Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
රජයේ මූල්‍ය අවශ්‍යතාවට වඩා අඩු වටිනාකමකට සෑම විටකදීම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බවත්, රජයේ මූල්‍ය අවශ්‍යතාවට වඩා අඩු වටිනාකමකට ලංසු කැඳවනු ලබන්නේ ණය පොළී අනුපාත ඉහළ යෑම වළක්වා ගැනීමට බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා ඊයේ (07දා) පැවසීය.
රජයේ මූල්‍ය අවශ්‍යතාවටම ගැළපෙන සේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළහොත් එමගින් ණය පොළී අනුපාත ඉහළ යන බවත්, රජයේ මූල්‍ය අවශ්‍යතාවට වඩා අඩු වටිනාකමකට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය පොළී වියදම් අඩු කරගත හැකි බවත් කී රාජ්‍ය ණය අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා, එම තත්ත්වය හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවට වඩා අඩු වටිනාකමකට සෑම විටකම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නේ යැයිද කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට ඇත.
කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරත්චන්ද්‍ර මහතා මෙසේද කීය.
“අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව 1986 වර්ෂයේදී සහකාර ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අංශයට මා සම්බන්ධ වුණා. එදා සිට අද දක්වා විවිධ තනතුරු දරමින් මා එහි විවිධ අංශවල සේවය කළා. මා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා සමථ කිරීම් අංශයේ, අභ්‍යන්තර මෙහෙයුම්, සංඛ්‍යාලේඛන අංශයේ, ජාත්‍යන්තර මෙහෙයුම්, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ආදී විවිධ අංශවල රාජකාරි කළා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිපතිවරිය ලෙස සෙනෙවිරත්න මහත්මිය කටයුතු කරන සමයේ 2015 සැප්තැම්බර් මස 28 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධිපතිවරයා ලෙස සේවය කළා. 2016 මාර්තු මස 21 වැනිදා දක්වා වැඩබලන අධිපතිවරයා ලෙස රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවය කළ මා එදින සිට එම පත්කිරීම ස්ථිර කළා.
බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමේ ලේඛන, බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත නිකුත් කරන නිවේදන ඇතුළු සියලු ලේඛන සාක්ෂිකාර බුද්ධික සරත්චන්ද්‍ර මහතා කොමිසම වෙත ඉදිරිපත් කළ අතර, එහි පිටු 2500 ක පමණ ලේඛන අඩංගු විය.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගන්නා තීරණයට විරුද්ධ තීරණයක් ගැනීමට ටෙන්ඩර් මණ්ඩලයට හැකියාවක් තියෙනවාද?
පිළි. ඔව්. එය සාමාන්‍ය තත්ත්වයක්
ප්‍ර. ඒ කාලයේ රජයට විශාල ණය අවශ්‍යතාවක් තිබුණද?
පිළි. ඔව්. භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් රජයට අවශ්‍ය කරන මුදල් ලැබෙනතුරු කෙටිකාලීන ක්‍රම මගින් රජයට අවශ්‍ය කරන මුදල් සොයාගැනීමට කටයුතු කරනවා.
රජයට තිබූ ණය අවශ්‍යතාව හේතුවෙන් 2015 ඔක්තෝබර් මස 30 වැනිදා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වූවා. ඉන්පසු 2015 නොවැම්බර් මස 27 වැනිදාත්, 2015 දෙසැම්බර් මස 18 වැනිදාත් බැඳුම්කර නිකුත් කිරීම් සිදු කළා.
ශ්‍රී ලංකා යුද හමුදාවට හා ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍යව තිබූ මුදල් ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාදෙන ලෙස දැනුම් දී තිබුණා. යුද හමුදාවට හා නාවික හමුදාවට රුපියල් බිලියන 25 බැගින් රුපියල් බිලියන 50 ක මුදලක් අවශ්‍යව තිබුණා. ඒ මුදල් බැඳුම්කර නිකුතුවක් මගින් ලංකා බැංකුවෙන් සපයාගැනීමට ක්‍රියා කළා. ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍යව තිබු මුදලුත් ඒ ආකාරයෙන්ම සපයා ගැනීමට ක්‍රියා කළා.
ප්‍ර. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලංසු ගැන ටෙන්ඩර් මණ්ඩලය විසින් කටයුතු කරන අවස්ථා තියෙනවාද?
පිළි. තියෙනවා.
මේ අවස්ථාවේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීම්වලට අදාළ ලේඛන ඇතුළත් පිටු 1500කින් පමණ යුතු ලේඛන ගොනුවක් කොමිසම වෙත ඉදිරිපත් කෙරිණි.
ප්‍ර. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් වසර 30 ක කාලයකින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීම් කරනවාද?
පිළි. ඔව්.
ප්‍ර. 30ක කාලයකින් කල් පිරෙන පරිදි මහ බැංකුව අවසන් වරට බැඳුම්කර නිකුත් කිරීමක් කළේ කවදාද?
පිළි. 2015 පෙබරවාරී 27 වැනිදා
ප්‍ර. බැඳුම්කර නිකුත් කිරීමේදී වෙෙළඳ පොළ මිල තීරණය කරන්නේ කවුද?
පිළි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍ය කාර්යාලය විසින් බැඳුම්කර ගනුදෙනුකරුවන්ගේ තොරතුරු දිනපතාම රැස්කරනවා. ඒ අනුවයි වෙළෙඳ පොළ මිල තීරණය කරන්නේ.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. වසර හතරයි මාස 10කින් කල් පිරෙන පරිදි නිකුත් කළ බැඳුම්කර නිකුත් කිරීම් සඳහා අනුමැතිය ලබා නොදී සිටීමට ටෙන්ඩර් මණ්ඩලය කටයුතු කළාද?
පිළි. ඔව්.
ප්‍ර. එම බැඳුම්කර නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් පත්‍ර කීයක් ඉදිරිපත් කොට තිබුණද?
පිළි. ටෙන්ඩර් පත්‍ර 20 ක් ඉදිරිපත් කොට තිබුණා.
ප්‍ර. එම ටෙන්ඩර් පත්‍ර 20ටම අනුමැතිය දී තිබුණේ නැද්ද?
පිළි. නැහැ. ටෙන්ඩර් පත්‍රිකාවේ අගය %‘0’ (බිංදුව) ලෙස සඳහන් කොට තිබුණා.
මේ අවස්ථාවේදී සාක්ෂිකරුට අදාළ ටෙන්ඩර් පත්‍රිකාව පෙන්වා සිටී.
ප්‍ර. 2016 මාර්තු මාසය වනවිට මූල්‍ය ප්‍රවාහ ලේඛනය අනුව රජයට කොපමණ මුදලක් අවශ්‍ය වී තිබුණාද?
පිළි. රුපියල් මිලියන 108,926 ක මුදලක් අවශ්‍ය වී තිබුණා.
ප්‍ර. ඒ බව කිසියම් තැනක සඳහන් වී තිබුණාද?
පිළි. ඔව්. 2016 පෙබරවාරි මස 16 වැනිදා වෙන්දේසි පත්‍රයේ සඳහන් වී තියෙනවා.
ප්‍ර. මෙම මුදල් ප්‍රවාහ ලේඛනය සකස් කොට ඇත්තේ කවුද?
පිළි. දේශීය ණය කළමනාකරණ කමිටුවේ විශ්ලේෂණයකින් අනතුරුව මෙම මුදල් ප්‍රවාහ ලේඛනය සකස් කොට තියෙනවා.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. මහ බැංකුවේ ණය ඉපැයුම් පත්‍රය අනුව ඉපැයිය යුතු මුළු ණය මුදල කොපමණද?
පිළි. බිලියන 18 ක්
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. ඉපැයිය යුතු මුළු ණය මුදල රුපියල් බිලියන 18 ක් වුවත් ටෙන්ඩර් නිකුත් කොට ඇත්තේ රුපියල් බිලියන 08 ක මුදලකට නේද?
පිළි. ඔව්.
ප්‍ර. 2016 මාර්තු මස 10 වැනිදා ඉදිරිපත් කොට තිබූ භාණ්ඩාගාර වෙන්දේසියට මිල අයදුම් පත්‍ර ඉදිරිපත් කොට තිබුණාද?
පිලි. ඔව්
ප්‍ර. එලෙස ඉදිරිපත් කොට තිබූ මිල අයදුම් පත්රවලට මොකද වුණේ?
පිළි. ඒ සියලුම මිල අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වුණා.
ප්‍ර. ඒ ඇයි?
පිළි. ඒ වනවිට තිබූ 11.8 ක පොළී අනුපාතය 9.5 ක් දක්වා අඩුවිය යුතු බව රාජ්‍ය ණය කළමනාකරණ කමිටුව විසින් නිගමනය කිරීම නිසා ඉදිරිපත් කොට තිබූ සියලුම මිල අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කළා.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. 2016 මාර්තු මස 10 වැනිදා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කොපමණ මුදලක් ඉල්ලුම් කර තියෙනවාද?
පිළි. රුපියල් බිලියන 06 ක්.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. 2016 මාර්තු මස 10 වැනිදා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව කොපමණ මුදලක් ලැබී තියෙනවද?
පිළි. රුපියල් බිලියන 4.8 ක්.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - ඒ සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තියෙනවාද?
පිළි. ඔව්.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා -
ප්‍ර. ඉතිරි ණය මුදල් උපයාගැනීම සඳහා රජය ගත් පියවර කුමක්ද?
පිළි. 2016 මාර්තු මස 11 වැනිදා වනවිට රජයට ඇමෙරිකානු ඩොලර් 144 ක (රුපියල් බිලියන 54 ක පමණ) මුදලක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට අපි පියවර ගත්තත්, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ මුදල් සොයාගැනීමට අපට නොහැකි වුණා.
2016 මාර්තු මස 17 වැනිදා රුපියල් බිලියන 07කට අධික මුදලක් භාණ්ඩාගාර බිල්පත් මගින් සොයාගැනීම සඳහා ජාතික පුවත්පත්වල දැන්වීමක් පළ කළා.
රජයේ අවශ්‍යතාවට අනුව විශාල ණය මුදල් ප්‍රමාණයක් අයදුම් කරනු ලැබුවහොත් පොළී අනුපාත ඉහළ යනවා. ඒ අනුව ප්‍රාථමික වෙළෙඳුන් විසින් දෙවැනි වරට කරනු ලබන අලෙවියේදීද පොළී අනුපාත ඉහළ යනවා. ඒ අනුව රජයේ අවශ්‍යතාවට වඩා අඩුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කොට ඉතිරි මුදල් අවශ්‍යතාව සඳහා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට අපි තීරණය කළා.
ණය පොලී තත්ත්වය බොහෝ ඉහළ ගියහොත් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරන ආයෝජකයන් අපේ කොටස් වෙළෙඳ පොළ අතහැර වෙනත් රටවල කොටස් වෙළෙඳ පොළවලට යා හැකියි. ඒ නිසා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරන ආයෝජකයන් ආකර්ෂණය කරගන්නා අන්දමේ පොළී තත්ත්වයන් පවත්වාගෙන යා යුතුයි.
ප්‍ර. ආයෝජකයන් ආකර්ෂණය කරගන්නා අන්දමින් පවත්වාගත යුතු පොළී අනුපාතය කොපමණද?
පිළි. රුපියල් බිලියන 10 සීමාව තුළ එය පවත්වාගත යුතුයි.
ප්‍ර. ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට පොළී අනුපාත හැර වෙනත් ක්‍රම අනුගමනය කරනවාද?
පිළි. ඔව්. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ක්‍රම නිරන්තරයෙන් වෙනස් කරනවා.
ප්‍ර. 2016 මාර්තු මාසය වනවිට රජයේ මුදල් අවශ්‍යතාව කොපමණද?
පිළි. රුපියල් බිලියන 108.9 ක්
ප්‍ර. ඒ මුදල් සොයාගැනීම සඳහා ඔබ ගත් පියවර කුමක්ද?
පිළි. බැඳුම්කර වෙන්දේසි තුන හතරකින් එම මුදල් සොයාගැනීමට මා කටයුතු කළා.
ප්‍ර. බැඳුම්කර වෙන්දේසි තුන හතරකින් ඔබ සොයාගත් මුදල කීයද?
පිලි. රුපියල් බිලියන 26 යි.
ප්‍ර. ඉතිරි මුදල් සොයාගැනීමට ඔබ මොනවද කළේ?
පිළි. පළමු වරට නිකුත් කළ සංවර්ධන ණය මගින් රුපියල් බිලියන 26ක්ද, දෙවැනි වරට නිකුත් කළ සංවර්ධන ණය මගින් තවත් රුපියල් බිලියන 26ක්ද සොයාගැනීමට කටයුතු කළා.
ප්‍ර. 2016 අප්‍රේල් වනවිට රජයේ සම්පූර්ණ ණය අවශ්‍යතාව කීයද?
පිළි. රුපියල් බිලියන 172,373 ක්
ප්‍ර. ඒ සඳහා ප්‍රසිද්ධියක් ලබාදීමට ඔබ ආයතනය පියවර ගත්තාද?
පිළි. ඔව්. පුවත්පත් දැන්වීම් මගින් ඒ බව ප්‍රසිද්ධියට පත් කළා.
ප්‍ර. එම ණය අවශ්‍යතාව සපුරා ගැනීමට යෙදූ ක්‍රමය කුමක්ද?
පිළි. භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන ණය ආදිය මගින් එම මුදල් උපයා ගැනීමට අපි කටයුතු කළා. ඒ වෙනකොට රජයේ අවශ්‍යතාව අනුව විශාල මුදලක් මහා භාණ්ඩාගාරයට අවශ්‍ය වී තිබුණා. මහා භාණ්ඩාගාරය මෙන්ම මහ බැංකුව ලෙස අපිත් විශාල මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටියා. 2016 අප්‍රේල් වනවිට රජයට රුපියල් බිලියන 105 ක් අවශ්‍ය වී තිබුණා. ඒ බව මා මෙන්ම මාගේ ඉහළ නිලධාරීන්ද දැනගෙන හිටියා. එදාටත් වඩා දැඩි මුදල් අවශ්‍යතාවක් මේ වනවිට තියෙනවා. රජය මේ වනවිට එදාටත් වඩා මූල්‍ය අවශ්‍යතාවකට මුහුණදී සිටිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම අද (08දා) වැඩිදුරටත් සිදු කෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර, රජයේ නීතිඥ ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සාක්ෂි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහාය ලබාදෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd