යහපත් දිවි පෙවෙතක් තුළින් නිරෝගී වකුගඩු
මාර්තු 09 ලෝක වකුගඩු දිනයයි
වකුගඩු යන වදනය සම්බන්ධයෙන් අතීතයේ දැන සිටි පිරිස ඉතා සීමිත නමුත්, මෙකල වකුගඩු යනු ඉතාම සුලබව කියැවෙන වචනයක් බවට පත්ව තිබේ. මේ වනවිට වකුගඩු රෝගය සම්බන්ධව නොදන්නා අයෙකු නැති තරමටම ජනප්‍රිය වචනයක් බවට පත්ව ඇති නමුත්, තවමත් වකුගඩු රෝගීන් රෝහල්වලට පැමිණීමේ පමාවෙන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර ලැබීමේ හැකියාව පවතිද්දීම එය මගහැරගෙන මරණයට පත්වීම ඉතාම ඛේදවාචකයකි.
මෙසේ සිදුවන්නේ ඇයි? අද දවස මේ මාතෘකාව සම්බන්ධයෙන් යම් කතිකාවතක් ඇතිවෙන්නටත් වකුගඩු
රෝගය සම්බන්ධයෙන් පවතින මිත්‍යා අදහස්වලින් බැහැරවන්නටත් නිසි දැනුම්වත් බවක් ලබන්නටත් සුදුසුම දිනයයි. වකුගඩු රෝග සම්බන්ධයෙන් පවතින ඖෂධවල මිල බොහෝ සෙයින් පහළ බැස තිබියදීත්, රජයේ සෞඛ්‍ය සේවාවන් මේ සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවේදයන් පුළුල් කර තිබියදීත් මෙසේ අකාලයේ අහිමිවන ජීවිත ප්‍රමාණය සම්බන්ධයෙන් කතාකරන්නට අපට සිදු වී ඇත්තේ ඇයි? මේ කතිකාවත වකුගඩු රෝග සම්බන්ධයෙන් ඔබේ අවධානය නව ප්‍රවේශයක් කරා කැඳවන්නටය.
මෙවර ලෝක වකුගඩු දිනයේ තේමාව වනුයේ යහපත් දිවි පෙවෙතක් තුළින් නිරෝගී වකුගඩු යන්නයි. එසේ නම් අයහපත් දිවිපෙවෙත මේ රෝගය සඳහා තුඩුදෙන ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇති ආකාරය අප අමුතුවෙන් කතාකළ යුතු නොවෙතත්, අතීතයත් අද පවතින තත්ත්වයත් එකිනෙක හා සංසන්දනය කිරීම මේ ගැටලුවට මුහුණදෙන පිරිස යම් තරමක් දුරට හෝ දැනුම්වත් කිරීමට උපකාරයක් වනු ඇති.
අතීතයේ අපගේ කෘෂිකාර්මික ජීවන රටාව තුළ පැවතියේ රසායනික භාවිතයෙන් තොර වූ සහ කෘත්‍රිම බවින්බැහැර වූ ජීවන රටාවක් බව අප කවුරුත් දන්නා දෙයකි. පැරැන්නෝ රසායනික පොහොර සහ වල්නාශක වෙනුවට ඉපැරණි කෙම් ක්‍රම හා ස්වාභාවික ක්‍රම භාවිත කළ අතර, වගා සඳහා යොදාගත් බීජ ආදියද තමන් විසින්ම නිපදවාගත් ඒවා වූයෙන් අතීතයේ අපට වගාබෝග හරහා රසායනිකයන් ශරීරගතවීමක් සම්බන්ධයෙන් අසන්නට දකින්නට නොලැබිණි.
නමුත් මේ වනවිට 75%ක පමණ ප්රමාණයකගේ වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි ඒ අනුව අප යම් නිගමනයක සිටින අවස්ථාවකි මේ. නමුත් වකුගඩු රෝගයට ගොදුරුවන අනෙකුත් 25%ක් පමණ පිරිස ගේ රෝගයට හේතුව කවරේද? අප විමසීමකින් තොරව අත්හැර ඇත්තේ එම 25%කොටසද යන්න මෙහිදී ගැටලුවක් මතුවෙයි.
දැනට වසරකට අලුතින් වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන් පන්දහසක් පමණ වාර්තා වීම හේතුවෙන් මෙය කෙතරම් ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේද යන්න අමතක කළ නොහැකි කරුණකි. නමුත් මේ පන්දහසක් පමණ නව රෝගීන් අතරින් 75%ක පමණ දෙනෙකුගේ රෝග නිධානය මේවනවිටත් හඳුනාගෙන ඇති අතර, හඳුනානොගත් ප්‍රමාණය 25%කි.
පෙරකී 75%ක් පමණ වන වකුගඩු රෝගීන් එසේ හමුවන්නේ දියවැඩියා රෝගීන් අධි රුධිර පීඩනය සහිත රෝගීන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, තරබාරු බව, මානසික ආතතිය සහ සුළු වකුගඩු රෝග සඳහා දිගු කලක් ප්‍රතිකාර නොලබා සිටීම මෙන්ම දුම්පානය, මත්වතුර හා මත්ද්‍රව්‍යවල බලපෑම හේතුවෙනි. මේවා හොඳින් විමසා බැලූ කල යහපත් දිවි පෙවෙතකට හුරුව සිටින්නේ නම් මැනවින් පාලනය කරගත හැකි තත්ත්වයන් බව වැටහෙනවා ඇත.
දියවැඩියාව,අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝලතාව යන රෝග මෙන්ම මානසික ආතතිය, අධික තරබාරුව යන සියල්ලන්ම තම තමන්ටම පාලනය කරගත හැකි රෝගවන අතර, තමන් සැලකිලිමත් වන්නේ නම් නිසි ප්‍රතිකාර ලබා මේ රෝග සියල්ලම පාලනය කරගත හැකිය. අධික ලුණු, සීනි භාවිතය, මේදය භාවිතය ආදිය මේ රෝග සියල්ලන්ටම බලපාන පොදු සාධකයක් බව මේවනවිටත් ඔබ හොඳින් දන්නා කරුණක් වනු ඇත. ව්‍යායාම මඳකමද මේ වැරදි ආහාර භාවිතාව හා එක් වූ විට බෝ නොවන රෝගවලට ගොදුරුවන්නන් ඉහළ යාමට බලපානු ලබයි.
මේ රෝගීන් සියවකුගඩුවලට තමන් මුහුණදී සිටින වෙනත් බෝනොවන රෝග බලපාන්නේය යන කාරණය නොදන්නාකම නිසා හෝ නෙසැලකිලිමත්වීම හේතුවෙන් නිකරුණේ වකුගඩු රෝගයට අතවනන බවක් පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙක් රෝගයක් ඇතැයි යන්න සිතා ප්‍රතිකාර ලැබීම රෝග ලක්ෂණ පහළ වන තෙක් බලා සිට කරන්නට යොමුව සිටිති. නමුත් අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි ඇතැම්විට කිසිදු රෝග ලක්ෂණයක් හඳුනාගත නොහැකි පරිද්දෙන් මතුවන ඇතැම් රෝග, කල් පසුවන්නට ඉඩ හැර වකුගඩුද රෝගීබවට පත්වන්නට ඉඩ හැර ප්‍රතිකාර සඳහා යොමුවන්නේ අවසාන අදියරට පැමිණි පසුවය.
බොහෝ විට වකුගඩු රෝගීන්ගේ මරණ සම්බන්ධයෙන් වැඩිපුර අසන්නට සිදුවන හේතුව ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධකිරීම යන විසඳුම් දෙක පමණක් ඉතිරිව තිබියදීය. නමුත් කිසියම් අයෙකු පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා යොමුවනවානම් හතරවැනි සහ පස්වැනි අවස්ථාවලදී ප්‍රතිකාර පතා එන රෝගීන්ට වඩා ප්‍රතිකාර ක්‍රම සහ සුවවීමේ හැකියාව වැඩිපුර හිමිකරගත් පිරිසක් වශයෙන් රෝගයේ සංකූලතා අවම කරගන්නට හැකියාව ලබයි. සාමාන්‍යයෙන් අවශ්‍ය අයෙකුට තමන්ගේ වකුගඩු නිරෝගීද යන්න රුධිර පරීක්ෂණයක් මගින් පරීක්ෂා කරගත හැකිය.
එම රුධිර පරීක්ෂණය සීරම් ක්‍රියැටිනීන් නමින් හඳුන්වනු ලබන අතර එතරම් මිලක් වැය නොවන පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය හෝ මුත්‍රා පරීක්ෂණයක් මගින් ඇල්බියුමින් පරීක්ෂාකරගැනීමද වකුගඩු රෝග කලින් හඳුනාගන්නට ඉතාම සාර්ථක ලෙස උපකාර කරනු ලබන ක්‍රම දෙකකි. නමුත් මෙහිදී සෑම සියලු දෙනාම මේ පරීක්ෂාවන් සිදුකරවාගැනීම කළ යුතු යැයි පැවසිය නොහැකිය. මෙය සිදුකරවා ගැනීමට අනිවාර්යයෙන් අමතක නොකළ යුතු පිරිසක් වේ.
ඒ අප පෙර කී පරිදි දියවැඩියාව,අධිරුධිර පීඩනය, හෘදය වස්තුවේ රෝග සහ කොලෙස්ටරෝල් අධිකතාව ඇති පුද්ගලයන් මෙන්ම බෆන් වැනි ඖෂධ දිගුකාලීනව ලබාගන්නා පුද්ගලයන්, රුමැටොයිඩ් ආතරයිටිස් සහ එවැනි ඇතැම් නිදන්ගත ආබාධ සඳහා දිගු කලක් ඖෂධ ලබාගන්නා පුද්ගලයන්, මේ පරීක්ෂණය වසරකට වතාවක් අනිවාර්යයෙන් සිදුකරවාගැනීම වැදගත්ය. නමුත් තමන්ට රෝගයක් නැතත් සමහර පුද්ගලයන්ට මෙම රුධිර පරීක්ෂාව කරගන්නා ලෙස උපදෙස් දියයුතුව තිබෙන අවස්ථාද තිබේ.
ඒ පවුලේ කිසියම් අයෙකුට තීව්ර ලෙස වකුගඩු රෝගය වැලඳී පසුවන්නේ නම්, එයින් මරණයට පත්ව තිබේ නම්,තමන්ට රෝග ලක්ෂණ නොපැවැතියත් මෙම රුධිර පරීක්ෂණය හෝ මුත්‍රා පරීක්ෂණය සිදුකරවාගැනීම වැදගත්ය. එමෙන්ම වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ජීවත්වන්නන්ද රෝග ලක්ෂණ ගැන නොසොයා මෙම රුධිර පරීක්ෂණයට මුහුණදී තම වකුගඩුවල නිරෝගීතාව පරික්ෂා කරවාගැනීම වැදගත්ය. තවත් පිරිසකට මේ රුධිර පරීක්ෂාව සිදුකරවාගන්නා ලෙස උපදෙස් දියයුතුව තිබේ.
ඒ වෙනත් වකුගඩු රෝග සඳහා යම් දිනකදී ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් මෙන්ම මුත්‍රා ගල් වැනි තත්ත්වයක් ඇතිවී තිබී ප්‍රතිකාර ලබා සුවවූවන්ය. මෙසේ යම්කිසි අවදානම් සාධක එකක් හෝ කීපයක් පවතින පුද්ගලයන් තම වකුගඩු සම්බන්ධයෙන් අදාළ පූර්ව පරීක්ෂණ සිදුකරවාගැනීම මෙම රෝගයෙන් ආරක්ෂාව ලද හැකි හොඳම ක්රමයකි. මේ හැරෙන්නට ඔවුන්ද ජීවන රටාවේඅප පෙරකී ආකාරයේ රෝග සඳහා තුඩුදෙන හේතූන් මගහැරීම ඉතාම වැදගත්ය.කෙසේ නමුත් අසාධ්‍ය වකුගඩු රෝගියෙකු ජීවත්කිරීම සඳහා වකුගඩුවලට ආදේශකයක් ලබාදීම අවශ්‍යය. එසේ නැතහොත් මෙම රෝගීහු ඉතා කෙටි කලකදී මරණයට පත්වෙති.
ඒ සඳහා පවතින ප්‍රධාන ආදේශක ක්‍රම වනුයේ රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධයයි. එහිදීද ප්‍රධාන කාන්දුකරණක්රම දෙක සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරවමු. එනම් නිවසේදී කළ හැකි පරිතාණ කාන්දුපෙරණය හා රෝහලකදී කළ යුතු රුධිර කාන්දුකරණයයි. වකුගඩු බද්ධ කිරීම සඳහාද ක්‍රම දෙකක් පවතින අතර එකක් ජීවත්වන අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම සහ අනෙක මොළය මියගිය අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීමයි. මොළය මියගිය පුද්ගලයන් සම්පූර්ණ මියගිය පුද්ගලයෙකු වන බැවින් ඔවුන්ගේ හදවත යන්ත්‍රයක ආධාරයෙන් ස්පන්දනය කරනු ලැබුවද නැවත ජීවත් කළ නොහැකිය.
මන්ද මොළය මියගිය පුද්ගලයා සලකනුලබන්නේ සම්පූර්ණයෙන්ම මියගිය අයෙකු ලෙස බැවිනි. එවන් අයගේ වකුගඩු ඥාතීන්ගේ කැමැත්ත ඇතිව දන්දිය හැකිය. ඒ වකුගඩු තවත් අයෙකුගේ ජීවිතය බේරීමට යොදාගත හැකි නමුත් නොදන්නාකම නිසා වසරකට මෙවන් මොළය මියයාම නිසා රෝහල්ගතවන පුද්ගලයන්ගේ වකුගඩු 700 ක් පමණ අපතේ යැවෙයි. මේ ගැන දැනුවත්ව එවන් යම්කිසි හේතුවක් මුල්කොටගෙන මොළය මියගිය තම ඥාතියාගේ වකුගඩු දන්දෙන්නට ඉදිරිපත්වීම විශාල පුණ්‍යකර්මයක් බවද මෙහිදී ඔබේ දැනුමට එක්විය යුතු කරුණක් බව සලකන්න.
රෝහලකට නොගොස් නිවසේදී සිදුකරන පරිතාන කාන්දු පෙරණය ඉතාමත් සාර්ථක ක්රමයකි. මෙම සේවාව රජයේ රෝහල්වලින් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනු ලැබුවත් අධික වියදමක් දරමින් රෝහල්වලින් සිදුකරනරුධිර කාන්දුකරණයට යොමුවීම රෝගින් නිකරුණේ අපහසුතාවට පත්වීම මෙන්ම රජය මගින් ලබාදෙන සේවාව අපතේ යැවීමක් බවද මතක තබාගන්න. වකුගඩු රෝගය මාරයාට පරාජය විය යුතු රෝගයක් නොවේ. නිසිකලට වේලාවට ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් මාරයා පරාජය කළ හැකි රෝගයකි. අදම ඔබ අවදානම් සාධක හා ගැටෙන්නෙකු නම් වහාම ඔබේ වකුගඩු ආරක්ෂිතදැයි සොයාබලන්නට අමතක නොකරන්න.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

