Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමෙන් ජනතාව අපේක්ෂා කළේ නැවත රට තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම, දූෂණය හා වංචා පිටුදැකීම, ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම සහ රටට යහපාලනයක් ගෙන ඒමයි. නමුත් දැන් සිදු වී ඇත්තේ දිනෙන් දින රට අරාජිකත්වය කරා ගෙන යාම පමණයි.
රටෙහි සියලු ක්ෂේත්රයන් තුළ ඇත්තේ කඩා වැටීමක් පමණයි. මේ නිසාම රට යන දිශාව සහ වර්තමාන ආණ්ඩුවේ ඇති අඩුපාඩු ගැන සාකච්ඡා කිරීමට ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
යහපාලනය උදාකරන බවට දුන් පොරොන්දු සියල්ලම පාහේ ඉතාම සාහසික ලෙස උල්ලංඝනය කර තිබෙනවා
පසුගිය ආණ්ඩුවේ තිබුණ වැරදි නිසාම තමයි වත්මන් ආණ්ඩුවට යහපාලනය යන තේමාව නිර්මාණය කරගන්න හැකි වූයේ. මගේ දැනීම හැටියට යහපාලනය වැනි සංකල්ප බටහිර රටවලින් අපේ රටවල් මතට පටලවලා තිබෙන, අපේ රටවල්වල අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට නිර්මාණය කළ අදහස්. මේ අදහස් ඇතිව ආ යහපාලන බළකාය 2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා.
2015 අගෝස්තු 17 වෙනිදා මහ මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් ලබා ගත්තා. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැද ඒ පක්ෂයට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයෙන් මන්ත්‍රී ධූර අරගත් පසුව ඒ ජනතාව සමග කිසිදු සංවාදයක් නොකොට සම්මුති ආණ්ඩුවට එකතු වු පිරිසත් සමග තමයි ආණ්ඩුව ස්ථාපනය කළේ.
එසේ ස්ථාපනය කරලා දැන් ගත වී ඇති කාලය අවුරුදු දෙක හමාරකටත් වැඩියි. මේ කාලය තුළ මගේ දැනීමට නම් රජයට කරන්න පුළුවන් වෙලා තිබෙන සාධනීය දේ අතර තිබෙන්නේ ඛණිජ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කිරීම සහ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පමණයි. ඒ හැරුණු විට යහපාලනය උදාකරන බවට දුන් පොරොන්දු සියල්ලම පාහේ ඉතාම සාහසික ලෙස උල්ලංඝනය කර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිවුරුම් දී විනාඩි 5ක් ඇතුළත ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිවුරුම් දී විනාඩි 5ක් ඇතුළත ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙකු පමණක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත්කරනවා. ව්‍යවස්ථාවේ හැටියට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මෙයට ඔහු නිදහසට කරුණු කීවත් එහි කිසිම වලංගුභාවයක් නැහැ.
ඔහුව අගමැති ධුරයට පත්කරන විට මේ රටේ අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් සිටියා. ඔවුන්ව ඉවත් කිරීමත් සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්.
ඉන්පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ පත් කළ අග්රවිනිශ්චකරුව ජනාධිපති ලේකම්ගේ එක චිට් එකකින් ඉවත් කරනවා. ලෝකයේ කිසිම රටක මන්ත්‍රණයකින් බලයට පත්වුණ හමුදා ආණ්ඩුවක් ඇති රටක හැර වෙනත් රටක මේ දේවල් සිදුවෙනවාද කියා සාක්ෂියක් නැහැ.
රජය පැහැදිලිව දන්නවා ඡන්දයකට ගියොත් තමන් පරදින බව
මේ වනවිට අවුරුදු දෙක හමාරක් තිස්සේ පළාත් පාලන ආයතනවල ඡන්ද කල් දමා තිබෙනවා. දැන් පළාත් සභාවල ඡන්දය පවා කල් දැමීමේ ප්රයත්නයක් පැහැදිලිව දකින්න තිබෙනවා. පනතක් ගෙනල්ලා ගැසට්කර තිබෙනවා. එහිදී මොවුන් සමාජයට ඉදිරිපත් කරන්නේ බොහොම යහපත් හේතු. හරියට යක්ෂයා දේව වාක්‍ය උපුටා දක්වනවා වගේ. ඒ වගේම පසුගිය රජය පළාත් සභා ඡන්ද පැවැත්වුවේ කඩින්කඩ. තමන් කැමති වෙලාවට තෝරගෙන.
ඒ කළෙත් අයහපත් අරමුණක් ඇතිව. රාජ්‍ය බලය සංකේන්ද්‍රණය කරලා ඒ සභාවල බලය දිනා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා. නමුත් ඒ වැරැද්ද නිවැරදි කිරීමට කළ යුත්තේ මේ විදියට වංචනික ආකාරයෙන් පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම කල් දැමීම නොවේ. පළාත් සභා ඡන්දය පැවැත්වීමෙන් රටට වාසි සහගතයි.
රාජ්‍ය පාලනය අවුල් වීම බෙහෙවින් අඩු මට්ටමකට වැටෙනවා. වෙන නාස්තියට වැට බැඳීමක් සිද්ධ වෙනවා. දූෂණයට ඇති ඉඩකඩ ඇහිරෙනවා. නමුත් අවසානයේදී සිද්ධ වූයේ ඒ යහපත් චේතනාව ප්‍රදර්ශනය කරමින් ඡන්ද විමසීම කල් දැමීමයි.
රජය පැහැදිලිව දන්නවා ඡන්දයකට ගියොත් තමන් ජනවාරි 8 සහ අගෝස්තු 17 දී ප්‍රතිඥා ඉටු නොකළ නිසා, විශාල වශයෙන් සමාජය අවුල් වී තිබෙන නිසා, අරාජික ස්වභාවයක් ඇති වී තිබෙන නිසා තමන් පරදින බව. ඒ නිසා තමන්ට යහපත් තත්ත්වයක් උදා වෙනකල් ඡන්දය කල් දමනවා.
වත්මන් රජය බලයට පැමිණ කළේ රටේ ත්‍රස්තවාදය පරාජය කිරීම, යුද අපරාධ සිදුකළා කියන දේ භාර ගත්තා
මම දකින්නේ යහපාලනයක් ඇතිකරනවා කියපු පොරොන්දුව සාහසික ලෙස කඩකර තිබෙනවා. රටට ඉතාම අහිතකර තීරණ, ප්‍රතිපත්ති අරගෙන තිබෙනවා. සාමාන්‍ය ජනයාගේ සමහර දේවල් ගැන ඔවුනට අවබෝධයක් පවා ඇත්තෙ නැහැ. මේ රට අවුරුදු 30ක් තිස්සේ ත්‍රස්තවාදී භීෂණයකට මුහුණ දී සිටියා. මිනිසුන්ට පාරේ යන්න බැරි වාතාවරණයක් තිබුණා.
පසුගිය පාලන සමයේදී එය අවසානයකට ගෙන ආවා. ඒ කාරණය මුල් කරගෙන ලෝකයේ අධිපති රාජ්‍යයන් එකතුවෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රයෝජනයට ගනිමින් ලංකාවට දඬුවම් කිරීමේ ක්‍රියාදාමයකට යොමු වුණා. ඔවුන් කියනවා ලංකාවේ හමුදාව යුද අපරාධ කර ඇති බවට. කුමන අඩුපාඩු වැරදි තිබුණත් පසුගිය රජය ඒ චෝදනාවලට එරෙහිව නැඟී සිටියා.
ඒවා භාරගත්තේ නැහැ. මේ චෝදනා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය වැනි බලවත් රාජ්‍යයන්ගේ ඒකපාර්ශ්වික විමර්ශන මත පදනම් වෙලා. එහෙම නැතිව සාධාරණ විමර්ශන මත පදනම් වී නොවේ. වත්මන් රජය බලයට පැමිණ කළේ රටේ ත්‍රස්තවාදය පරාජය කිරීම, යුද අපරාධ සිදුකළා කියන දේ භාර ගැනීමයි.
ඒ දේ පිළි අරගෙන ජනතාවට කියනවා අපි ජිනීවා කරච්චලය නැවැත්වූවා කියා. බලවත් රටවලින් එල්ලවෙන්න තිබුණු සම්බාධක අහෝසි කළා කියා. නමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ තර්ජනය අහෝසි කළා නෙමේ ඒ බලහත්කාරකම කැමැත්තෙන් පිළිගත්ත එක. මෙහිදී මහින්ද සමරසිංහ ඇමතිවරයා රට පුරා කියවගෙන යනවා ජීනිවා ප්රශ්නය ජයගත්තා කියලා.
ඇත්ත වශයෙන්ම වුණේ අපි යුද අපරාධ කළා කියා වැලඳ ගත් එක පමණයි. තමන්ව මරන්න එන පුද්ගලයාට තමන්ව මරන්ව කියා ඉඩ දුන්නා. ඒකෙ ප්‍රතිඵලය තමයි පසුගිය සති දෙක තුනකට කලින් ලංකාවට එනවා එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදනෙක්. ඔවුන් ලංකාවට තර්ජනය කරනවා යුද අපරාධ කළ බවට. එහෙම තර්ජනය කිරීමක් ඔවුන්ට සිදුකරන්න බැහැ.
ඒ වගේම අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන්න කාර්යාලයක් පිහිටුවන්න කටයුතු කළා. ඒ ගැන සොයා බැලීමේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. දැනටමත් ඒ සඳහා නීති තිබෙනවා. නමුත් ආණ්ඩුව බටහිර බලවතුන්ගේ, ලෝකය පාලනය කරන අධිපති බලවතුන්ගේ නිර්දේශය අනූව අතුරුදන් වූවන් පිළිබඳ සොයන්න කාර්යාලයක් පිහිටුවන්න පනතක් ඉතාම කඩිමුඩියේ සම්මත කර ගත්තා.
මේ පනත කියවලා බැලුවොත් පැහැදිලි වේවි එය මේ රටේ ආරක්ෂාවට, ස්ථාවරත්වයට, ස්වෛරීභාවයට අතිශය හානිකර වගන්ති ඇතුළත් පනතක්. ඒ පනතෙන් ආණ්ඩුව උත්සාහ කළේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය පිළිඅරගෙන එය මේ රටේ නීතියක් බවට ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි.
මේ රජය බලයට පත්වීමේදී පැවසුවේ රට දියුණු කරනවා, සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කරනවා, ආර්ථික ප්රතිලාභ සාධාරණ විදියට බෙදී යන ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. නමුත් ඒ වෙනුවට රටේ සම්පත් විදේශීය ධනවතුන්ට ඉතාම අඩු මිලට නොයෙක් ආකාරයෙන් පවරා දෙමින් සිටිනවා. මේ ගමනේ අවසානය මේ රටේ ස්වාධීනත්වය, ආර්ථික ස්ථාවරභාවය, සමගිය මේ සියල්ල කඩා වැටෙන තැනකට පත් වෙනවා.
ආණ්ඩුව බලයට එන්න පෙර කීවා හම්බන්තොට වරාය කියන්නේ සුදු අලියෙක් කියලා. එතකොට සුදු අලියෙක් ඩොලර් කෝටි 120ක් පමණ ගෙවලා මිලදී ගන්න තරම් විශේෂ යමක් තිබෙනවාද?
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම රටට හානි කරනවා. එහිදී රටේ ජනතාවට ආණ්ඩුව කියන තර්ක සහ සංඛ්‍යා පිළිබඳ බරපතළ සැක තිබෙනවා. මොවුන් කියනවා හම්බන්තොට වරාය බදු දෙන්න සිදු වුණේ අධික ණය බර උසුලගන්න බැරි නිසා කියලා. නමුත් මේ රජය බලයට පැමිණි පසුවත් විශාල වශයෙන් ණය අරගෙන තිබෙනවා.
ණය නිසා නම් වාරාය විකුණන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට තිබුණා ඒ ගන්නා ණය ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම මේ ආණ්ඩුව බලයට එන්න පෙර කීවා හම්බන්තොට වරාය කියන්නෙ සුදු අලියෙක් කියලා. එතකොට සුදු අලියෙක් ඩොලර් කෝටි 120ක් පමණ ගෙවලා මිලදී ගන්න තරම් විශේෂ යමක් තිබෙනවාද? එහෙම ගත්තනම් එහි තේරුම අනාගතයේදී මේ වරායෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක.
ලෝකයේ ධනවත් වූ කිසිම රටක් නැහැ තමන්ගේ සම්පත් අනුන්ට විකුණලා ඒ තැනට ආපු. තමන්ගේ ආර්ථිකය දේශීය, විදේශීය ධනවතුන්ට රිසි සේ භුක්ති විඳීමට ඉඩ දීලා ඒ තැනට ආපු රටක් නැහැ. අද ආර්ථික වශයෙන් ඉහළ තැනක සිටින සෑම රටක්ම ඒ තැනට ළඟා වී තිබෙන්නේ තමන්ගේ රටේ තිබෙන සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසුව තමයි ඔවුන් වෙළෙඳ පොළට පිවිසෙන්නේ. ලෝක වෙළෙඳ පොළේ විශාල කොටසක් අත්කර ගන්නෙ.
මේ පිටුපස තිබෙනවා විවිධ මතවාද. ඒ තමයි 1977 දී බලයට පැමිණෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වා දුන් ආර්ථික මාදිලි. එය දේශපාලන විද්‍යාවේදී හඳුන්වනවා නව ලිබරල් ආර්ථික මාදිලිය කියලා. නව ලිබරල් මාදිලිය කියන්නේ ඇත්ත වශයෙන්ම නග්න ධනවාදය. නග්න ධනවාදයේ අරමුණ තමයි රටක තිබෙන්නා වූ සම්පත්වලින් සමාජයේ ඉහළ ස්ථරයට ලාභ ලැබෙන ආර්ථික ක්‍රමයක්.
නග්න ධනවාදයේ නූතන අනුවාදය තමයි නව ලිබරල්වාදය. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට එන්නේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ පැවති අසාර්ථකකම් ප්‍රයෝජනයට ගනිමින්. නමුත් ඔහු බලයට පැමිණ කළේ රට නිවැරදි කරනවා වෙනුවට මේ රටේ ජාතික ආර්ථිකය කෙමෙන් විනාශ වෙන, ධනවතුන්ට කොල්ල කෑමට ඉඩදෙන, විදේශිකයන්ට දොරකඩ විවෘත කරන ප්‍රතිපත්ති ගෙන ඒම.
ඔහු බලයට එද්දි මේ රටේ කර්මාන්ත සිය ගණනක් තිබුණා. ඒ සියල්ල ඉතා සාර්ථකයි කියා කියනවා නෙවෙයි. නමුත් කළ යුතුව තිබුණේ ඒ අඩුපාඩු නිවැරදි කොට ඒවා කාර්යක්ෂම ඵලදායී තැනකට ගෙන ඒම.
වත්මන් ආණ්ඩුව බෙදුම්වාදී කණ්ඩායම් වලට අවශ්‍ය ගමනක් යමින් සිටින්නේ
වත්මන් ආණ්ඩුවේ තවත් ප්‍රධාන මාතෘකාවක් තමයි ජාතික සංහිඳියාව ඇතිකිරීම. නමුත් වත්මන් ආණ්ඩුව බෙදුම්වාදී කණ්ඩායම්වලට අවශ්‍ය ගමනක් යමින් සිටින්නේ. ඒ අරමුණ සපුරා ගැනීම සඳහා අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. නමුත් මෙය ජනතාව ඉල්ලපු දෙයක් බවට නම් සාක්ෂි නැහැ.
ජනතාව පෙළෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. සෑම ක්ෂේත්රයකම විශාල කඩා වැටීමක් තිබෙනවා. ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා. අධ්‍යාපනය, ප්‍රවාහනය මේ සෑම අංශයකම කඩා වැටීමක් තිබෙනවා. ආණ්ඩුව බලයට එද්දි ගත්ත ප්‍රධාන ආයුධයක් තමා පසුගිය ආණ්ඩුවේ දූෂණ. ඉතාම ප්‍රහාරාත්මක ලෙස කිව්වේ පසුගිය ආණ්ඩුවේ සියලුදෙනා හොරු කියලා.
නමුත් බලයට පැමිණි ආණ්ඩුව දිවුරුම් දී මාසයක් යන විට ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් වී තිබුණා. එවැනි මහා අවුල්, ව්‍යාකූල රටක තිබෙන වෙලාවක ඒ ප්‍රශ්නවලට විසඳුමක් දෙනවා වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් හැදීමට කටයුතු කරනවා. රටකට ව්‍යවස්ථාවක් අවශ්‍යයි.
නමුත් එය කළයුතු වන්නේ යහපත් ආර්ථිකයක්, සමාජයක් සකස් කරමින් ඊට සමගාමීවයි. ඒ සියල්ල අවුලකට ගිහින් තිබෙන අවකාශයක මේ සකස් කරන්නට යන ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන දැනගන්න ලැබෙන ආරංචි අනුව රට අස්ථාවර කරන ව්‍යායාමයක් දකින්න තිබෙනවා.
මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස රට ආර්ථික වශයෙන් පරිහානියට ගිහින්, ජනතාවගේ ජීවත් වීමේ අවකාශය බරපතළ ලෙස අවම කරමින්, ධනවත් රටවලට අපේ රටට ඇඟිලි ගැසීමට ඉඩකඩ විවෘත කරමින් සහ බෙදුම්වාදය ඇති කරමින් තමන්ගේ අරමුණු ඉටුකර ගන්න තත්ත්වයට වැටී තිබෙනවා.
එවැන්නක අවසාන ප්‍රතිඵලය විය හැක්කේ සාමය කඩවීම්, ජන කොටස් අතර අවුල් වියවුල් ඇති වී හිංසන ක්‍රියා හට ගැනීම් තමයි. මේ නිසා මේ වැරදි ඉක්මනින් ඉවත් කරගත යුතුයි.
එය කළ හැක්කේ වහසි බස් දෙඩීමෙන් නෙවෙයි. එය කළ හැකි වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමෙන්, පොරොන්දු වූ පරිදි ප්රජාතන්ත්රවාදී ලෙස පාලනතන්ත්‍රය පවත්වාගෙන යාමෙන් සහ ගොඩනගන ආර්ථිකයේ ඵලය සාධාරණව බෙදී යන ක්‍රමයක් ස්ථාපනය කිරීමෙන් පමණයි. නැත්නම් ආණ්ඩුවටත්, රටටත් වෙන්නේ විනාශය කරා යාමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd