Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙවර මැයි දින සැමරුම වෙසක් සතිය හේතුවෙන් ලබන 07 වැනිදාට කල්දැමීමට ආණ්ඩුව තීරණය කළේය. කොළඹ මැයි රැලි පැවැත්වීමේ ප්‍රායෝගික අපහසුව හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මැයි පළමු වැනිදා යාපනයේදී මැයි දින සැමරුමක් සංවිධානය කළේය. එහි තේමාව වූයේ, ‘ජාතික සමගිය සමාජ සාධාරණත්වය ගොඩනගන ජනතාවාදී පාලනයක්’ යන්නය.
ජ.වි.පෙ. නායකයන්ගේ සහභාගිත්වයෙන් යාපනය රක්කා පාරේ චුණ්ඩික්කුලි ක්‍රීඩා පිටියෙන් පෙළපාළිය ආරම්භ කෙරුණු අතර, මැයි දින රැලිය යාපනය නගර සභා පිටියේදී පැවැත්විණි.
පෙළපාළිය ආරම්භ කර සුළු මොහොතකින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ජ.වි.පෙ. මැයි පෙළපාළියට එක්විය. ඔහු දෙමළ ජාතික සන්ධානයේ මැයි දින සැමරුමට යමින් සිටි අතරතුර ජ.වි.පෙ. පෙළපාළිය දැක සිය වාහනය නතර කර ජ.වි.පෙ. නායක අනුර දිසානායක සමග පෙළපාළියේ මද දුරක් ගමන් කර මැයි දින සැමරුමට සුබ පතා පිටත්ව ගියේය.
යාපනයේදී පැවැති ජ.වි.පෙ. මැයි දින සැමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ මාක්ස්වාදී මධ්‍යම කාරක සභික, සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති ඒ. සවුන්දර් රාජන්‍ය. මීට අමතරව යාපනය හස්ත කර්මාන්ත සංගමයේ සභාපතිවරයා, සුළු ජාතික දෙමළ සංගමයේ ලේකම්වරයා, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාමිනාදන් විමල් ඇතුළු ධීවර සමිති නායකයන් වෘත්තීය සමිති නායකයන්, ගොවි සමිති නායකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. යාපනයේ පැවැති එකම මැයි දින පෙළපාළිය වූයේ ජ.වි.පෙ. විසින් සංවිධානය කරන ලද මැයි දින පෙළපාළිය වීම විශේෂත්වයකි. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ඒ. සවුන්දර් රාජන් ජ.වි.පෙ. මැයි දින පෙළපාළිය හා රැලිය පිළිබඳ ඉතා ප්රශංසනාත්මකව කතා කළේය. ඔහු කියා සිටියේ, ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ජ.වි.පෙ.ට පමණක් බවයි.
මේ අතර, ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් රූපවාහිනී සංවාදයකදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට
ජ.වි.පෙ. යාපනය මැයි දින සැමරුමක් පැවැත්වීම පිළිබඳ ස්තුතිය පළ කළේය. ‘ජාතික සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් ජ.වි.පෙ. ගත්ත එම ක්‍රියාමාර්ගය ගැන අපි සතුටු වෙනවා” යැයි ඇමතිවරයා රූපවාහිනී සංවාදය තුළද ඒ පිළිබඳ මතක් කළේය.
ආණ්ඩුවේ සිවුවැනි කැබිනට් සංශෝධනය සිදු වූයේ පසුගිය අඟහරුවාදාය. කැබිනට් සංශෝධනය පිළිබඳ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු මෙන්ම මන්ත්‍රීවරුද විවිධ බලාපොරොත්තු තබාගෙන සිටියහ. පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තමන්ට නියෝජ්‍ය අමාත්‍ය පදවි ලැබෙනු ඇතැයි සිතමින් පසුගිය දිනවල කටයුතු කළ අතර, ඇතැමුන් ඒ පිළිබඳ විවිධ අයට පවසා තිබිණි.
එසේ වුවද, සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූවකි. කැබිනට් මණ්ඩලය පිළිබඳ පසුගිය සතිවල සාකච්ඡාවලදී මන්ත්‍රී රවි කරුණානායකට ඇමති ධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළද, ජනාධිපති මෛත්‍රී එයට දැඩි ලෙස විරුද්ධ විය. ඒ හේතුවෙන් එම යෝජනාව තාවකාලිකව එ.ජා.ප.ය නවතා ගත්තද, අවසාන මොහොතේ හෝ රවිට ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියහ. මේ අතර මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ගැනද කතාබහ කරළියට පැමිණියේය.
ආණ්ඩුවේ තීරණ ගැනීමේදී ප්රබලව සහභාගි වන ඇමතිවරයෙකු සමග තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා සාකච්ඡා කරමින් සිටියේ ඇමති මණ්ඩල සාකච්ඡාව ගැනය.
‘සර් රවිට ඇමතිකමක් ලැබෙයි නේද?’
‘ඔව්, ඔව්. මම හිතන්නෙ නායකතුමාත් ලොක්කා එක්ක ඒ ගැන කතා කරලා තියෙන්නෙ. ඇමතිකමක් දෙයි වගේ’ ඔවුන්ද කතාබහ ඇරඹුවේ එලෙසය.
‘එතකොට විජයදාසටත් ඇමතිකමක් දෙනවද සර්?’
‘පිස්සුද ඕයි. ඒ මිනිහට ඇමතිමක් දෙන්න පිස්සුද? කැබිනට් එකෙන් අයින් කරපු මනුස්සයෙක් විජයදාස. එයාට ආයේ ඇමතිකමක් දුන්නොත් අපි ආණ්ඩුවෙන් යනවා. මොන විලිලැජ්ජා නැති වැඩක්ද එහෙම වුණොත්’ යැයි ප්‍රබල අමාත්‍යවරයෙකු තම පිරිසට කියන්නට විය.
ප්‍රබල අමාත්‍යවරයා එසේ පැවසුවද, බලාපොරොත්තු නොවූ පරිදි විජයදාස රාජපක්ෂ ඇමති මණ්ඩලය දිවුරුම් දෙන දින ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ දිවුරුම් දුන්නේය.
ඉන් පසුව මුලදී විවේචනාත්මකව කතා කළ ප්‍රබල අමාත්‍යවරයා විජයදාස සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදාහන උත්සවයේදී සමීප අසුනකද ඉඳගෙන සිටියේ තමන් කලින් කිසිවක් නොපැවසූ පරිද්දෙනි.
කැබිනට් මාරුව ජනතාව හිනස්සවන විගඩමක්
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තේ ඔවුන්ගේ දේශපාලන මණ්ඩලයේදීය. මෙහිදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය සහ 20 වැනි සංශෝධනය පිළිබඳ විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනා පිළිබඳ අවධානයට ලක්විය.
‘රටේ ජනතාවට ජනාධිපතිවරයා එක එක වෙලාවේ එක එක දේවල් කියනවා. කැබිනට් එක විද්‍යාත්මකව හදනවා කියලත් ජනාධිපතිවරයාම කිව්වා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි. දුමින්දගේ ඇමතිකම මහින්ද අමරවීරට දීලා. අමරවීරගේ ඇමතිකම සොයිසාට දීලා. සොයිසාගේ ඇමතිකම දුමින්දට දීලා. මේක කොහොමද විද්‍යාත්මක වෙන්නෙ” විජිත හේරත් කීවේය.
‘මේ මොන විද්‍යාවක්ද? මෛත්‍රී කණ්ඩායමේ කට්ටිය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ඇමතිකම් ටික කාටකාට හරි දෙන්න කැබිනට් සංශෝධනයක් ඕන වුණා. ඒකට විවිධ කතා කිව්වා. අන්තිමේදී කැබිනට් එකෙන් අයින් කරපු අයටත් ඇමතිකම් දීලා. දෙන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
‘විද්‍යාත්මකව ඇමති ධුර බෙදනවා නම් මේ තරම් ඇමතිකම් දෙන්න ඕන නැහැ. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් කියලා තිබුණු අමාත්‍යාංශය දැන් කීයකට කඩලද? අපි අමාත්‍යාංශය කරන කොට ඇමතියි, නියෝජ්‍ය ඇමතියි විතරයි. දැන් ඒකට ඇමතිලා 10ක් විතර ඉන්නවා. මේ ආණ්ඩුවට විද්‍යාත්මකව වැඩක් කරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න පුළුවන් විද්‍යා හා තාක්ෂණ ඇමතිකම දුන්න එකෙන්ම. ඒක දීලා තියෙන්නේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට. අන්තිමට ආණ්ඩුවේ අර්බුදය වහගන්න ගෙනාපු සංශෝධනයෙන් අර්බුදය තවත් වැඩි වෙනවා” ලාල්කාන්ත කියා සිටියේය.
‘ගෑස් මිල වැඩි වෙලා. රුපියල බාල්දු වෙලා, ආනයන භාණ්ඩ මිල වැඩි වෙනවා. උපාධිධාරීන් පාරේ. මේ කිසි ප්‍රශ්නයකට ආණ්ඩුවට උත්තර නැහැ. ආණ්ඩුවේ නායකයො පක්ෂවල ප්‍රශ්න විසඳගන්න, ඇමතිකම් බේරාගන්න තමයි උත්සාහ කරන්නෙ. රටේ ප්‍රශ්න එතැනම. මේවා ජනතාව ගැන හිතලා කරන දේවල් නොවෙයි. අවුරුදු 03ට ඇමති මණ්ඩලය හතර පාරක් වෙනස් කළා. අවුරුදු 05කට ඇමති මණ්ඩලයක්, වැඩපිළිවෙළක් හදාගන්න බැරි අගමැතිලා, ජනාධිපතිලා රටකට මොකටද?” ටිල්වින් සිල්වා කියා සිටියේය.
කථානායක කරු ජයසූරිය හමුවීමට පැමිණි පිරිසකට කථානායකවරයා හොඳ උපදේශයක් ලබාදී තිබිණි.
වත්මන් දරු පරපුරෙහි සිත්සතන් තුළ ජීවත් වන ස්පයිඩර් මෑන්ලා, බැට් මෑන්ලා වැනි කාටූන් වීරයන්ද තරුණ තරුණියන්ගේ ලෝකයේ සුපිරි චරිත බවට පත්ව ඇති හොලිවුඩ් හා බොලිවුඩ් වීරයන්ද අභිභවමින් මාතෘ භූමියේ නිදහස උදෙසා එදාමෙදා තුර ජීවිත පූජා කළ දේශයේ සැබෑ විරුවන් පිළිබඳ අවබෝධය හා හැඟීම ජනිත කිරීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි කථානායකවරයා කියා සිටියේ, වීර කැප්පෙටිපොළ ජාතික පදනමේ ප්රධානීන්ටය.
මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසා ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම නාහිමි සමග වීර කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර්තැන්නේ සහ නිලධාරීහු මෙන්ම කැප්පෙටිපොළ පරපුරේ ඥාතීහු කිහිපදෙනෙක්ද මෙම පිරිසට අයත් වූහ.
එළැඹෙන නොවැම්බර් 26 වැනිදාට මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ඇතුළු විරුවන් රට වෙනුවෙන් ජීවිතය පූජා කර වසර 200ක් සපිරේ. ඒ වෙනුවෙන් වන ජාතික ගුණසමරු වැඩසටහන් සැලසුම් කරන ආකාරය පිළිබඳ මෙම හමුවේදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී කථානායකවරයා පවසා සිටියේ, ශ්‍රී ලාංකිකයන් බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ විමුක්ති සටන් කැරලි ලෙස හැඳින්විය යුතු නැති බවත්, ඒ සෑම සටනක්ම මාතෘ භූමිය වෙනුවෙන් කළ විමුක්ති සටන් ලෙස ඉතිහාසයේ ලියැවෙන බවත්ය.
පෙර පැවැති රජයට එරෙහිව විවිධ තැන්වල කඳවුරු බඳිමින් සිටි ලොකු කුඩා බලවේග එක සටන් පෙරමුණකට ගෙන ආවේ මාදුළුවාවේ සෝභිත
නාහිමියන්ය. උන්වහන්සේ ජාතියෙන් සමුගැනීමෙන් පසු එම සටන් පෙරමුණේ වූ බලවේගද විවිධ දිසාවන්ට යළි විසිරී ගිය තත්ත්වයක් නිර්මාණය විය.
සෝභිත හිමි කරළියට ගෙන ආ යහපාලන සංකල්පය වෙනුවෙන් තවමත් අඛණ්ඩව පෙනී සිටින පුද්ගලයා මෙන්ම උන්වහන්සේ අමතක නොකර සෑම මසකට වරක් සෝභිත නාහිමි වෙනුවෙන් කුමක් හෝ පුණ්‍ය කටයුත්තක යෙදීමද අමතක නොකර ඉටු කරනුයේ කථානායක කරු ජයසූරියයි.
සමාජ ප්රතිසංස්කාරකයෙකු ලෙස දැවැන්ත ජාතික මෙහෙවරක් ඉටුකළ නාහිමියන් වැඩි ප්‍රසිද්ධියකින් තොරව අනුරාධපුරයේ මහවිලච්චියේ අසරණ ජනතාව වෙනුවෙන් ගොඩනැගූ ගම්මානය ඇලපත්ගමය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව ඇලපත්ගම ‘මාදුළුවාවේ සෝභිත නාහිමි ගම’ නමින් නම් කර එය ගොඩනැගීමට උර දුන් කරු ජයසූරිය පසුගිය සතියේ එහි ගියේ තමන් විසින් ඉන්දියානු රජයෙන් ලබාගත් ප්‍රදානයකින් ඉදිකරන නව නිවාස 300කින් යුත් ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කර බැලීම සඳහාය. සිංහල අලුත් අවුරුද්දට දුර බැහැර සිට තමන් බැලීමට පැමිණි සමීප ඥාතියෙකු ලෙස ඇලපත්ගම වැසියෝ කථානායකවරයාව පිළිගත්හ.
ජ.වි.පෙ. මැයි පෙළපාළිය කැම්බල් සිට බී.ආර්.සී. පිටියට
වෙසක් සතිය හේතුවෙන් කල් දැමීමට සිදු වූ මැයි දින සැමරුම ජ.වි.පෙ. විසින් 07 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ‘‘සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන, ජනතාවාදී පාලනයක්’ යන්න මෙවර තේමාවය. ජ.වි.පෙ. මැයි දින පෙළපාළිය බොරැල්ල කැම්බල් පිටියෙන් 07 වැනිදා පස්වරු 1.00ට ආරම්භ කෙරෙන අතර, බී.ආර්.සී. පිටියේදී සවස 4.00ට රැලිය ආරම්භ කිරීමට නියමිතය. විදෙස් රටවල වාමාංශික පක්ෂ නියෝජිතයන් පිරිසක්ද මෙවර මැයි දින සැමරුමට එක්වීමට නියමිතය. එමෙන් ජ.වි.පෙ. කනිෂ්ඨ සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් මැයි දින සැමරුමට එක්වීමට නියමිතය. විවිධ නිර්මාණ රැගත් ආකර්ෂණීය මැයි දින පෙළපාළියක්ද, ලංකාවේ අලංකාරවත්ම සහ විශාලතම මැයි දින වේදිකාවක්ද ජ.වි.පෙ. විසින් නිර්මාණය කර තිබේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට ප්‍රථම කථානායකවරයා සමග විශේෂ හමුවක් සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් බ්‍රහස්පතින්දා පෙරවරුවේ කථානායකවරයා විසින් කැඳවා තිබිණි. එහිදී නව සැසිවාරය මැයි 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීම හා නව සැසිවාරය ආරම්භයෙන් පසු ගෙන ඒමට යෝජිත අණපනත් පිළිබඳවද සාකච්ඡා වූ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරෙන රාජාසන කතාව පිළිබඳ මැයි 10 වැනිදා විවාදයට ගැනීමට තීරණය කිරීමද විශේෂ කරුණක් විය.
සමහරු 20 ගැන කලබල වෙලා තියෙන්නෙ, 20 දැකලත් නැතුවයි
ජ.වි.පෙ. විසින් ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනය පිළිබඳ මේ වන විට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වීමට පටන්ගෙන තිබේ. ‘ඇතැම් අය 20 ගැන කලබල වෙලා තියෙන්නේ ඒ සංශෝධනයේ කරුණු දැකලත් නැතුවයි. ඒ අයගේ ඔළුවේ තිබුණු බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා 20 ගැන බොරු භීතියක් හදන්න උත්සාහ කරනවා. මේ කට්ටියම තමයි ව්‍යවස්ථා කෙටුම්පත ගැන බොරු බේගල් කිව්වේ” අනුර දිසානායක කියා සිටියේය. ‘රට බෙදෙන එක ගැන, විධායක අගමැති ධුරයක් හදන එක ගැන, එ.ජා.ප.යේ කොන්ත්‍රාත් කරන එකක් ගැන ඒකාබද්ධයේ ඇතැම් පක්ෂවල අය කතා කරනවා. 20 වැනි සංශෝධනයේ කරුණු දැක්කාම ඒ අයටම තමන් කියපු කතා හකුළ ගන්න සිදු වෙනවා. 13 වැනි සංශෝධනයට බලපාන බලතල කිසිවක් ජනාධිපතිවරයාගෙන් ඉවත් වෙන්නේ නැහැ. අනෙක ජනාධිපතිවරයාගේ බලතල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට සහ ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන නිසා විධායක අගමැති කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා දැන දැනත් ඇතැම් අය වැරදි මත හදනවා” බිමල් රත්නායක කීවේය.
‘මේ කෙටුම්පත ගැන අනෙක් පක්ෂ එක්ක සාකච්ඡා කරන කොට මේ ගැටලු බොහොමයක් විසඳෙනවා. කෙටුම්පතේ තියෙන කරුණු රටට හෙළි කළාම ගොඩක් අයට බොරු ප්‍රචාර නවත්වාගන්න වෙයි. තමන්ගේ දේශපාලන ගේම් එක අවුල් වෙන නිසා තමයි ගොඩක් අය මේකට විරුද්ධ වෙන්නේ” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘සමහරු ජීවිත පූජා කරලා 20 නවත්වන්නත් සූදානම් කියලා කියලා තිබුණා. ඒ අය උපවාස කරපු විදිය නම් අපි දන්නවා. බිස්කට් කාලා, තැඹිලි වතුර බීලා මාරාන්තික උපවාස කරන අය ගැන නම් අපි කලබල වෙන්න ඕන නැහැ. මොකද 20 වැනි සංශෝධනය අපි ගේන්නෙ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්. ප්රජාතන්ත්රවාදයට කැමැති, ශිෂ්ටසම්පන්න සමාජයකට කැමැති කිසිම කෙනෙකුට 20 සංශෝධනයට විරුද්ධ වෙන්න බැහැ’ විජිත හේරත් කියා සිටියේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ ආයතන එක්ව පවත්වන ලද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගය පසුගියදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ ඊයේ (03දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභිනවයෙන් වැඩ භාර ගත්, ඒ වන විට ධීවර අමාත්‍ය ධුරය හෙබ වූ ඇමති මහින්ද අමරවීර හා අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීරය.
පිටියට පිවිස මඳ වේලාවකින් ලේකම්වරයා දැවී ගියේය. අනතුරුව පන්දුවට පහර දුන් නිලධාරීන් කිහිප දෙනෙක්ම ලකුණු නොලබා දැවී යද්දී ඇමති අමරවීර හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් එල්ල කරමින් ලකුණු රුස් කරනු ලැබුවේ ඕවර් පහම නොදැවී පිටියේ රැඳෙමිනි.
තරගය අවසනදී ක්‍රීඩා මණ්ඩපයට පැමිණි අමරවීරට නරඹන්නන්ගෙන් ලැබුණේ පාඩු පිට දිවූ ධීවර සංස්ථාව ලාභ හිමිකර ගනිද්දීවත් නොලැබූ ඉහළ ප්‍රතිචාරය. ඉන් ඇතැමෙක් අසා සිටියේ ‘ඇමැතිතුමා විකට්ටුව රැකගෙන හොඳට බැට් කළා නේද..?’යන්නයි.
"අපි දේශපාඥයෝ නේ. විකට් එක රැක ගනිමින් ගහන්න ඕනෑ කොහොමද කියලා අපි දන්නවා. අනෙක මේ කාලයේ විකට් එක රැකගන්න එකත් ලේසි නෑනේ. ඒ හින්ද ආපු ෆුල්ටොෂ්, ගුග්ලි, යෝකර් එකක්වත් ඇරියේ නෑ. අතඇරියොත් විකට් එක යනවනේ. විකට් එක රැක ගන්න නම් මේ දවස්වල හතර වටේටම ගහන්න ඕනෑ. දැන් අපි කරන්නේ එන එන හැම පන්දුවටම ගහන එකනේ. අපිට වැටෙන පන්දු මොනවද කියලා ඔයාලා දන්නවනේ. අපිට වැටෙන්නෙම යෝකර්. ඒ හින්දා විකට් එක
රැකගන්නත් ඕනෑ. ලකුණු ගන්නත් ඕනෑ. ගහන්නත් ඕනෑ.." යැයි අමරවීර පිළිතුරු දුන්නේ ඇඟට පතට නොදැනීය.
ඇමති අමරවීරගේ රැකගෙන ගැහීම කෙතරම් ඉහළ මට්ටමක තිබුණද එදින තරගයේ ජය ධීවර සංස්ථා කණ්ඩායම විසින් දිනා ගනු ලැබිණි.
28 වැනිදා මොරවක පැවැති ජාතික යොවුන් බක්මහ උළෙලට සහභාගි වීමට යොවුන් ඇමති සාගල ඊට පෙර දිනම දෙණියායේ පිහිටි සිය නිවස බලා පිටත් වූයේ, පසුවදා හරියටම උදේ 7.30ට උත්සවය ආරම්භ කරන බවට තරුණ සේවා සභාවේ සභාපති එරන්දික වැලිඅංගගේ දුන් ආරාධනය නිසාය.
එදින රාත්‍රිය සාගල සිය නිවසේ ගතකල අතර, එරන්දික මොරවක ප්‍රදේශයේම සුපිරි හෝටලයක නවාතැන් ගත්තේය.
පසුවදා උදේ 7.30ට බක්මහ උළෙල පැවැති මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සාගල දැකගත හැකි වූ නමුත් උත්සවය ආරම්භ වන සේයාවක් හෝ නොතිබිණි. ඇතැමුන් අගමැතිවරයා ඇතුළු විශේෂ පුද්ගලයන් උදෙසා සකස් කරන වේදිකාවේ වැඩ නිම කරගත නොහැකි වීමෙන් එහේ මෙහේ දුවන්නට විය. තවත් අය ඇමති දැක කඩි කෑවුන් මෙන් දඟලන්නටද විය. වටපිට බැලූ සාගලට එරන්දිකද දැකගත නොහැකි වූවා පමණක් නොව එරන්දික ආවා යැයි සලකුණකුදු නොමැති විය. සාගලට යකා නැග්ගේය. ළඟ සිටි නිලධාරියෙකු කැඳවූයේය.
‘ඇයි වෙලාවට වැඩක් කරන්න බැරි..? මෙහෙමද වැඩ කරන්නේ..? වේලාවට වැඩ නොකර කොහොමද තමුන්ලා රාජ්‍ය සේවයෙන් රටේ මිනිස්සුන්ට වැඩක් කරන්නේ?’
බක්මහ උළෙලේ ආරම්භය තවත් හෝරාවකට හෝ සිදු නොවන බව දැනගත් සාගල ක්‍රීඩාංගණයේ ඔබ මොබ සැරිසරන්නට විය. අනතුරුව උළෙලේ සජීවී විකාශනය ලබාදෙන රූපවාහිනී ආයතනයේ ජංගම විකාශන බස් රථයට ගොඩ වෙමින් එහි ක්‍රියා පිළිවෙළ නැරඹුවේය. තවත් බොහෝ වේලාවක් රථයේ සිටි කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය.
ඒ අතර ලහි ලහියේ එරන්දික දිව එනු පෙනිණි. පැමිණි වේගයෙන්ම එරන්දික රථයේ දොර විවර කළේය.
‘සර්, යමු..’ සාගලට නැවතත් යකා ආරූඪ විය.
‘තමුන්ලා මෙහෙමද වැඩ කරන්නේ. බලනවා, මම හරියටම 7.30ට මෙතන. තමුන් එන්නේ දැන්. වෙලාවට වැඩක් කරන්න බැරිද තමුන්ලාට? මෙහෙමද තරුණයන්ට උගන්වන්නේ? මුලින්ම
මගපෙන්වන මිනිස්සු හැදිලා ඉන්න ඕනේ. ඊට පස්සෙයි පිටිපස්සෙන් එන අය හැදෙන්නේ’
එරන්දික හිස පහත් කර සාගල හා වේදිකාව දෙසට ගමන් කරන්නට විය. ඒ අසල සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ කතාබහ ‘දියවන්නා රාළ’ට යන්තමින් ඇසිණි.
‘අන්න ඇමතිතුමා කෙවිට අතට අරන්. අපේ ලොක්කා හෝ ගාලා දඟලනවා’
‘හ්ම්ම්ම්ම්.. ඔව් ඉතිං. කකුළුවා ඇදේට ගිහින් කොහොමද උගේ පොඩි එවුන් ටිකට කෙළින් යන්න කියන්නේ. උන් ඇදේට ගියාත් කරන්න දෙයක් නෑ ඉතිං ‘
සාගලගේ යකා තව තවත් ආරූඪ කරමින් එදින උත්සවයට පැමිණි අගමැති රනිල්ට ආසනගත වීමට සිදු වූයේ ඔහු වෙනුවෙන් සකසන්නට යෙදී තිබූ විශේෂ වේදිකාවේ නොව ක්‍රීඩාංගණයේ තිබූ වෙනත් සාමාන්‍ය වේදිකාවකය. ඒ විශේෂ වේදිකාවේ වැඩ කටයුතු ඒ වන විටත් නිම කිරීමට නිලධාරීන්ට නොහැකි වීම හේතුවෙනි.
බැසිල් රාජපක්ෂ මහතාගේ 67 වැනි උපන් දිනය පසුගිය සිකුරාදාට යෙදී තිබුණි. එදින උදෑසනම මහින්ද සිය සොයුරාට සුබපැතීම සඳහා ඔහුගේ නිවස බලා ගියේය. උපන් දිනය වෙනුවෙන් සකස් කර තිබුණු කේක් ගෙඩිය කැපූ බැසිල් එහි පළමු කැබැල්ල කැව්වේ මහින්දටය.
‘වයස 67ක් වුණාට තාම කොල්ල වගේ ඉන්නවා නේද?’ මහින්ද සිනාසෙමින් ඇසුවේය.
‘රාජපක්ෂලාට වයස යන්නේ නැහැනේ’ බැසිල් උත්තර දුන්නේය.
‘ඒක ඇත්ත... මිනිස්සුන්ගේ ආදරේ තියෙනකම් අපි වයසට යන්නේ නැහැ’ මහින්ද පැවසීය.
භූතානයේ හිටපු කථානායක, ඉන්දීය මහාබෝධි සංගමයේ සභාපතිවරයා ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එදින සවස මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ නිල නිවසට පැමිණියහ. වර්තමානයේ බුදුදහමට හිමිව ඇති තැන සම්බන්ධයෙන් පිරිස කතාබහ කරමින් සිටින අතරතුර වෙසක් පොහෝ දිනය ගැනද අදහස් දැක්විණි.
"ලෝකේ සියලු බෞද්ධ රටවල් වෙසක් පොහෝ දිනය මැයි මාසේ සමරනකොට අපි විතරක් අප්‍රේල් මාසේ සමරනවා. අලුත් අවුරුද්ද ඉවර වුණා විතරයි වෙසක් පොහොය ආවා... මිනිස්සුන්ට ලැහැස්ති වෙන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මේ ගැනත් ආණ්ඩුවට හිතන්න තිබුණා’ මහින්ද කරුණු පැහැදිලි කළේය.
යම්කිසි අසනීප තත්ත්වයක් නිසා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පසුගිය දිනවල රෝහල්ගතව සිටියේය. රණවීරගේ සුවදුක් බැලීම සඳහා මහින්ද රෝහලට ගියේ ප්‍රසන්න රණතුංග සහ උදිත් ලොකුබණ්ඩාරද සමගිනි. රණවීර අසලට ගිය මහින්ද ඔහුගේ සුවදුක් විමසා අවවාද කළේ අසනීප නොවී සිටීම වඩා වැදගත් බව කියමිනි.
‘මේ දවස්වල අසනීප නොවී ඉන්න එක ගොඩක් වැදගත්. ඔයාලා අසනීප වුණාම අපේ සටනට ඒකෙන් වෙන්නේ පාඩුවක්. ඒ හින්දා ටිකක් ප්‍රවේසමට ඉන්න ඕනේ’ මහින්ද උපදෙස් දුන්නේය. රණවීරගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මහින්ද තංගල්ල බලා ගියේය.
වෙසක් පොහෝ දින මහින්ද සිටියේ තංගල්ලේය. එදින උදෑසන සිරිත් පරිදි පෝ දින ධර්ම දේශනාව පැවැත්විණි. උදෑසන සිටම නාමල් දකින්නට නොසිටි නිසා මහින්ද නාමල්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
‘කොහෙද ඉන්නේ?’ මහින්ද ඇසුවේය.
‘මම මේ එෆ්.සී.අයි.ඩී එක ගාව තාත්තා’ නාමල් උත්තර දුන්නේය.
‘ඒ මොකද අද එතැන දන්සලක්වත්ද?’ මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
‘ඔව් ඉතින්.. ආණ්ඩුව අපිට දෙන තරමක් දෙන්නේ දන්සල්නේ... අද එන්න කියල තිබුණ නිසා ආවා’ නාමල් උත්තර දුන්නේය.
ටී. බී. ඉංලගරත්න ගුණ සමරුව මැයි මස 01 වැනිදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. සුසිල් ප්රේම්ජයන්තද එම අවස්ථාවට සහභාගී විය.
‘කොහේ හිටියත් ඉලංගරත්න මහත්තයලා වගේ අය අමතක කරන්න හොඳ නැහැ... සුසිලුත් ආපු එක හොඳයි’ මහින්ද පැවසීය.
‘ඒක ඇත්ත සර්... අපිට ඉලංගරත්න මහත්තයා අමතක කරන්න බැහැ... ඒ වගේම මහින්ද මහත්තයා වගේ අය එක්ක එකතුවෙලා කම්කරු දිනයේදී කම්කරු නායකයෙක් සමරන්න ලැබීමත් සතුටක්’ යැයි පැවසූ සුසිල්
‘ආණ්ඩුව කම්කරු දිනය වෙනස් කරන්න ගත්ත තීන්දුව නම් අනුමත කරන්න බැහැ’ යැයිද පැවසීය.
‘සුසිල්ගේ කතාව හරි’ මහින්ද පැවසීය.
‘ඉස්සර අපි කම්කරු දිනය දා ලැබුණ නිවාඩුව අරගෙන කම්කරු නායකයෝ සැමරුවා. දැන් කම්කරු දිනය දවසේ නිවාඩුවක් නැති හින්දා අතින් නිවාඩු දාලා ඇවිත් තමයි කම්කරු නායකයන් සමරන්න වෙලා තියෙන්නේ’ සුසිල් කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම 01 වැනිදා සවස මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. මහින්ද, දිනේෂ්, වෙල්ගම, විමල්, පවිත්‍රා, ප්‍රසන්න ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ එදින උදෑසන සිදුකෙරුණු ඇමති මණ්ඩල සංශෝධනය සහ ගාල්ලේදී පැවැත්වීමට නියමිත මැයි දින සැමරුම ගැනය.
‘ඔන්න ආණ්ඩුව දැන් විද්‍යාත්මක ක්‍රමයට ඇමැති මණ්ඩලයක් පත් කරලා’ ප්‍රසන්න කතාවට මුලපිරුවේය.
‘ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා අවුරුදු තුනක් තිස්සෙම තිබිල තියෙන්නේ කිසිම විද්‍යාත්මකභාවයක් නැති ඇමති මණ්ඩලයක් කියලා’ පවිත්‍රා ඇසුවාය.
‘ඔව් ඒකනේ... ආණ්ඩුව පුන පුනා කියන්නේ මේ පාර නම් විද්යාත්මකයි කියලා... මේ ඇමති මණ්ඩලේ ඉන්නෙ නිකම් හොරු නෙමේ කම්බ හොරු... මේ සෙට් එක කොහොම අනලා දැම්මත් විද්‍යාත්මක වෙන්නෙ නැහැ... එහෙම නම් මේ අය ගෙදර යවලා අලුතෙන්ම ආණ්ඩුවක් පත්කරන්න වෙයි’ ප්‍රසන්න පැවසීය.
‘ආණ්ඩුවේ අනෙක් ඇමතිවරුන් නම් මම දන්නෙ නැහැ.. හැබැයි වනජීවී ඇමතිකම නම් දීල තියෙන්නේ ගැළපෙනම කෙනාට’ මහින්ද කීවේය.
‘ඒක ඇත්ත... එයාට දැන් වන වැදිලා ඉතුරු කාලෙ ගතකරන්න පුළුවන්... හැබැයි ඉතින් සත්තු ටිකටත් දෙයියන්ගෙම පිහිට තමයි’ වෙල්ගම කීවේය.
‘ජනාධිපතිවරයා අවුරුදු තුනකට ඉස්සර බලයට ආවේ මිනිස්සුන්ට සුරංගනා කතා ගණනාවක් කියලයි... හැබැයි මිනිස්සුන්ට දීපු පොරොන්දු එකක්වත් තමා ඉටුකරලා නැහැ... එයාට තව ජනාධිපති ධුරයේ ඉන්න ඉතුරුවෙලා තියෙන්නේ මාස පහළොවක විතර කාලයක්... ඒ කාලෙත් කුට්ටම අන අනා ඉන්නෙ නැතුව වැඩක් කළා නම් තමයි හොඳ’ ප්‍රසන්න පැවසීය.
‘මේ ආණ්ඩුව දුවන්නේ බොරුවෙන්. රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න මේ වගේ රඟපෑම් කරන එක ආණ්ඩුවේ පුරුද්දක් වෙලා... එක්කෝ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙයි... නැත්නම් ඇමති සංශෝධනයක් කරයි. එහෙමත් නැත්නම් පක්ෂ ප්රතිසංවිධානයක් කියයි’ වෙල්ගම කීවේය.
‘මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නකොට මේ වගේ නාඩගම් නට නටා ඉන්න එක ගැන ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ. දැන් කොයි මනුස්සයද ආණ්ඩුවට කිව්වේ ඇමැති සංශෝධනයක් කරන්න කියලා. මිනිස්සු බඩු මිල අඩු කරන්න කිව්වම ආණ්ඩුව කරන්නේ ඇමති මණ්ඩලය සංශෝධනය කරන එක. මේවට වඩා විහිළු තව තියේද? දිනේෂ් පැවසීය.
‘මොනවා කරන්නද ඉතින්.. වැඩ බැරි ටාසන්ලා ටිකක්නේ මේ ආණ්ඩුව රන් කරන්නේ’ පවිත්‍රා කීවාය.
‘එක්කෝ මේ රට පාලනය කරන්න ඕනේ... එහෙම නැත්නම් පුළුවන් කෙනකුට දීලා යන්න ඕනේ... මේ සෙල්ලම් කරන්නේ රටක් ජාතියක් එක්ක’ දිනේෂ් පැවසීය.
‘ඒ කතාව හරි... මේ විදියට සෙල්ලම් කරන්න දෙන්න බැහැ... මේ අය මේ කරන විනාශය ආපහු හරවන්න ලෙහෙසි නැහැ... එයාල නම් සෙල්ලම් කරලා යයි... අන්තිමට අමාරුවේ වැටෙන්නේ මිනිස්සුයි’ මහින්ද පැවසීය.
‘පාර්ලිමේන්තු සැසිය කැඳවන ගැසට් එක හරියට ගහගන්න බැරි ආණ්ඩුවකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? එකම ගැසට් එක තුන්පාරක් ගහන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ලොකු තැන්වල දැනුම හින්දා තමයි’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ආණ්ඩුවට හොඳ වැඩ බැරි වුණාට පුහු වැඩවලට නම් ඕනතරම් මොළේ තියෙනවා... වෙසක් දිනය වගේම කම්කරු දිනයත් කල්දාපු එකෙන් රටම අවුලකට ගියා’ දිනේෂ් පැවසීය.
‘මේ ආණ්ඩුව ඉතින් රට අවුල් කරන වැඩක් මිසක් වෙන දෙයක් කරන්නෙම නැහැනේ’ පවිත්‍රා පැවසුවාය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු තුනක් ඇතළත විනාශ වෙලා ගියා... නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය මේ පාර මැයි දිනය සමරන්නේ වෙනම... පක්ෂය වෙනම... අන්තිමට පක්ෂයට ඉතුරුවෙලා ඉන්නෙ සභාපතියි, ලේකමුයි විතරයි’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘බණ්ඩාරනායක මහත්තයා ජීවතුන් අතර හිටියා නම් පක්ෂය විනාශ කරපු වරදට මේ අයට හොඳ දඬුවමක් දෙයි’ පවිත්‍රා පැවසුවාය.
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණ සමරුව වෙනුවෙන් පැවැති ගුණ සමරු වැඩසටහන්වල කූටප්‍රාප්තිය වූයේ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අබියසදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ගුණ සමරු උත්සවයයි. විශාල පිරිසක් සහභාගි වූ මෙවර ගුණ සමරු උත්සවයේදී ඔස්ට්‍රේලියාවේ පැවති 2018 - පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණ අත්පත් කර ගත් ඉන්දික චතුරංග දිසානායක, අනුෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු, දිනූෂා හංසනී ගෝමස්, තිවංක සඳරුවන් රණසිංහ, ඉෂාන් රංජීව සෙනෙවිරත්න බණ්ඩාර සහ චතුරංග ලක්මාල් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් මොරටුව, අඟුලාන ‘සයුරුපුර’ මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස 6ක් පිරිනැමීම විශේෂ සිද්ධියක් විය.
‘මේක බොහොම හොඳ වැඩක්. ක්‍රීඩාවට ලොකු හයියක්’ ජනාධිපතිවරයා කියද්දී අගමැතිවරයාද එය අනුමත කරමින් කීවේ ‘බොහොම හොඳයි සජිත් මේක අගය කළ යුතු වැඩක්’ කියාය. උත්සවයේදී සින්ක්කර ඔප්පු, බදු ඔප්පු, හිමිකම් පත්‍ර, විකුණුම් ගිවිසුම් හා ‘සොඳුරු පියස’ ණය ආධාර 2,654 දෙනෙකු වෙත ලබා දුන් අතර දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 81 දෙනෙකුට සහන ලබා දෙන ලදී. සජිත් අගමැතිවරයාට කීවේ ‘දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති අයට සහන සැලසීම අතින් අපේ අමාත්‍යාංශය ඉන්නේ පළමු වැනි ස්ථානයේ’ කියාය. එයද අගමැතිවරයාගේ ප්‍රසාදයට හේතු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd