විවිධ වූ පුද්ගලයන් සතුව ජීවිතයේ එක් වතාවක් හෝ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ආශාවන් ඇත. ඇතැම්විට එම ආශාවන් මුදුන් පමුණුවාගැනීම පෙළෙඹෙන්නේ ඉන් තමන්ට සිදුවිය හැකි ජීවිත අවදානම ගැනද නොසිතමිනි. ජයන්ති කුරු-උතුම්පාල හා ජොහාන් පීරිස් දෙදෙනාටත් කුඩා කල පටන් තිබූ සිහිනයක් වූයේ කෙදිනක හෝ ලොව උසම ස්ථානය වන එවරස්ට් කඳු මුදුනේ සිංහ ධජය සිටුවීමයි. ඒ සඳහා කාලාන්තරක් තිස්සේ පෙරුම්පුරාගෙ සිටි ඔවුන් දෙදෙනාට එහි පළමු පියවර තැබීමට මේ වනවිට අවස්ථාව සැකසී ඇත.
ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුම හිමාලය කන්ද තරණය ඇති අතර, ඔවුන්ට අතර පාසල් සිසුහුද වෙති. එහිදී ඔවුන්ට එවරස්ට් කඳු මුදුනටම යාමට නොහැකිවී ඇති අතර, එවරස්ට් කඳු නිම්නය පෙනෙන මානයෙන් සිය ගමනාන්ත නතර කර ඇත. කෙසේ නමුත් 37 හැවිරිදි ජයන්ති හා 48 හැවිරිදි ජොහාන් දෙදෙනා උත්සාහ දරන්නේ ලංකාවෙන් පළමු වරට ඉදිරිපත් වී එවරස්ට් කන්ද තරණය කිරීමට. ඒ සඳහා ඔවුන් අද (28දා) නේපාලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ගමන් මාර්ගය
එවරස්ට් කන්ද තරණය කිරීම විවිධ ප්‍රදේශයන්ගෙන් ආරම්භ වේ. ජයන්ති හා ජොහාන් දෙදෙනා තෝරාගෙන ඇත්තේ හිමාලය කන්දේ දකුණු අන්තයෙන් ගමන් ඇරඹීමටය. ඒ සඳහා ඔවුන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා යා යුතුව ඇත. මෙම දෙදෙනා තෝරාගත් යන ගමන් මාර්ගයේ විශේෂත්වය වන්නේ ලෝකයේ පළමු වරට(1953 වසරේදී) එවරට් කඳු මුදුන තරණය කළ එඩ්මන් හිලරි (Edmund Hillary) සහ ටෙන්සින් නොර්ගෙ (Tenzing Norgay) ගමන්කර ඇත්තේද මෙම මාර්ගයේ වීමයි. මෙම සමස්ත ක්‍රියාදාමය අවසන් කිරීම සඳහා ජයන්තිට හා ජොහාන්ම අවම මාස දෙකකට වැඩි කාලයක් ගතකළ යුතුව ඇත.
කඳවුරු හතරක් පසුකළ යුතුය
අවසන් අදියරට ළඟාවීමට කඳවුරු හතරක් පසුකළ යුතුව ඇත. අංක 01, 02, 03 හා 04 යනාදි ලෙස නම්කර ඇති එම කඳවුරු හතරෙන් බොහෝ කඳු තරණය කරන්නන් මෙහි අවසන් කඳවුර (04) තෙක් ගමන්කර සිය කඳුතරණය නිමාකිරීමයි. කෙසේ නමුත් ජයන්ති හා ජොහාන් සමස්ත අඩි 29,029 (මීටර 8,850) උස එවරස්ට් කන්දම තරණය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර, සිංහ ධජය එහි ස්ථාපනය කිරීමේ එකම අරමුණ වී ඇත. මෙහිදී කොතරම් අත්දැකීම් ඇති අයෙකු වුවත්, එකවිට මෙම කඳවුරු සියල්ල පසුකළ නොහැකි අතර, දිනකට ගමන්කළ හැකි කාලය උපරිම පැය 4-8 අතර ප්රමාණයකි. ඒ හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් ගතකළ යුතුව ඇත.
අත්දැකීම් බහුල මගපෙන්නනෙකුගේ සහාය අත්‍යවශ්‍යයි
ආශාව තිබූ පමණට එවරස්ට් තරණය කළ නොහැක. ඒ සඳහා අත්දැකීම් බහුල මගපෙන්වන්නෙකුගේ සහාය ලබාගැනීම අනිවාර්යය වේ. ඒ සඳහා International Mountain Guides යන ඇමෙරිකානු සමාගමේ සහාය ජයන්ති හා ජොහාන් දෙදෙනා ලබාගෙන ඇත. මෙම ආයතනයට වසර 30කට වැඩි අත්දැකීම් ඇත. මාස දෙකකකට අධික කාලයක් මෙම කාර්ය පවතින බැවින් එම කාලසීමාවේ අවශ්‍ය සියලුම වෛද්‍ය, ආහාර හා අනෙකුත් පහසුකම් මෙම සමාගම මගින් ලබාදෙන අතර, ජයන්ති හා ජොහාන් සමග ගමනාන්තය දක්වා එහි නියෝජිතයෙකු රැඳී සිටියි.
ආශාව ඉක්ම වූ අවදානම
සාමාන්‍යයෙන් උස් ස්ථානයන්හි ගමන් කරන විට හුස්ම ගැනීමේ අපහසුතාව තදින්ම බලපායි. එවැනි තත්ත්වයක් තුළ ලොව උසම ස්ථානයේ ඇති ඔක්සිජන් තත්ත්වයේ ඇති අවදානම අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ හේතුව නිසාම එවරස්ට් තරණයට ඉදිරිපත්වූවන්ගෙන් පිරිසක් නැවත නොපැමිණි අවස්ථාද ඇත. ඒ අනුව ජයන්ති හා ජොහාන් දැඩි අවදානමක් මධ්‍යයේ මෙම භාරදූර අභියෝගය තෝරාගෙන ඇත. මෙහි අවසානය දක්වාම පයින් ගමන් කළ යුතුව ඇති අතර, කඳවුරු අංක 01 දක්වා ගුවනින් පැමිණිය හැක. නමුත් එතැන් සිට පයින් යා යුතුව ඇත. මෙම ප්‍රදේශයේ ඔක්සිජන් ප්‍රමාණයද සියයට 50 දක්වා අඩුව ඇත.
එවරස්ට් තරණයට හොඳම කාලය මෙයයි
වසරේ කාර්තු දෙකකදී එවරස්ට් තරණය සිදුකරන අතර, අප්‍රේල් - ජුනි කාලසීමාව යනු ඉන් කඳු තරණයට සුදුසුම කාලය වේ. මෙම කාලසීමාවේ වැඩි පිරිසක් කඳු තරණයට පැමිණෙන අතර, සැප්තැම්බර් - නොවැම්බර් වන අනෙක් කාලයේ සාපේක්ෂව පැමිණෙන පිරිස අඩුවේ. කෙසේ නමුත් පැමිණෙන පිරිසගෙන් බොහෝ දෙනෙකු අවසානය දක්වා ගමන් නොකර ආපසු හැරී එයි. මගපෙන්වන සමාගමේ නිර්දේශනයන් අනුව ජයන්ති - ජොහාන් මෙම කාලය තෝරගෙන ඇත.
දැවැන්ත වියදමක් දැරිය යුතුය
එවරස්ට් තරණයට දැවැන්ත වියදමක් දැරිය යුතුයි. ජයන්ති - ජොහාන් සමස්ත කඳු තරණ කාර්යය සඳහා ඇමෙරිකානු ඩොලර් 135,000 ක මුදලක් දැරිය යුතුව ඇත. ඉන් අදාළ මඟපෙන්වන සමාගමට ඇ.ඩො. 66,000 මුදලක් ගෙවිය යුතුය. ඊට අමතරව ඇ.ඩො. 22,000 මුදලක් එවරස්ට් තරණය සඳහා අවසර ලබාගැනීමට නේපාල රජයට ගෙවිය යුතුව ඇති අතර, නේපාලය රජය නියම කර ඇති අනිවාර්යය රක්ෂණය සහතිකයද විශාල මුදලක් ගෙවා ලබාගත යුතුව ඇත. ඒ සඳහාද මෙරට මුදලින් ලක්ෂ 15 කට වැඩි මුදලක් දෙදෙනා ගෙවිය යුතුයි. මෙහි එක් අයෙකුගේ ආරක්ෂිත ඇඳුම් කට්ටලයට පමණක් ඇ.ඩො. 10,000 (රු. 1,460,000) ක් පමණ වන අතර, සපත්තු යුගලයක් පමණක් රුපියල් 100,000 ඉක්මවයි. මෙම සියලු දේ අත්‍යවශ්‍ය වන අතර, ඒ සියල්ල නොමැතිව දිවි ඇතිව ගමන් කරනවා යනු ආශ්චර්යකි.