ශ්‍රී ලංකාව තුළ පවත්නා මහජන නියෝජිත ආයතන මගින් රටේ ජනතාවට අවශ්‍ය කෙරෙන විවිධ සේවා රාශියක් කිරීමට එම ආයතන බැඳී සිටී. මූලික වශයෙන් කෘෂිකර්මය නගාසිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, මාර්ග ආදී ප්‍රධාන කටයුතු සංවර්ධනය හා සමාජ සේවා ආදිය පොදුවේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා මගින් ඉටුකිරීමට ව්‍යවස්ථානුකූලව බැඳී ඇත.
මහ නගර සභා සහ අනෙකුත් ආයතන මගින්ද මෙම කටයුතුවලට අමතරව එක් එක් බලසීමාවන්ට අයත් වන ප්‍ර‘දේශවල කැළිකසළ ඉවත් කිරීම්, පුස්තකාල සේවා, සෞඛ්‍ය සේවා, මහජන සුභසාධනය සහ සමාජය හා ප්‍රදේශය ආරක්ෂා කිරීමේ පොදු කටයුතුවල යෙදී සිටී.
රටේ ප්‍රධානතම නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුව හැරුණු විට ඇති අනෙකුත් මහජන නියෝජිත ආයතන සිවු වර්ගයකි.
පළාත් සභා (Provincial Councils)
මහ නගර සභා (Municipal Councils)
නගර සභා (Urban Councils)
ප්‍රාදේශීය සභා (Divisional Councils)
මහජන නියෝජිත මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිතයන් 225 කින් සමන්විත වන අතර, 1978 න් පසුව පැවැති මැතිවරණවලදී ඔවුන් පත්කරනු ලබන්නේ සමානුපාතික ඡන්ද ක්රමයකටය. මෙම ක්‍රමය බොහෝදුරටම ඉදිරි මැතිවරණයකදී වෙනස් වී සමානුපාතික හා කේවල මිශ්‍ර ක්‍රමයක් මගින් පැවැත්වීමේ හැකියාව ඇතිවිය හැකි අතර, නියෝජිත සංඛ්‍යාවේද වැඩිවීමක් සිදුවිය හැකි බවට ලකුණු පහළ වෙමින් පවතී.
රටේ පළාත් නවය වෙනුවෙන් පළාත් සභා නවයක් පවතින අතර, එයින් විශාලම ආයතනය වන බස්නාහිර පළාත් සභාව සඳහා නියෝජිතයන් 104 දෙනෙකු ඇතුළුව මුළු පළාත් සභා නවය නියෝජනයට 453 න් දෙනෙක් පත්ව සිටිති.රටේ පවතින මහ නගර සභා ගණන 23 කි. එයින් 7 ක් බස්නාහිර පළාතේ වන අතර, ඒවායේ නියෝජිත සංඛ්‍යාව 203 ක් ඇතුළුව රට තුළ මුළු නියෝජිත සංඛ්‍යාව 445 ක් වේ.
මුළු රටෙහිම නගර සභා සංඛ්‍යාව 41 ක් වන අතර, බස්නාහිර පළාතේ 14 ක් සඳහා නියෝජිතයන් 155 ක් ඇතුළු මුළු නියෝජිත සංඛ්‍යාව 421 ක් වේ.
රට තුළ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 271 කි. මෙම ආයතනය සඳහා පත්වන නියෝජිත සංඛ්‍යාව 3728 කි. මේ අනුව පාර්ලිමේන්තුව ඇතුළුව රට තුළ ඇති මහජන නියෝජිත ආයතන 05 සඳහා පත්වන මුළු නියෝජිත සංඛ්‍යාව 5272 කි.
පොදු ඡන්ද දායක ජනතාව වශයෙන් අප සලකා බැලිය යුත්තේ මේ සා විශාල නියෝජිත පිරිසකගෙන් රටේ සුභසාධනය සඳහා කෙතරම් සේවයක් සිදුවේද යන්නය. මෙම නියෝජිතයන් පෝෂණය කිරීම, ආරක්ෂාව සැපයීම, නිවාස සැපයීම, පොදු පහසුකම් සැපයීම වැනි විවිධ කාර්ය සඳහා කොපමණ බදු මුදලක් මහජනයාගෙන් අය කරන්නේද? ජනතාවගෙන් අය කෙරෙන එම බදු වෙනුවෙන් ඔවුන්ගෙන් සාධාරණ සේවයක් සමාජයට ලැබෙන්නේද? මෙම නියෝජිතයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් පොදු සමාජයේ අගතියට කටයුතු කරයිද? රටේ ඉහවහා ගොස් ඇති මත්කුඩු හා මත්පැන් ජාවාරම්වලට මූලිකව හෝ අනියම් වශයෙන් සම්බන්ධව ඇති නියෝජිතයන් කොපමණ දෙනෙක් සිටීද? මහජන නියෝජිතයන් කොපමණ දෙනෙක් රටේ ප්‍රධාන හොර මැරකම්වලට, ස්ත්‍රී දූෂණවලට, මිනීමැරුම්වලට, විවිධ වංචනික කටයුතුවලට සම්බන්ධවී හෝ අනියම් ලෙස කටයුතු කර වරදරුවන් වී හෝ නීතිය ඉදිරියේ සැකකරුවන් වී ඇත්ද? තවත් කොපමණ නියෝජිත සංඛ්‍යාවක් නගර මට්ටමේ හා ගම් මට්ටමේ දාමරික කටයුතු මංකොල්ලකෑම් සහ අපරාධවලට හසුවී ඇත්ද? මෙම නියෝජිතයන්ගෙන් කොපමණ දෙනෙක් කප්පම් කල්ලිවල නායකයන් වශයෙන් නගරවල සහ ගම්වල මහජනයා බිය ගන්වමින් සිටින්නේද?
අප රටේ අද මුළු ජනගහනය මිලියන 21.5 ක් වන අතර, එම ප්‍රමාණයෙන් ඡන්දය හිමි වැඩිහිටි ජනතාව මිලියන 15 ක් වේ. එසේ නම් රටේ ඇති මහජන නියෝජිත සංඛ්‍යාව වන 5272 සමග සසඳා බැලීමේදී සෑම ඡන්දදායකයන් 2845 කට එක් මහජන නියෝජිතයෙකු ලංකාව තුළ සිටී. මෙම නියෝජනය දකුණු දිග ආසියාවේ නොව ලෝකයේ කිසිදු රටක නොදකිනා නියෝජන ක්රමයකි.
මේසා විශාල නියෝජිත සංඛ්‍යාවක් මහජන මුදලින් යැපීමට සැලැස්වීම රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට කරන සාපරාධී ක්‍රියාවකි. මෙයින් වැඩි දෙනෙකුගෙන් සමාජයට සිදුවන්නේ අයහපත්කම බව රටේ සිදුවන විවිධ ක්‍රියාකාරකම්වලින් මනාව වැටහේ. පසුගිය පළාත් සභා සහ ජනාධිපතිවරණ සමය තුළ මොවුන් හැසිරුණු අන්දම මුළු සමාජයම විශේෂයෙන්ම ගැමි ජනතාව ඉතා පිළිකුලෙන් ඉවසා සිටි බව මුළු රටම දනී. එහෙයින් රටේ යහපත් පාලනයක් ඇති කරවීම සඳහා මෙම ආයතවල නියෝජිත සංඛ්‍යාව සීමාකිරීම කෙරෙහි රටේ විවිධ ප්‍රජා සංගම් සහ බුද්ධිමත් ජන සංගම්වල සැලකිල්ල යොමුකරවීම වටී.
අභයතිලක සමරනායක