වන සම්පත් සංරක්ෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සහ ඒවායේ තිරසාර කළමනාකරණය සඳහාද වන නිෂ්පාදන භාවිතයට ගැනීමට අදාළ නීතිය ඔබ දැනසිටීම ඉතා වැදගත්. මෙම නීති ඒකාබද්ධ කිරීම හා සංශෝධනය කිරීම සඳහාද, දැව හා වන නිෂ්පාදන ප්‍රවාහනය හා ඒ ප්‍රවාහනයට අදාළ වෙනත් කටයුතු විධිමත් කිරීම සඳහාද විවිධ පනත් සකසා තිබේ. එමෙන්ම මේ හා සම්බන්ධ හෝ ඊට ආනුශාංගික කාරණා සම්බන්ධයෙන් විධි විධාන සැලැස්වීම පිණිස වූ පනතක් ලෙස 1907 අංක 16 දරණ වන සංරක්ෂණ අාඥා පනත ( 451 වන අධිකාරිය) හැඳින්විය හැක.
මෙම ආඥා පනත පහත සඳහන් අවස්ථාවල සංශෝධනයට ලක්ව ඇති අතර, සංශෝධනවලින් පසුව මෙය වන සංරක්ෂණ ආඥා පනත යනුවෙන් හැඳින්වේ. වර්තමානයේ පැන නැඟී ඇති සහ අනාගතයේ පැන නැගෙනු ඇතැයි අපේක්ෂිත නෛතික හා ආයතනික ගැටලුවලට ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීම සඳහා මෙම පනත මේ දිනවල නැවත සංශෝධනයකට අවශ්‍ය පියවර ගනිමින් පවතී.
1912 අංක 11 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1918 අංක 24 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1931 අංක 23 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1935 අංක 16 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1945 අංක 30 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1947 අංක 08 දරණ කැලෑ (සංශෝධන)
ආඥා පනත
1951 අංක 34 දරණ කැලෑ (සංශෝධන) පනත
1954 අංක 49 දරණ කැලෑ (සංශෝධන) පනත
1966 අංක 13 දරණ කැලෑ (සංශෝධන) පනත
1979 අංක 56 දරණ කැලෑ (සංශෝධන) පනත
1982 අංක 13 දරණ කැලෑ (සංශෝධන) පනත
1988 අංක 84 දරණ කැලෑ (සංශෝධන) පනත
1995 අංක 23 දරණ කැලෑ (සංශෝධන) පනත
2009 අංක 65 දරණ කැලෑ (සංශෝධන) පනත
පනතෙහි වස්තු විෂය වී ඇති වනය යන්න පනතෙහි අර්ථ නිරූපණ වගන්තිය වන 78 වැනි වගන්තිය දක්වා ඇත්තේ මෙසේය. ඒ අනුව වනය යන්නෙන් රජය විසින් සුදුස්සක් කළ හැකි සියලු අදහස් වන බව දක්වා ඇති අතර , රජය විසින් සුදුස්සක් කළ හැකි ඉඩම් යන්නෙහි,
(අ) යම් තැනැත්තෙකු විසින් -
i) යම් නීත්‍යනුකූල ක්‍රමයකින් වලංගුව පවත්නා හිමිකමක් අත්කරගෙන තිබෙන බවට හෝ
ii) රජයේ ඉඩම් අයුතු ලෙස ඈඳා ගැනීමේ ආඥා පනත හෝ මායිම් නිරූපණ ආඥා පනත යටතේ
රජය විසින් හිමිකම් නොකියන බවට යම් සහතිකයක් රජය විසින් නිකුත් කිරීමේ හේතුවෙන් රජයට විරුද්ධව හිමිකම් අත්කර ගෙන තිබෙන බවට හෝ
iii) බ්‍රිතාන්‍ය, ලන්දේසි හෝ ලංකා ආණ්ඩු විසින් හෝ ඒ වෙනුවෙන් නිකුත් කරනු ලැබ නීත්‍යනුකූලව යථා පරිදි ලියාපදිංචි කරන ලිඛිත ප්‍රදානයක් හෝ බද්දක් යටතේ භුක්ති විඳීමට හිමිකම් ලබා ඇති බවට :
අධිකරණය සෑහීමකට පත්වන පරිදි සාක්ෂි ඉදිරිපත් කරනු ලැබී නම් මිස, වන, මුඩු, හේන් ගොවිතැන් රහිත හෝ පදිංචියක නැති සියලු ඉඩම්:
(ආ) ඉඩම් ආපසු ගැනීමේ ආඥා පනතේ විධි විධාන යටතේ රජය විසින් ආපසු ගන්නා ලද සියලු ඉඩම් සහ 1897 සිට 1903 මුඩුබිම් ආඥා පනත හෝ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ කරන ලද යම් නියමයක් මගින් රජයේ දේපළ ලෙස ප්‍රකාශ කරනු ලැබූ හෝ රජය අන් ලෙසකින් නීත්‍යනුකූලව හිමිකම් ලත් සියලු ඉඩම් ඇතුළත් වේ.
වන සංරක්ෂණ ආඥා පනත පුළුල් ක්ෂේත්රයක් ආවරණය වන ලෙස හඳුන්වා දී ඇත්තක් බැවින් මෙවැනි ලිපියකින් පනතෙහි අඩංගු සියලුම නෛතික ප්‍රතිපාදන විමසා බැලීමට හැකියාවක් නොලැබුණද, අප සියලුදෙනා විසින් මනසෙහි රඳවා ගත යුතු යැයි අදහස් කරන එක් මාතෘකාවක් සම්බන්ධයෙන් පමණක් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නට අපේක්ෂා කළ හැකිය.
ඒ අනුව පනතෙහි විධි විධාන සලසා ඇති රක්ෂිත වනාන්තර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් අපේක්ෂිතය.
රක්ෂිතයක් යන්න සරලව හැඳින්විය හැක්කේ මහජන යහපත උදෙසා යම්කිසි පාරිසරික පද්ධතියක් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව වන සංරක්ෂණ ආඥා පනත යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබන්නකි. රක්ෂිත යන්න ඔබට නිතර හුරු පුරුදු වචනයකි. වනාන්තර සම්බන්ධයෙන් පවතින නීතිරීති සහ පරිපාලනමය ක්‍රියාදාමයන් පරීක්ෂා කර බැලීමේදී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කරන දැඩි ස්වභාව රක්ෂිත/ජාතික උද්‍යාන/අන්තර් කලාප/අභය භූමි ආදියද අපගේ මතකයට එනු ඇත.
රක්ෂිත වනයක් යන්නට වන සංරක්ෂණ ආඥා පනතේදී ඇති නිර්වචනය වනුයේ:
(අ) මේ ආඥා පනතේ 3 වන වගන්තියේ විධි විධාන හෝ 1907 අංක 16 දරණ ආඥා පනතින් අවලංගු කරන ලද මේ ප්‍රඥප්තියක ඊට අනුරූප විධි විධාන හෝ රක්ෂිත වනයක් නිරූපණය කිරීමේ කාර්යය සඳහා මින්පසු පැනවිය හැකි යම් ප්රඥප්තියක් යටතේ රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශිත වනයක් සහ වනයක සෑම කොටසක්ද,
(ආ) වගා,වන ද්‍රව්‍ය ගබඩා සහ වන ගස් වවන ලද හේන් අදහස් වන අතර, ඒ දෑ එහි ඇතුළත් වේ.
රක්ෂිත වනයක් රක්ෂිතයක් වන්නේ කිනම් ආකාර නීතිමය කරුණක් සම්පූර්ණ වූ විටද යන්න පනතේ 3 වැනි වගන්තියෙහි පැහැදිලි කර ඇත.
3 :1) පහත සඳහන් සිද්ධි සිදුවූ කල්හි, එනම්,
අ) ඉඩම් ආපසු ගැනීමේ ආඥා පනතේ විධි විධාන යටතේ රජය විසින් ඉඩම් ආපසු ගත් විටෙක
ආ) 1897 සිට 1903 මුඩුබිම් ආඥා පනත් යටතේ හෝ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ හෝ කරන ලද යම් නියමයක් මගින් රජයේ දේපළ හැටියට ඉඩම් ප්‍රකාශයට පත්කොට ඇති විටෙක
ඇ) ඉඩම් අත්කර ගැනීමේ ආඥා පනතේ හෝ ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධි විධාන යටතේ පොදු කාර්යයන් සඳහා යම් ඉඩමක් රජය විසින් අත්කර ගෙන ඇති විටෙක
ඒ ඉඩම් සියල්ල හෝ එයින් යම් ඉඩමක් හෝ එයින් යම් කොටසක් හෝ කොටස් රක්ෂිත වනයක් බවට, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරවන නියමයක් මගින් ප්‍රකාශ කළ හැකි අතර, ඒ නියමය මගින් වෙන් කිරීමට අදහස් කරන වනයේ සීමා ඒ නියමයෙහි නිශ්චිතව සඳහන් කළ යුතුය. එසේම ඒ නියමය මගින් එය රක්ෂිත කරනුයේ කවර දිනක සිටද යන්නද එමගින්ම ප්‍රකාශ කළ යුතුය. එසේ නිශ්චය කළ දින සිට එම වනය රක්ෂිත වනයක් ලෙස සැලකිය යුතුය.
අර්ථ නිරූපණ ආඥා පනතේ 16 වැනි වගන්තිය, මේ වගන්තියේ අර්ථ නිරූපණය සඳහා අදාළ නොවිය යුතුය.
2) 1 වැනි උප වගන්තිය යටතේ නියමයක් කරනු ලැබූ අවස්ථාවකදී ජෛව විවිධත්වය, පස හා ජලය සංරක්ෂණය කිරීමේ කාර්යය සහ එහි අනන්‍ය පරිසර පද්ධති, ජාන සම්පත් සහ දුර්ලභ හා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂද සුරක්ෂිත කිරීමේ කාර්යය සඳහා නියම කරනු ලැබිය හැකි ආකාරයට, වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් රක්ෂිත වනයන් සඳහා කළමනාකරණ සැලැස්මක් පිළියෙල කළ යුතුය.
3) රක්ෂිත වනයක් සඳහා පිළියෙල කරන කළමනාකරණ සැලැස්ම, වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හෝ තත්කාර්ය සඳහා ලිඛිතව බලය පවරන ලද වෙනත් නිලධරයෙකු හෝ විසින්
2 වැනි උප වගන්තියේ නිශ්චිතව දැක්වෙන කාර්යය සඳහා නියම කරනු ලැබිය හැකි ආකාරයට ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය.
4) අමාත්‍යවරයා විසින් රක්ෂිත වනයක් හෝ එහි නිශ්චිතව සඳහන් කොටසකට බලපාන පරිදි පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය යුතුය.
අ) රක්ෂිත වනයන් පරිපාලනය හා කළමනාකරණය
ආ) කළමනාකරණ සැලැස්මට ඇතුළත් කිරීමට නියමිත කාරණා සහ එම කළමනාකරණ සැලැස්ම පිළියෙල කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළයුතු ආකාරය හා කාර්ය පටිපාටිය
ඇ) රක්ෂිත වනයන්හි තිරසාර කළමනාකරණයේදී ජන කොටස්වල හා රාජ්‍ය නොවන අංශයේ සහභාගීත්වය ලබා ගැනීමේ කාර්යය සඳහා කළමනාකරණ ගිවිසුම් පිළියෙල කිරීම
ඈ) මේ උප වගන්තිය යටතේ ක්‍රියාත්මක කරන ලබන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම ගාස්තු හෝ අයකිරීම් සියලු අවස්ථාවන්හිදී වනයෙන් ලබාගන්නා මූල්‍යමය හෝ අන්‍යාකාර ප්රතිලාභවල වටිනාකමට සමානුපාත වන අයුරින් ගාස්තු හෝ අය කිරීම පැනවීම, වලංගු කිරීම ලෙස ප්‍රකාශයට පත් කරනු නොලැබූ යම් ප්‍රතිලාභයක් ලබා ගැනීම මගින් මේ ආඥා පනත යටතේ වරදක් සංයුක්ත වන අතර, එය අධිකරණය විසින් පනවන ලද දඩයක් ලෙස නිශ්චිතව දක්වනු ලැබිය හැකි පරිදි අයකර ගත යුතුය.
ඉ) එම වනාන්තර කළමනාකරණය කිරීමට අදාළව ගිවිසුම්වලට ඇතුළත්වීම, එම ගිවිසුම් අවලංගු කිරීම, කොන්දේසි පැනවීම, ගාස්තු නියම කිරීම, ආරවුල් සමථයක පත්කිරීම සඳහා ක්රමෝපායන් සකස් කිරීම.
ඊ) කළමනාකරණ හවුල්කරුවන් හා ලාභයේ කොටස්කරුවන් අතර ප්රතිලාභ බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම.
උ) දැව නොවන වන නිෂ්පාදන සහ මැරුණු සහ වැටී ඇති කෝටු ප්‍රාදේශීය ප්‍රජාව විසින් ඉන්ධන වශයෙන් භාවිතයට ගැනීමට අවසර ලබා දීමේදී අනුගමනය කළයුතු කාර්යය පටිපාටි
ඌ)රක්ෂිත වනයක් තුළ කරගෙන යනු ලබන ක්‍රියාකාරකම්වලට අදාළ කොන්දේසි සහ
එ) රක්ෂිත වනයක විද්‍යාත්මක පර්යේෂණ කිරීම සඳහා අවසර දෙනු ලබන ප්‍රදේශ සහ එකී පර්යේෂණ කිරීමේදී යටත් වනු ලැබිය යුතු කොන්දේසි
පනතේ 7 (1) වැනි වගන්තියෙහි රක්ෂිත වනයක තහනම් ක්‍රියා කවරේදැයි දක්වා ඇත.
(අ) අයුතු ලෙස ඇතුල් වන හෝ ඇතුල් වීමට සලස්වන හෝ එහි රැඳී සිටින
(ආ) ගවයන්ට අයුතු ලෙස ඇතුළු වීමට ඉඩදෙන හෝ තණකොළ හෝ වෙනයම් පැළෑටියක් කපන, නැතහොත් තණකොළ හෝ පැළෑටි ගවයන්ට කෑමට දෙන
(ඇ) ගසක් කපා හෙළන හෝ දැව කැපීම හෝ ඇදගෙන යාම කරන, යම් ගසකින් පොතු හෝ කොළ හිතාමතා ගලවා දමන හෝ ගසක් පට්ටම් දමන, කප්පාදු කරන, යුෂ ගන්නා හෝ පුළුස්සන නැතහොත් යම් ගසකට හානි සිදුවන හෝ විනාශයක් සිදුවන යම් ක්‍රියාවක් කරන
(ඈ) එම වනය තුළ ඇති යම් දිය පහරකට අවහිර කරන හෝ ජලනළ යොදා හෝ වෙනත් ක්‍රමයකින් එම දිය පාරෙන් ජලය ලබා ගන්නා හෝ ජලය විෂ කරන, ජලය අපවිත්‍ර කරන, හෝ එම වනයට කැළි කසළ දැමීමෙන් හෝ වනය තුළට කැළි කසළ බැහැර කිරීමෙන් වන පරිසරය අපවිත්‍ර කරන
(ඉ) එම වනය තුළ ඇති යම් පැළෑටියක් හෝ එහි යම් කොටසක් ප්‍රවාහනය කරන, ඉවත් කරන මුලිනුදුරා දමන හෝ විනාශ කරන, නැතහොත් යම් පැළෑටියක් හෝ පැළෑටියක යම් කොටසකට හානි සිදුකරන හෝ යම් පැළෑටියක් විකුණන හෝ විකිණීම සඳහා අනාවෘතව තබන හෝ ප්‍රදර්ශනය කරන හෝ විකිණීම සඳහා අර්පණය කරන
(ඊ) යම් පක්ෂියකු සතෙකු හෝ උරගයෙකු මරණයට පත්කරන හෝ මරණයට පත්කිරීමට තැත් කරන ඉවත් කරන, ප්‍රවාහනය කරන, වෙඩි තබන හෝ තැබීමට තැත් කරන, ප්‍රවාහනය කරන, වෙඩි තබන හෝ තැබීමට තැත්කරන, අල්ලාගනු ලබන, පුඩු අටවා අල්ලාගනු ලබන, ඇල්ලීම සඳහා උගුල් අටවන, හිරිහැර හෝ බාධා කරන නැතහොත් එවැනි යම් පක්ෂියකුගේ, සතෙකුගේ හෝ උරගයෙකුගේ කොටසක් විකුණන හෝ විකිණීම සඳහා අර්පණය කරන නැතහොත් එවැනි යම් පක්ෂියෙකුගේ සතෙකුගේ හෝ උරගයෙකුගේ බිත්තර ගනු ලබන හෝ විනාශ කරනු ලබන නැතහොත් එවැනි යම් පක්ෂියකුගේ සතෙකුගේ හෝ උරගයෙකුගේ වාසස්ථානය විනාශ කරන හෝ ඉවත් කරන
(උ) ගල් කඩන, හිරිගල් හෝ අඟුරු පුළුස්සන, වන නිෂ්පාදන එකතු කරන හෝ නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කරන, කොරල් හෝ මොලියුස් සිප්පි කටු ලබගන්නා මිනිරන්, මැණික් හෝ වෙනත් ආකාරයේ ඛනිජ ලබා ගැනීම සඳහා කැණීම් කරන හෝ පතල් හෑරීම කරන, වැලි පස් හෝ ගල් එකතු කරන හෝ ඉවත් කරන හෝ ප්‍රවාහනය කරන සහ ඒ කාර්යය සඳහා පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරන හෝ සන්තකයේ තබාගනු ලබන
(ඌ) යම් ගින්නක් දල්වන, දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩහරින හෝ යම් ගින්නක් ඇවිළෙන්නට සලස්වන හෝ ගින්න පැතිරී යාමට ඉඩහරින හෝ යම් ගින්නක් රැගෙන යන
එ) යම් ගසක් හෝ දැව කපා හෙළන, කපන , ඉරන, සංවර්ධනය කරන හෝ වෙනස් කරන, රැස් කරන, ඉවත් කරන හෝ ප්‍රවාහනය කරන, වනද්රව්ය එකතු කරන, ඉවත් කරන හෝ ප්‍රවාහනය කරන නැතහොත් තම සන්නකයේ භාරයේ හෝ පාලනයේ තබාගනු ලබන
(ඒ) පලංචියක් ඉදිකරන හෝ ලී ඉරන වළක් තනන
(ඔ) වගා කිරීම සඳහා යම් ඉඩමක් එළි කරන, පස් කපන හෝ යම් ඉඩමක් හාරන හෝ ගොඩනැගිලි සඳහා ඉඩමක් සූදානම් කරන හෝ දැනටමත් පළ කරන ලද යම් ඉඩමක් වගා කරන හෝ දැනටමත් එළි කරන ලද යම් ඉඩමක් වගා කරන හෝ යම් ස්ථිර හෝ තාවකාලික පැලක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකරන ලද යම් ගොඩනැගිල්ලක පදිංචි වී සිටින
හෝ
( ඕ) යම් පාරක් තනන, දැනටමත් තනන ලද යම් පාරක් වෙනස් කරන හෝ එයට හානි කරන, එසේ තනන ලද යම් පාරක් පාවිච්චි කරන, යම් තාප්පයක්, අගලක්, ඉවුරක්, වැටක්, කඩුල්ලක්, පීල්ලක් , බඩවැටියක්, නාම පුවරුවක්, සංඥා පුවරුවක් හෝ වෙනත් යම් මායිම් සලකුණක් හානියට පමුණුවන, වෙනස් කරන, විරූපී කරන හෝ ඉවත් කරන
තැනැත්තෙකු වරදකට වරදකරු වන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දසදහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ නැතහොත් ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දෙකටම යටත් විය යුතුය.
ඉහත සඳහන් දඬුවමට අතිරේකව, රක්ෂිත වනයට කරන ලද යම් හානියක් සඳහා අධිකරණය විසින් වන්දියක් ප්රදානය කරනු ලැබිය හැකිය. එම වන්දි මුදල රක්ෂිත වනයකට සිදුවූ හානියේ වටිනාකමට නොඅඩු විය යුතු අතර, අධිකරණය විසින් නියම කරන ලද දඩයක් ලෙස ගෙවීමට යටත් කොට අය කිරීම කළ යුතුය.
(2) (1) වැනි උප වගන්තියේ නිශ්චිතව සඳහන් යම් වරදක් කිරීමෙහිලා ආධාර හෝ අනුබල දෙන හෝ එබඳු වරදක් කිරීමට ඉඩ සලස්වන අයෙකුට වරද කිරීම සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කරනු ලැබ ඇති එම දඬුවමටම යටත් විය යුතුය.
මෙම ලිපියෙන් වන සංරක්ෂණ ආඥා පනතින් හඳුන්වා දී ඇති රක්ෂිත වනාන්තර පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතන අතර, ඉදිරි දිනෙක පනතේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අපගේ දැනුම බෙදා ගැනීමේ අදිටනින් මෙම ලිපිය අවසාන කරමි.
ලූම්බිණි කිරිඇල්ල
නීති නිලධාරිනී
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය