Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මෙතෙක් නිවැරදි ගවේෂණයකට ලක් නොවූ මෙම ඛනිජ නිධිය, මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් (initial environmental examination report) පමණක් කැඳවා අදාළ සමාගමට පැවරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, මෙරට පරිසර සංවිධාන හා පරිසරවේදීහු එම තීරණයට විරෝධය පළකරමින් පවසන්නේ විධිමත් පාරිසරික ඇගයීමකට ලක් නොකොට මෙම ඛනිජ නිධිය කැණීමට අවසර ලබාදීම ප්‍රශ්න රැසකට තුඩු දෙන්නක් බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පවසන්නේ මුහුදු මට්ටමින් මීටර 305ක් හා දළ බෑවුම සියයට හැටක් වූ භූමියක් වන මෙහි, කැණීම් කටයුතු සිදුකිරීමේදී හා ඒ සඳහා පිපිරවීම් සිදුකිරීමේදී සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් පූර්ව අධ්‍යයනයක නියැළීම ඉතා වැදගත් බවයි. එමෙන්ම උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදිකර තිබෙන අලිකොටආර ජලාශයට ආසන්නව මෙම ඛනිජ නිධිය පිහිටා ඇති නිසා මෙහි කැණීමක් හෝ යම් සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් තක්සේරුවක් (Environment Impact Assessment) කර ඉන් මෙම පරිසරයට හා ජලාශයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කළයුතුව ඇතැයි පවසයි.
“මෙය අන්තර් කලාපීය සවානා මිශ්‍ර වනාන්තරයක්. ඒ වගේම ජල සංවේදී කලාපයක්. උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අලිකොටආර ජලාශයේ වගේම කිරිදි ඔයේ අතු ගංගාවක් වන අලිකොටආරේ පෝෂක වනාන්තරය වන්නේත් මෙයයි. මෙහි ඉහළ වටිනාකමක් සහිත දැවමය ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල වනසතුන් ප්‍රමාණයකට වාසස්ථාන සපයනවා. වනඅලි සංක්‍රමණික මාර්ගයක් මෙම වනාන්තර පද්ධතිය හරහා වැටී තිබෙන බව අපේ නිරීක්ෂණවලින් තහවුරු වී තියෙනවා. අනික මෙම කැණීම් කිරීමට සිදුකරන පිපිරවීම් මගින් ජලාශයේ වේල්ලට, සොරොව්වට විශාල බලපෑම් එල්ලවිය හැකියි* පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතා තවදුරටත් අවධාරණය කරයි.
එම අවදානම පහළ ඌව නිම්න සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර තිබෙන උමාඔය බහුකාර්ය යෝජනා ක්රමයේ අලිකොටආර ජලාශයේ නේවාසික ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතාද පෙන්වා දී තිබේ.
ඒ මහතා 2016.07.20 දින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මොනරාගල කැණීම් ඉංජිනේරුවරයාට, මොනරාගල දිසා වන නිලධාරීවරයාට හා මධ්‍යම පරිසර අධිකාරියට පිටපත් සහිතව උමාඔය පහළ නිම්න සංවර්ධිත ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට යවා ඇති ලිපියෙහි දැක්වෙන්නේ මෙහි ඛනිජ කැණීම්වලට සිදුකරන පිපිරවීම් හේතුවෙන් ජලාශයේ බැම්මට, සොරොව්වට හා පිටවානට හානි සිදුවිය හැකි බැවින් මෙහි කැණීම් කිරීමට කිසිදු ආයතනයකට ඉඩ ලබා නොදෙන ලෙසයි.
මෙම වාරි ඉංජිනේරුවරයා එම ඉල්ලීම කර ඇත්තේ අලිකොටආර ජලාශයේ බැම්ම ඒ වන විට මීටර් 10ක් හා පිටවාන සහ සොරොව්ව මීටර් 15ක් උසට නිමකර Core grout කර තිබූ අවධියකය. නමුත් මේ වන විට ජලාශයේ ඉදිකිරීම් මුළුමනින්ම අවසන් කර තිබේ. ඔහු පවසන්නේ මෙම භූමියේ පවතින භූ විෂමතා ලක්ෂණ අනුව මෙහි ඛනිජ කැණීමට පිපිරවීම් කළහොත් එය මෙම ජලාශයේ ජලය රඳවාගැනීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ඇතිවිය හැකි බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවිය හා ඇතිලිවැව බීට්ටුව තුළ ඇති කොටිකම්බොක්ක කොස්ගහවෙල රක්ෂිතය හෙක්ටයාර 270ක පමණ විශාලත්වයකින් යුක්තය. මෙහි හෙක්ටයාර 06ක පමණ භූමියක් වසාගෙන මෙම ඛනිජ නිධිය පිහිටා තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවන් පෙන්වාදෙන්නේ මෙම ඛනිජ නිධිය මෙරට ඇති ඉතා ඉහළ වාණිජමය වටිනාකමකමකින් යුතු අගනා ඛනිජ නිධියක් බවයි. මෙම ඛනිජ නිධියේ ධමනි තිරුවානාට අමතරව ෆෙල්ස්පර් හා සඳකැන් වැනි පාෂාණද තිබෙන බව මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද් මහතා 2015.06.06 දින ඌව මධ්‍යම පළාත් නියෝජ්‍ය වන සංරක්ෂණවරයාට යොමු කර තිබෙන මෙහි ඇති පාරිසරික වටිනාකම සමිබන්ධයෙන් සකස් කළ වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙහි ඉහළ ජෛව විවිධත්වයක් ඇති නිසා කොස්ගහවෙල කොටිකම්බොක්ක රජයේ රක්ෂිත වනය යෝජිත රක්ෂිතයක් ලෙස නම් කිරීමට අවධානය යොමුකරන ලෙස නියෝජ්‍ය වන සංරක්ෂකවරයාට යවන ලද ලිපියේ තවදුරටත් සඳහන් වී තිබේ. එමෙන්ම ඒ මහතා 2015/03/06 දින ඌව මධ්‍යම පළාත් නියෝජ්‍ය වන සංරක්ෂණවරයාට තවත් ලිපියකින් දන්වා ඇත්තේ 1998 වසරේ සිට විවිධ පාර්ශ්වයන් මෙහි ඛනිජ කැණීම් සිදුකිරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව කොස්ගහවෙල රක්ෂිතයේ ඇති මෙම ධමනි තිරුවානා නිධියේ කැණීම් කටයුතු ආරම් භකර ඇත්තේ 1998 වසරේදීය. නමුත් මෙහි ඛනිජ කැණීම් කටයුතුවල ඇති අවධිමත්භාවය හා පාරිසරික හානිය සැලකිල්ලට ගනිමින් 2016 වසරෙන් පසුව මෙහි කැණීම් කටයුතු මුළුමනින්ම නවතා දමා තිබේ. ඒ බව 2016.07.20 දින වන සංරක්ෂණ (ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක) වෙත මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද් මහතාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියෙන් පැහැදිලි වේ.
කොස්ගහවෙල අලිකොටආර රක්ෂිත වනයේ ඇති ධමනි තිරුවානා නිධියේ කැණීම් කටයුතු 2015 වසරේ නවතා දැමුවද, 2016 වසරේදී නැවත මෙය කැණීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සම්බන්ධ G.S.M.B Technical Service (pvt)Ltd නම් පෞද්ගලික සමාගමට දීමට රජය තීරණය කර ඇත. ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 17/0629/704/001 මගින් පරිසර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවය.
ඒ අනුව 2016/05/23 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ අනුර සතුරුසිංහ මහතාට පිටපත් සහිතව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2016.03.31 දින පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වැල්ලවාය කොටිකම්බොක්ක තිරුවානා නිධිය ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ තාක්ෂණික සේවා පෞද්ගලික සමාගමට (G.S.M.B Technical Service (pvt)Ltd) අවසර දී ඇති බැවින්, භූමියේ ඇති තිරුවානා ප්‍රමාණය ගණනය කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් අයවිය යුතු ගාස්තු අයකර අදාළ සමාගම වෙත කැණීම් කටයුතු කිරීමට කොන්දේසි 08කට යටත්ව අවසර දෙන ලෙසයි.
මෙහිදී හිටපු පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට අවධාරණය කර තිබුණේ අදාළ භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිසා කැණීම් කටයුතු කිරීමට පෙර ඒ සඳහා වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ විධිමත් අවසරයක් ලබාගත යුතු බවයි.
පරිසර අමාත්‍යාංශ හිටපු ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයාට පිටපත් සහිතව යවා තිබූ ලිපියේ මෙහි කැණීම් කටයුතු කළ යුත්තේ සියලු පාරිසරික නීතිරීතීන්ට අනුකූලව බව අවධාරණය කර තිබුණද 2016 වසරේ මැයි මස 10 දින භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට ලිපියක් යවා ඉල්ලා තිබුණේ ජනාධිපතිවරයා මෙම ඛනිජ නිධිය කැණීමට G.S.M.B Technical Service (pvt) Ltd සමාගමට අවසර දී ඇති නිසා ඛනිජ කැණීම සඳහා කැණීම් බලපත්‍රයක් නිකුත් කරන ලෙසයි.
එම ඉල්ලීමට අනුව මෙම ඛනිජ නිධිය කැණීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම ඉඩම් නිදහස් නොකර තිබියදී හා මේ පිළිබඳව මූලික පාරිසරික විශ්ලේෂණයක් හෝ නොකර තිබියදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය එම සමාගමට කැණීම් බලපත්‍රයක් නිකුත් කර තිබුණි. ඒ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වන සංරක්ෂක මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.03.13 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම ඛනිජ නිධිය එම සමාගමට පැවරීම සම්බන්ධයෙන් පැවති තාක්ෂණික කමිටු රැස්වීමේදී අනාවරණය වූහ.
වැල්ලවාය කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධියේ කැණීම් කිරීමට G.S.M.B Technical Service (pvt) ltd සමාගම ඉදිරිපත්කර තිබූ ව්‍යාපෘති යෝජනාව අනුව අලිකොටආර ජලාශයට උතුරු කෙළවරින් මීටර් 08ක පමණ පළලකින් හා මීටර් හාරසියයක පමණ දිගකින් යුතු මාර්ගයක් ඉදිකර මෙහි ඛනිජ ඉවත් කිරීමට යෝජනා කර තිබුණි. ඒ අනුව වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් මොනරාගල දිසා වන නිලධාරීවරයාගේ උපදෙස් මත වැල්ලවාය අඩවිවන කාර්යාලයේ වන නිලධාරීන් මෙම මාර්ගය ඉදිකිරීම නිසා ඉවත්වන ගස් සලකුණු කළ අතර, එහිදී ගස් 332ක් ඉවත් කිරීමට සිදුවන බව අනාවරණය විය. ඒ අනුව මෙම ගස් කපා ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016.11.10 දින පරිසර අමාත්‍ය ලේකම්වරයාගෙන් අවසර පතා ලිපියක් යවා තිබුණද ඊට පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය මෙතෙක් හිමි වී නොමැත.
G.S.M.B තාක්ෂණික සේවා ආයතනයේ ව්‍යාපෘති යෝජනාව මගින් මෙම ඛනිජ නිධියේ කැණීමට අවසර පතා ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 02කි. 1980 අංක 47 දරන පරිසර පනතින් ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 722/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාරයකට වැඩි භූමියක යම් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම පරිසර බලපෑම් තක්සේරුවක් (E.I.A) සිදුකළ යුතු බව මෙරට ප්‍රකට පාරිසරික නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. මෙහිදී පරිසර හානියේ ස්වභාවය සලකා එහි හානිය අවම නම් ඒ සඳහා මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් (I.E.E.R) කැඳවීමද ප්‍රමාණවත් බව ඒ මහතා පවසයි.
මේ අතර 2015.05.06 දින මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද් මහතා නියෝජ්‍ය වන සංරක්ෂක (ඌව, මධ්‍යම) ලිපියක් යවමින් පෙන්වා දී ඇත්තේ මෙහි ඛනිජ කැණීම් සිදුකිරීමේදී අදාළ නීත්‍යනුකූල පියවරයන් අනුගමනය නොකර කිසියම් සමාගමකට පැවරීමට කටයුතු කළහොත් සොබා පදනම නම් මොනරාගල ප්‍රදේශයේ ක්‍රියාකාරී පරිසර සංවිධානය ඊට එරෙහිව නීති මගින් කටයුතු කරන බවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
“මෙහි ඛනිජ කැණීමට කරන පිපිරවීම් නිසා ජලාශයේ බැම්මට, සොරොව්වට හානි විය හැකියි. වාරි ඉංජිනේරුවන් මෙහි කැණීම් කටයුතු රසායනිකයක් යොදා කරන්න යෝජනා කර තිබුණත් ඊට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවන්ගේ කැමැත්තක් නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් කැඳවා පමණක් මෙහි ඛනිජ කැණීමට අවසර දෙන්න යනවා නම් අපි ඊට විරුද්ධයි. මේ බව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට, මොනරාගල දිසා වන නිලධාරීවරයාට ඇතුළු සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට අපි දන්වලා තියෙනවා. කිසියම් විදියකට initial environmental examination වාර්තාවක් පමණක් කැඳවා මෙහි කැණීම් කටයුතු කිරීම ඉඩ දී යම් පාරිසරික හානියක් හෝ ජලාශයට බලපෑමක් වුණොත් මේ තාක්ෂණික කමිටුව එම හානියේ වගකීම ගත යුතුයි* මොනරාගල සොබා පදනමේ රාජා විදානපතිරණ මහතා පවසයි.
වැල්ලවාය කොටිකම්බොක්ක ගම්මානයේ පවුල් 25කට පමණ තම ඉඩම් අත්හැර වෙනත් ප්‍රදේශවලට පදිංචියට යාමට සිදුවූයේ එම ඉඩම් අලිකොටආර ජලාශයට යට වූ බැවිනි.
“තිරුවානා කඩන්න පිපිරවීම් කරනකොට ප්‍රමිතියක් දක්වලා තිබුණත් කවුරුත් ඒ ගැන සැලකිලිමත් නැහැ. ඒ අය හිතිච්ච හිතිච්ච විදිහට පිපිරවීම් කළා. ඒ කළ පිපිරවීම් හැටියට මේ කන්ද නාය නොගිහින් තිබුණා පුදුමයි. හැබැයි ඒ බලපෑම පස්සෙ එන්න පුළුවන්. අනික හැම ව්‍යාපාරිකයාම සොච්චම් රාජ්‍ය භාගයක් ගෙවලා මේ ඛනිජය අමුද්‍රව්‍ය ලෙස අරන් ගිහින් වික්කා මිසක මීට අගය එකතු කිරීමක් කරලා ගමට රැකියා අවස්ථාවක් දෙන්න උනන්දුවක් තිබුණේ නැහැ. මේ නිධිය මුල ඉඳලම කඩලා පිටරට පටවපු මේ පැත්තේ දේශපාලඥයෙක් කැණීම් කරන්න දුන්න භූමියෙන් පිටස්තරව හෙක්ටයාරයක විතර තිරුවානා කඩලා පටවලා රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් කරලා තිබුණා. දැන් ඒකට නඩුවක් යනවා. ඒත් නඩුත් බඩුත් දෙගොල්ලොම ඒ අයගේ*
නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි කොටිකම්බොක්ක ගම්මානයේ වැසියකු අප සමග පැවසීය.
කෙසේ නමුත් මෙම ඛනිජ කැණීමට අදාළව තාක්ෂණික කමිටුව ඉල්ලා තිබූ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව (I.E.E.R) G.S.M.B Technical Service (pvt) Ltd සමාගම විසින් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට යොමුකර තිබුණි. ඒ අනුව වන සංරක්ෂක මහින්ද සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව 2017.11.29 දින ප.ව. 2.30 ට කොළඹ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී තාක්ෂණ කමිටු නිලධාරීන් රැස් වූ අතර, එහිදී සමාගම ඉදිරිපත් කර තිබූ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව තාක්ෂණික කමිටු නිලධාරිගේ අවධානයට යොමුකර තිබේ. නමුත් එම වාර්තාවෙහි බොහෝ සදොස් තැන් තිබූ බවත්, එය කිසිදු සැලකිල්ලකින් තොරව සකස් කළ වාර්තාවක් බවට ඔප්පු වූ බවත් නම හෙළි කිරීමට මැලි වූ තාක්ෂණ කමිටු නියෝජිතයෙකු අප සමග පැවසීය. කෙසේ නමුත් සමාගම මෙම නොසැලකිලිමත්ව සාදා තිබූ මූලික පරිසර විශ්ලේෂණ වාර්තාව තාක්ෂණ කමිටු නියෝජිතයන් ප්‍රතික්ෂේප කිරීම නිසා නැවත එම වාර්තාව සකසා ඉදිරිපත් කරන ලෙස අදාළ සමාගමට තාක්ෂණික කමිටුව දැනුම් දී තිබේ.
අප මෙම මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් G.S.M.B Technical Service (pvt)Ltd සමාගමට සම්බන්ධ අනුබද්ධ ආයතනය වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා මෙහි කැණීම් කටයුතු සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් (E.I.A) අවශ්‍ය නොවන බව තාක්ෂණ කමිටුව දන්වා තිබූ බව පැවසීය. ඒ අනුව (I.E.E.) වාර්තාව සකසා පසුගියදා පැවති තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කළද ඒ සඳහා මෙතෙක් තාක්ෂණ කමිටුවේ පැහැදිලි කිරීමක් නොලැබුණ බවද පැවසීය.
මෙහිදී G.S.M.B Technical Service (pvt) Ltd සමාගම වැල්ලවාය කොටිකම්බොක්ක රජයේ රක්ෂිතයේ ඛනිජ කැණීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරුවක් තබා ඒ පිළිබඳව මූලික පාරිසරික විශ්ලේෂණයක් හෝ අඩුම තරමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉඩම් පවා නිදහස් නොකර තිබියදී හෙක්ටයාර 02ක භූමියක් සඳහා එම සමාගමට ඛනිජ කැණීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට බලපත්‍ර නිකුත් කළේ කෙසේදැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අපි නැවත විමසීමක් කළෙමු. එහිදී ඉතා කෝපයෙන් පිළිතුරු සැපයූ ඒ මහතා එම සමාගම කැණීම සඳහා ඉල්ලා තිබූ ඉඩම් ප්‍රමාණය මතක නැති බවත්, තමන්ට ඔය දේවල් මතක තබා ගන්නවාට වඩා කළයුතු බොහෝ දේ ඇති බවත් පවසා දුරකථනය විසන්ධි කළේය.
අනතුරුව අප මේ සම්බන්ධව නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ රත්නවීර ගොඩනැගිල්ලෙහි පිහිටුවා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අනුබද්ධ G.S.M.BTechnical Service (pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සරත් සිල්වා මහතාගෙන් මෙම ඛනිජ කැණීමට මූලික පාරිසරික විශ්ලේෂණයක් පමණක් කිරීම ප්‍රමාණවත්ද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ තමන්ට ඒ සම්බන්ධව කිසිවක් කිව නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට මෙම ඛනිජ කැණීමට අවසර දීමට ඇති හැකියාව සොයා බැලීමට පරිසර අමාත්‍යාංශය මගින් පත්කර තිබෙන තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා වන, වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් සෑම අවස්ථාවකම විවිධ වැඩකටයුතු ඇතැයි පවසා මේ සඳහා පිළිතුරු දීම මගහැරියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd