වැලන්ටයින්ලාට පිං දෙමින් අපචාරයට නැඹුරු වූ යෞවනය
ගතවූ සතියේ ලංකාවේ අගනුවර පාසලක බාලක බාලිකාවන් කීපදෙනෙකු සිප වැලඳ ගැනීමේ පුවත මව්පියන්ගේ අවධානය කාලීන මාතෘකාවක් වෙත යොමු කරවීමට සාධකයක් විය. මෙයට පෙරද දකුණේ සහ අගනුවර පාසලක බාලිකාවන් පාසල තුළ බියර් සහ අරක්කු පානය කළ පුවත් ඇසුණි.
එදා හුදකලා ස්ථානයක කාටත් නොදැනෙන්නට සිදුවූ දේ අද මහ මග බස්රිය නොව පන්ති කාමරයද ආක්‍රමණය කිරීමට තරම් යෞවනය අතරමං කර ඇති බව මව්පියෝ වටහා ගැනීමට මේ පුවත් අවවාදයකි.
මාගේ දරුවා නිර්දෝෂී යැයි අනෙකා සමග පැවසුවද මගේ දරුවාත් එහෙමද හෝ එහෙම වෙයිද යන අනියත ප්‍රශ්නාර්ථයක් තුළ බොහෝ දෙමව්පියන් තුළ නිසැකවම මතුවන සැකය තම දරුවාට කෙරෙහිද ඇති නොවන්නේ නම් මෙවැනි විපත් වැළැක්වීම අපහසුය.
ගතවූ සතියක එක් නීතිවේදියෙතු හමුවූ මවක පැවසුවේ තමන් උදෑසන බසයට ගෙනැවිත් ගොඩනංවන එකම දියණිය පාසල නිම වී නොපැමිණි නිසා සොයා බලන විට වෙනත් විවාහක තරුණයෙකු සමග පැන ගොස් ඇතැයි කතාවකි. නිවසේ සිට බසයට කැඳවාගෙන පැමිණ බසයට ගොඩ කළ පසු එයින් ඔබ්බට තම දරුවා සමාජය තුළ සුරක්ෂිත යැයි සිතන දෙමව්පියන්ට මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදීමට සිදුවන බව නීති උපදේශකයා පෙන්වා දුන්නේය.
දෙමව්පියන් දරුවන් ගැන නොසොයනවා නොවේ. ඒ සඳහා ඔවුන්ට ඇති ඇතැම් කාර්යබහුලතාවයන් මෙන්ම ප්‍රායෝගික අර්බුදයන්ද සුළුවෙන් බැහැර කළ නොහැකිය. එහෙත් එසේ යැයි ඇඟ බේරාගත නොහැකි වටපිටාවක අප ජීවත්වන්නේ නම් එතැනින් පළා යාමට මව්පියන්ට අවස්ථාවක් නැත.
මෙයට මාසයකට පමණ පෙර කොළඹ සිට රාත්‍රී 10.00ට පමණ බසයෙන් පැමිණෙන සිය නැගණිය ආරක්ෂිතව නිවසට කැඳවාගෙන යාම සඳහා මහනුවර ඔර්ලෝසු කණුව අසල අයියා රැඳී සිටියේය. නැගණිය නියමිත වේලාවට පැමිණියාය. ඒ ආසන්නයේ තිබූ ත්‍රිරෝද රථයක් වෙත ගිය දෙදෙනා කුලී ගමනට ගණන් විමසා එකඟ වූ පසු රියදුරු එයට ගොඩවන ලෙස පැවසීය. නැගණිය පළමුව රියට ගොඩවනවාත් සමග ත්රිරෝදකරු වේගයෙන් රථය ධවානය කරමින් නැගණිය රැගෙන පළා ගියේය. ඇය මර හඬදී ධාවනය වන රියෙන් පැන ගත් අතර, සැකකරු අත්අඩංගුවට පත් විය. ඔහු හමුදාවෙන් පැන ගිය අයෙකු බව පසුව අනාවරණය විය.
මේ පුවත සනාථ කරන්නේ වත්මන් සමාජය තුළ තරුණියකට තම සහෝදරයා සමග හෝ ගමනක යෙදීමට ඇති අවදානම, බිය සහ අනතුරුදායක තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවට එක් සාක්ෂියක් පමණි.
තම 15 හැවිරිදි පෙම්වතිය දරුවකු ප්‍රසූත කිරීම නිසා කලකිරීමට පත් 17 හැවිරිදි පෙම්වතා ගමෙන්ද පළාගොස් ඇතැයි ගිය සතියේ ජනමාධ්‍ය වාර්තා කළේය. දරුවෙකු ප්‍රසූත කරනතුරු මව්පියන් කළේ කුමක්ද යන්න මෙවැනි සිදුවීම් තලු මරන්නට තරම් කුණු රස සොයන මිනිසුන්ට අපූරු පුවතක් විය හැකිය. එහෙත් මේ පුවත් ඇසෙන්නේ අප සාධු සම්මත සහ සුචරිතවාදීන් යැයි ලේබල් කරගත් සමාජයක නම් සමාජය පවතින්නේ කොතැනද යන්න තවත් අර්බුදයකි.
ලංකාවේ වැලන්ටයින් දිනයකදී නව යෞවනියන් 8500-9500ත් අතර දෙනෙකුගේ කන්‍යාභාවය අහිමිවන බව විශේෂඥ වෛද්‍ය අංසක විජයරත්න ගතවූ 2016 වසරේ Scottishorbit සමීක්ෂණය අසුරෙන් අනාවරණය කළේය. එසේම එම දිනවල උපත්පාලන උපකරණ, ගබ්සා මධ්‍යස්ථාන කරා ඇදෙන පිරිසත්, එම බෙහෙත් වර්ග ශීඝ්‍ර ලෙස අලෙවිය ඉහළ යන බවත් ඔහු පෙන්වා දී තිබුණි.
වැලන්ටයින් දිනයෙන් පසු ලංකාවේ සියදිවි නසා ගැනීම තුන් ගුණයකින් ඉහළ යන බවද එයට අපේක්ෂාභංගත්වය, හිත රිදවීම් ඉවහල් වී ඇතැයිද, මෙයින්ද වැඩිදෙනෙකු අවුරුදු 25 ට අඩු කාන්තාවන් බවද ඔහු පවසයි.
2016 වසරේ ගාල්ල නගරයේ පැවති වැලන්ටයින් වැඩසටහනකදී පෙම්වතුන් 15ක් බීමත්ව පිස්සන් ලෙස හැසිරීමෙන් එම පෙම්වතියන් දැඩි අපහසුවට පත්වූහ. එක් 14 හැවිරිදි සිසුවියකගේ පෙම්වතා අතුරුදන් වීමෙන් පසු දෙමව්පියන් ගෙන්වා ඇය භාරදීමට පොලීසිය කටයුතු කළ බව ජනතාවට අමතක නැත.
එක් ගෙස්ට් හවුස් පාලකයෙකු පැවසුවේ මත්පැන්, බියර්, දුම්වැටි සමග නිල් චිත්‍රපට රැගෙන මොවුන් කාමර තුළට රිංගන කතාවකි. අනෙක හැමදාමත් නගරාසන්නයේ කාමර සොයා පැමිණෙන පාසල් වියේ පෙම්වතුන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයිද ඔහු පැවසීය.
විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යව පිළිබඳ ආචර්යවරයෙකු පැවසුවේ, විවාහයට පෙර එක් වතාවක් හෝ කාමරයක ලැගුම් ගැනීම වත්මන් පරපුරේ ආදරය ප්‍රකාශ කළයුතු අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්කර ඇති බවය. රෝම හමුදාවට තහනම් කර තිබූ විවාහ වීමේ අයිතිය වැලන්ටයින් හොර රහසේ ඉටුකර දුන් බව පැවසේ. ඒ අනුව එදිනට එක්වන පෙම්වතුන් ඔහුට කරන ප්රණාමයක් ලෙස දක්වා අනියම් ලිංගික සබඳතාවයන් සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඔහු පැවසීය. මෙනිසාම ගැහැනු දරුවාගේ ආරක්ෂාවද එතරම්ම අවදානම්ය. තම දියණියන් සල්ලාලයන්ගෙන් රැකගත යුතු යැයි සිතන දෙමව්පියන් වෙතොත් අවධියෙන් සිටිය යුත්තේ එතැනය.
ජගංම දුරකථන, ටැබ්, ලැප්ටොප් මෙන්ම විවිධ තාක්ෂණික මෙවලම් හරහා පහසුවෙන් සිදුකළ හැකි සන්නිවේදනය සහ නොමනා මගපෙන්වීම් යෞවනයේ ඇතැමුන්ගේ නොසන්සුන් මනසට අනුබල සපයයි. එසේම ඇතැම් උපත් පාලන ක්රමයන්ද ඒ තරමටම මේ වනවිට යෞවනයන් පෙම්වතුන් අතර භාවිතයට පත්ව ඇති බව සහ ඒවා පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාවද තවත් පිටිවහලකි.
දරුවන් අතර සිදුවන මෙවැනි දේ මව්පියන්ද නොදන්නවාද නොවේ. ඔවුන් එහිදී මගේ දරුවා එසේ නොවන බව හෝ “අර ළමයාට එහෙම වුණාට මගේ දරුවන්ට එහෙම නොවෙතැයි” පුරසාරම් දෙඩවීම තුළ සිදුවන්නේ සමාජ අත්දැකීම් තුළින් හෝ වැරදි නිවැරදි කර ගැනීමේ අවදානමකි. එයින් අර්බුදය ජයගත හැකිද?
ඇතමුන් පවසන්නේ අතීසාරයට අමුඩය ගැසීමක් සේ උපත් පාලන උපකරණ, ජංගම දුරකථනය, මුහුණුපොත සහ යෞවනයට හෝටල් කාමර සැපයීම තහනම් කළයුතු බවට නීතියකි. තමන්ගේ දරුවා නිසි මගට ගැනීමට අනුබලයක් දිය නොහැකි මිනිසුන් රටකට අලුත් නීති සකසමින් රට වෙනස් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ සියල්ල දෙස බලා සිටින ජනතාවට ඇත්තේද හාස්‍යයත් සමග මුසුවූ කෝපයකි.
කෙසේ හෝ රට තුළත්, ගම තුළත්, තමා අවට පරිසරය තුළත් සිදුවන දේ සමග නිවස තුළදී ඒ අතරින් සිදුවිය හැකි දේ ගැන අවධානයෙන් කටයුතු කිරීමේ වගකීමෙන් දෙමව්පින්ට මගහැර යා නොහැකි තැනට මෙය සමාජ වසංගතයක් බවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මගින් 'ඔබේ දරුවාගේ ආරක්ෂාව ඔබගේ වගකීමයි' යනුවෙන් ප්‍රකාශිත උපදෙස් මාලාව දරුවන් සිටින හැම දෙමව්පියෙකුටම වඩා වැදගත් පණිවුඩයක් සපයන හෙයින් එය මෙසේ උපුටා දක්වමු.
- දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරන්න. ඒ අනුව දරුවන් සමග ඉතා ළඟින් ඇසුරු කරන්න.
- පාසල් යන දරුවන්ට ඔබ අසන දකින අපරාධ ගැන දැනීමක් ලබාදෙන්න. එවැනි වැරදි වලට හසු නොවන මාර්ගයන් පහදා දෙන්න.
- පාසලට යන එන විට කණ්ඩායම් වශයෙන් මහජනයා ගැවසෙන මාර්ග වලින් යාමට පුරුදු කරන්න.
- නාදුනන අය දෙනු ලබන රසකැවිලි මුදල් හෝ වෙනත් දේ නොපිළිගැනීමට පුරුදු කරන්න.
- දරුවන් ආශ්‍රය කරන අය හඳුනා ගන්න. දරුවන් යන එන තැන් තැන් සොයා බලන්න.
- අඳුර වැටීමට පෙර නිවසට පැමිණෙන ලෙස දරුවාට උපදෙස් දෙන්න. ප්‍රමාද වේ නම් එන මග ඉදිරියට ඔබ යන්න.
- ඔබ නිවසින් පිටවන අවස්ථාවකදී දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න. එවිට නිවසේ රැඳී සිටින අය ගැනත් සිතා බලන්න.
- දරුවා පාසලේ වැඩකටයුතු ගැන උනන්දුව අඩුවීම හෝ වෙනසක් දකින්නේ නම් ඒ ගැන විමසන්න.
- පංති භාර ගුරුවරයාගෙන් දරුවාගේ අධ්‍යපන කටයුතු ගැන විමසා නිතර දැනුවත් වන්න. විවිධ අතවර නිසා අධ්‍යාපනයට මගහැරීමත් උනන්දුවත් අඩු වෙයි.
- අමතර පංති සඳහා නිසි ලෙස සහභාගී වන්නේදැයි සොයා බලන්න.
- තම දරුවන් සහ යහළුවන්ගේ ගමන්බිමන් පිළිබඳ සොයා බලන්න. මත්ද්‍රව්‍ය ආදිය මෙවැනි අවස්ථාවල භාවිතයවට ඇති අවස්ථාව බහුලය.
- අවශ්‍යතාවයට වඩා මුදල් තිබේදැයි බලන්න. තිබෙන්නේ නම් කෙසේදැයි විමසන්න. මුදල් ඔබෙන් ඉල්ලන විට අවශ්‍යතාවය ගැන ඔබ සොයා බලන්න.
- පාසල් බෑගයේ වෙනත් ඇඳුම් පැලඳුම් තිබේදැයි බලන්න.
- දරුවා නිතර බියෙන් සැකයෙන් පසුවන්නේදැයි විමසිලිමත් වන්න.
- දරුවා හමුවීමට එන අය ගැන විමසිලිමත් වන්න.
- දරුවන් මත්ද්‍රව්‍ය පාවිච්චිය හෝ දරුවන්ගේ යහළුවන් ඒ සඳහා යොමු වී තිබේදැයි බලන්න.
- දරුවන් අඳින ඇඳුම් නිසා අගපසඟ අනවශ්‍ය ආකාරයට කැපී පෙනෙන්නේ නම් කාමාතුරයන් ඒ ගැන ආශාවක් දක්වන බව සිතන්න.
- යම්කිසි බියක් සැකයක් ඇතිවූ විට මහ මගකදී නම් ළඟම සිටින පොලිස් නිලධාරියාටත් හදිසි අවස්ථාවකදී 119 හෝ 118 අමතන්න.
ඉහත උපදෙස් හැම මවක පියෙකු විසින්ම තම දුව පුතා වෙනුවෙන් සොයා බැලිය යුතු සහ ළමා අපයෝජනය අපචාරය සහ ළමුන්ගේ අශෝභන චර්යාවන් පිටුදැකීමට වඩාත් අනුබලයක් වනු ඇත.