පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය වෙත නීත්‍යනුකූලව බැඳී සිටින බැවින් උන්වහන්සේට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට නොහැකි බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.
එහි සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් අවධාරණය කර සිටියේ ස්වාධීන වීම සඳහා කිසිවෙකුටවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දී නොමැති බවයි.
රතන හිමියන් ජාතික හෙළ උරුමයෙන් ස්වාධීන වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණෙන්ද ස්වාධීන විය යුතු යැයි පෙන්වා දෙන උන්වහන්සේ, එක්සත් ජාතික පක්ෂයේ සිත දිනාගැනීම සඳහා රතන හිමියන් යම් ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද පැවසූහ.
පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (21දා) මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සහභාගි වන වැඩසටහන්වලට අනාරාධිතව සහභාගි වීමෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය තමන්ට ඇති බව රටට පෙන්වීමට රතන හිමියන් නිරන්තරයෙන් උත්සාහ දරන බවයි.
එය එක්තරා ආකාරයක බොළඳ උත්සාහයක් ලෙස ජාතික හෙළ උරුමය විසින් දක්නා බවත්, රතන හිමියන් ස්වාධීන වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය ඉවත් කරගන්නේ නම් ජාතික හෙළ උරුමය සමග තවදුරටත් කටයුතු කිරීමට රතන හිමියන්ට අවස්ථාව ඇති බවත් විමලසාර හිමියෝ පවසා සිටියහ.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ,
“අතුරලියේ රතන හිමියන් නීත්‍යනුකූලව බැඳී සිටින්නේ ජාතික හෙළ උරුමය සමගයි. ජාතික හෙළ උරුමය පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය සමගද අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ අනුව පක්ෂයට අදාළව මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධ ගැටලුවක් පැන නැගුණහොත් මේ ගිවිසුමේ 09 වැනි කරුණ අනුව ඒ සඳහා ක්‍රියාත්මක වන්න පුළුවන් අදාළ පක්ෂවලට පමණයි.
ඒ අනුව, ජාතික හෙළ උරුමයට සම්බන්ධ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයක් පැන නැගුණේ නම් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම, මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ආදී කාරණා අදාළ වන්නේ ජාතික හෙළ උරුමයට පමණයි. ඒ නිසා මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සම්පූර්ණය අයිතිය තියෙන්නේ ජාතික හෙළ උරුමයටයි.
අපට දැන ගන්නට ලැබුණා අතුරලියේ රතන හාමුදුරුවෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා හමුවුණා කියලා. අපට දැනගන්න ලැබුණු විදියට ස්වාධීනත්වය පිළිබඳ කවර ආකාරයේ ප්‍රකාශ කළත් උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හමුවෙලා පවත්වපු සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා තියෙන්නේ ආණ්ඩුවත් එක්ක දිගටම ඉන්නවා කියලා. ඒ නිසා ඒක එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් උන්වහන්සේ ප්‍රකාශ කරලා ප්‍රමාණවත් වන්නේ නෑ.
මොකද උන්වහන්සේ බැඳිලා ඉන්නේ අපට. ඒ අනුව ඒ පොරොන්දුව එහෙම නැත්නම් තමන්ගේ පළ වූ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ජාතික හෙළ උරුමය සමග කටයුතු කරන්නට උන්වහන්සේට වගකීමක් තියෙනවා. ඒ ප්‍රකාශය නොකරන තාක්කල් උන්වහන්සේගේ පළමුවැනි ප්‍රකාශය තමයි අපි පිළිගන්නේ* යැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියහ.