පැරණි සිරිලක ජවසම්පන්නය. එඩිතරය. නිර්භය සිංහල ජාතියේ නිජ බිම ලෙස ප්‍රෞඪ ඉතිහාසයකයට උරුමකම් කියන එය එදවස අපූර්ව දිවයිනක් වූ බැව් අවිවාදිතය. වර්තමානයේ මෙසේ සටහන් තබන අපද, එවන් දිගු අපූරු ඉතිහාසයකට නෑකම් කියන්නට හැකි මිනිසුන් වීම සැබෑවටම ආඩම්බරයට නිමිති නොවේද? එදා හෙළදිව පැවැති කලා ශිල්ප ආදී බොහෝමයක් උරුමයන් අදට සාපේක්ෂව ඉතා පිරිසුදු තත්ත්වයක පැවති අසහාය නිර්මාණයන් බැව් කිවහැකිය.
දීර්ඝ අතීතයක් සහිත හෙළ යුද කලාවක් මෙබිම සතු වූ අතර, සටන් ශිල්ප පුරුදු පුහුණු කළ රණකාමී මිනිසුන් එය සිය මව්බිමෙහි උන්නතිය උදෙසා යොදාගත් අයුරු ඉතිහාසය විමසා බැලීමේදී දත හැකිය. එහෙත් අවාසනාවකට මෙන් වර්තමානයේ වෙසෙන ලාංකිකයන් අතුරින් ඉතිහාස ගවේෂණයට රුචි වූවන් අල්පය. බහුලවම වෙසෙන්නේ සිය මුතුන්මිත්තන්ගේ අභීත රණකාමීත්වය පිරි ඉතිහාසය පිළිබඳ දැනීමක් හෝ හැඟීමක් නොමැති, ඕනෑම මොහොතක විජාතිකයන්ට හිස නැමීමට සූදානම් මිනිසුන් බැව් කීම සදොස් නැත.
'අංගම්පොර' වූ කලී ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සටන් ශාස්ත්‍රය පමණක් නොව එය ස්වදේශික උරුමයක් වශයෙන් අතිශය වැදගත් බවක් උසුලන්නකි. ශතවර්ෂ ගණනාවක දිගු ඉතිහාසයකට උරුමකම් කියන වර්තමානයේදී ජීවමානව පවතින මෙම සටන් කලාව එකම පැරණි හෙළ යුද කලාවද වන්නේය.
මෙම සටහන සැකසෙන්නේ අංගම්පොර හා බැඳි මඩු විශේෂයක් වන 'රණ මඩු' පිළිබඳවය. ගම්මඩු, දෙවොල් මඩු, මල් මඩු, කවි මඩු, කෝලම් මඩු ආදී වශයෙන් අසා තිබුණද බහුතරයක් දෙනා 'රණ මඩු' පිළිබඳ අසා නැතුවාට සැකයක් නැත. විවිධ විෂයයන් ඇසුරේ නිර්මාණය වී පැවත ආ මඩු සම්ප්‍රදායන් අතීතයේ සිට මෙරට පැවැති අතර, දේශීය සටන් කලාව පිළිබඳ නිර්මාණය වූයේ 'රණමඩු'වය. වසර ගණනාවකට පළමු විදේශීය බලාධිකාරිය හමුවේ තහනමට ලක්ව යටපත්ව ගිය රණමඩු සම්ප්රදාය පිළිබඳ ඉතිහාසය ගැඹුරින් විමසා බලන්නෙකුට විනා තොරතුරු හමුවීමේ ඉඩකඩක්ද නැත. මේ ලියැවෙන්නේ වසර 198කට පසුව පළමු වරට මෙරට පැවැත්වූ හෙළ සම්ප්‍රදායානුකූල රණමඩුවක අසිරිය පිළිබඳවය.
වසර දශක ගණනක දිගු විරාමයකින් පසුව මුල් වරට මෙකී රණමඩුව පැවැත්වුණේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ අපේගම පරිශ්‍රයේදීය. බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ මූලිකත්වය සහිතව මෙම රණමඩුව යළි පවත්වන්නට කටයුතු කළේ කඩුවෙල කොරතොට ආරච්චි අංගම් සටන් පරපුරෙහි වත්මන් නියෝජනය වන අංගම් සටන් ශිල්පී දේශමාන්‍ය, ආචාර්ය අජන්ත මහන්තආරච්චි මහතා විසිනි.
පැරණි සටන්කරුවන් රණමඩු පවත්වන්නට යෙදුණේ විශේෂ අවස්ථාවලදීය. එනම් එදවස යුද ජයග්‍රහණවලින් අනතුරුව ජය සැමරුම් උදෙසාය. රජු හා සෙන්පතියන්, හේවායන් ආදීන් රැස්ව සිදුකළ ප්‍රීති උත්සව, නැකැත් කෙළි හා නිරව් කෙළි නමින් පැවැති අතර, ඒවා සිදු කළ කෙළිමඩුව, 'රණ මඩුව' නිර්මාණය වන්නට මූලික විය. පසුව හෙළ රාජධානිවල හටන්කරුවන් එකිනෙකාට නොදෙවෙනි අන්දමින් සිය රණකාමීත්වය ප්‍රදර්ශනය කළ අපූරු ශිල්ප දැක්මක් සිදු කළ ස්ථානයක් දක්වා රණමඩුව විකාශය විය.
මෙය වර්ෂයක් පාසා සිදුකළ අතර, රණබෙර, රණ ගී, ප්රශස්ති ගායනා ආදිය මෙහිදී දැකිය හැකි විය. හෙළ සටන් ශිල්පීන් දිනෙන් දින තමා තුළ වර්ධනය කරගත් ශිල්ප දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මෙන්ම රණරාවණයන් ඇතුළු නෑ යකුන් පිදීමේ ශාන්තිකර්මය වැනි සුවිශේෂී අංග රණමඩුව තුළ පැවතුණි. හෙළ සටන් කලාව තුළ ඉහළම උත්සව අවස්ථාවක් ලෙස රණමඩුව පැවැත්විණි. මෙසේ සම්ප්‍රදායානුකූල ලෙස පැවත ආ රණමඩුව යටපත්ව යන්නේ වර්ෂ 1818 ඔක්තෝබර් මස 08 වැනිදා බ්‍රිතාන්‍ය පාලනය හමුවේ පනවන ලද අංගම් සටන් තහනමත් සමගය.
අංගම් සටන් ශාස්ත්‍රයට එල්ල වූ මෙවන් අභියෝග හමුවේ මෙම ශිල්පය යටපත්ව ගියද, හෙළ සටන්කරුවන්ගේ අභීත කැපවීම මත මෙම සටන් කලාව මියෙන්නට නොදී අද දක්වාත් රැකගැන්මට හැකියාව ලැබී ඇත. එක් සමයක නර්තන ශිල්පය තුළ සඟවා, මෙම අංගම් ශාස්ත්‍රය රැකගත් බැව් කියැවේ. රණ මඩුව සම්බන්ධයෙන් ගත් කල, ඉතා කුඩා මට්ටමෙන් 'ගෝදා මඩුව' නමින් රණමඩුව පවත්වාගෙන ඒමට ඇතැම් පිරිස් උත්සාහ කළද එය අසාර්ථක වී රණ මඩුව අභාවයට ගොස් තිබේ.
වසර 198කට පසුව රණමඩුව පුනර්ජීවය ලබන්නේ 2016 වසරේදීය. කඩුවෙල කොරතොට ආරච්චි අංගම් සටන් පරපුරේ වර්තමානිකයන් විසින් පැවැත්වූ මෙම රණමඩුවේ ඔවුන්ගේ පාරම්පරික උරුමයක් සේ ගැනෙන සීතාවක රාජසිංහ රජුන් වෙතින් ලද අසිපත වැඩවීමේ අවස්ථාවද දැකගත හැකි විය.
තවද යහන් දැක්ම ශාන්තිකර්මය, රණමුරේ හරඹය වැනි සාම්ප්‍රදායික අංගද පැවැති අතර, අද වනවිට වයෝවෘද්ධ තත්ත්වයෙහි පසුවුවද පැරණි සටන් ශිල්පීන් විසින් සම්ප්රදාය ගරු කරමින් ඉදිරිපත් කළ 'ගුරු අඩිය'ද මෙහිදී සුවිශේෂී විය. එසේම විවිධ ආයුධ වර්ග භාවිතයෙන් සිදුකළ සටන් හරඹ රාශියක්ද, ආකර්ෂණීය ලෙස පැවැති ගිනිකෙළි දැක්මක්ද මෙම රණමඩුව තුළ දක්නට ලැබුණු අතර, සුලබව දක්නට නොලැබෙන 'ටැරැක් හරඹ' ආදියද විය. සටන්කරුවන්ගේ ශක්තිය උරගා බැලෙන මෙවන් ශිල්ප දැක්වීම බොහොමයක් රණමුඩව වර්ණවත් කරමින් පැවැති අතර, ගුස්ති හරඹ, නර්තන අංග, රාවණ බලිය, රාවණා ස්තෝත්ර ආදී වූ සාම්ප්‍රදායික ආකර්ෂණීය අංග රැසකින් රැස්ව සිටි පිරිසි වශීකෘතව හුන් වගට සැකයක් නැත.
අද වනවිට ජීවමානව හිඳින පාරම්පරික සටන් ශිල්පීන් රැසකගේ සහභාගිත්වය මෙන්ම ශිල්ප දැක්වීමද මෙහිදී සිදු වූ අතර, මෙම නව රණමඩුව 1818 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් අංගං සටන් කෙරෙහි පනවන ලද තහනම ඉවත් කරදෙන මෙන් ඉල්ලා වත්මන් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරනු වස් සන්නස් පත්‍රයක් සැකසීමද සිදු විය.
දිගු ඉතිහාසයක් සහිත ප්‍රබල දේශීය සටන් කලාවක් ලෙස අදටද ජීවමානව පවතින අංගම් සටන් කලාව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක්, පාලකයන් විසින් යොමුකරනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිදුකළ මෙම කටයුත්ත අනාගතයෙන් කළඑළි බසින හෙළ සටන්කරුවන් උදෙසාද, හෙට දිනයේ උන්නතිය උදෙසාද කැපවූ වර්තමාන සිංහල හටන්කරුවන්ගේ ධෛර්යයේ ප්‍රතිඵලයක් බවද කිව යුතුය.
ප්‍රබල දීර්ඝ යුද අතීතයක් සහිත දේශයක උරුමයන් සුරැකීම උදෙසා සිය අද දවස වැය කරන කොරතොට ආරච්චි අංගම් සටන් පරපුරේ අජන්ත මහන්තආරච්චි මහතාට මෙහිදී විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.
හසිතා ලියනගේ