ කරන තරමට ආදායම ලැබෙනවා. ඒක නිසා වැඩ කරන්න පුළුවන් හැම වෙලේම වැඩ. අපට පැන්ෂන් නැහැ. ඊ.ටී.එෆ්. නෑ. ඉතුරු කරපු දේකුත් නැහැ.*
මැයි දිනය ගැන අහලා තියෙනවා. ලෝක සම්මතයට අනුව කම්කරුවාගේ දිනය මැයි පළමු දිනය. ඒත් ඒක මේ සැරේ වෙනස් කළා. කම්කරුවාට සමරන්න තියෙන දවස අද වනවිට දේශපාලඥයන් උදුරාගෙන තියනවා. ඒක නිසා මැයි දිනය දේශපාලන දිනය වෙලා.
අපි සතියේ දවස් හතම වැඩ. මොකද රටේ ආර්ථිකය කඩ වැටිලා තියෙන්නේ මෙච්චර මහන්සි වෙලත් ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා කම්කරු අයිතිවාසිකම් නිවාඩු දින අපට අදාළම නැහැ.*
මම ජීවත් වෙන්න කරන්නේ එළවළු විකුණන එක. උදේ 7.00ට වෙළෙඳාම් පටන් ගත්තාම හවස 7.00 විතර වෙනකම් වෙළෙඳාම් කරනවා. මම හම්බ කරන දෙයින් පවුලේ තුන්දෙනෙක් ජීවත් වෙනවා. අපට මැයි දිනය අදාළ වෙන්නෙ නෑ.
මොකද මම බිස්නස් කරන තරමට තමයි මට ආදායම ලැබෙන්නේ. බඩු ඉතුරු වුණොත් අතින් පාඩුයි. ඉතුරු කරගත්ත දෙයක් නැහැ. සතියේ දවස් 07න් 06ක්ම මම බඩු විකුණනවා.*
මගේ වයස දැන් අවුරුදු 68යි. පොඩි කාලේ කඩවල වැඩ කළා. 1988 ඉඳලා මැනි‘ං මාකට් එකට ඇවිත් මුට්ට කරගහන එක කරන්න පටන්ගත්තා. අපේ පවුලේ කාටවත් ස්ථිර රැකියා නැහැ. පුතා කුලී වැඩ කරන්නේ. උදේ 6.00ට වැඩ පටන් ගන්නවා.
ඉස්සර කිලෝ 50 - 60ක් වුණත් උස්සන් යන්න පුළුවන්. ඒත් දැන් එහෙම කරන්න බැහැ. මම හොයාගන්න දෙයින් තුන්දෙනෙක් ජීවත් වෙනවා. ඇඟේ හයිය තියෙනකම් මේක කරනවා. මොකද මට වෙන කරන්න දෙයක් නැහැ. අපට කවුරුත් නිකන් කන්න දෙන්නේ නැහැ. වැඩ කළොත් විතරයි බඩ පිරෙන්නේ.
උදේ 5.00ට විතර කඩේ අරින්නේ. ඒත් කඩේ වහන වෙලාවක් නැහැ. මොකද ගන්න බඩු ටික විකුණන්න ඕන. එහෙම කළොත් විතරයි කීයක්හරි හොයාගන්න පුළුවන් වෙන්නේ. කාලා බීලා ජීවත් වෙනවා. ඉතුරුවක් නැහැ. කම්කරු දිනේදි බොහෝ අයට නිවාඩු. ඒත් කම්කරු දිනෙත් මම බිස්නස් කරනවා. සතියේ දවස් 7න් පැය 12.00යි මම නිකන් ඉන්නේ. අනිත් හැම වෙලාවෙම කඩේ වැඩ.*
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd