දළදා හිමි වඳින්නට පැමිණෙන සැදැහැතියන් සිය ඇඳුම් පැලඳුම් පිළිබඳ නිසි විනයක් නොමැති ලෙස පැමිණෙන්නේ නම් ප්‍රධාන වාහල්කඩ අසලදීම පොලිස් නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට සිදුවෙයි.
එනිසාම පොදුවේ දළදා වඳින්නට එන සැදැහැතියන් වෙනුවෙන් 'දළදා වරුණ' නමින් ශ්‍රී දළදා මන්දිරය විසින් පළකරනු ලබන සඟරාවේ පළවූ මතු උපදෙස් කෙරෙහි යොමුවීම ඔබට වඩාත් අනුබලයක් වනු ඇත.
“අප මෙය ඔබ අතට පත්කරනුයේ අප පින් බිමේත්, ජාතියේත් ගෞරවය හා සංස්කෘතිය රැකගැනීමට ඔබත් දායක කර ගනු සඳහාය. මෙම සටහන සිහියෙන්, සැලකිල්ලෙන් කියවන්න.
1. ඔබගේ සංවර ඇඳුම ඔබේ හැදියාවේ සංකේතයකි.
2. ඔබගේ සංවර ඇඳුම මේ පින්බිම රමණීය කරවයි.
3. ඔබගේ සංවරශීලීභාවය මේ පින්බිමට සෝභාවකි. ඔබට ගෞරවයකි.
4. මෙම පින්බිමට එන විට සැරසී පැමිණි ඇඳුම් උචිත දැයි සිහියෙන් සිතන්න.
5. ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට කොට කලිසම් (පිරිමි, ගැහැනු දෙපිරිසම) පලාපු සායවල්, අත් නැති/කොට හැට්ට, දණ හිසෙන් ඉහළට වනසේ කොට වූ සායවල් ඇඳ, පපු පෙදෙස නිරාවරණය වන සේ වූ ඇඳුම් යනාදියෙන් සැරසී පැමිණීමෙන් වළකින්න.
6. ඔබ දළදා මාළිගාවට පැමිණෙන විට චාම්, ලා පාට ඇඳුමෙන් සැරසෙන්න.
7. තද පාට (කළු) ඇඳුම පින්බිමට නොහොබිනා බව තේරුම් ගන්න.
8. ඇඳුම ඔබේ චරිතය කියාපාන කැඩපතක් බව සිතට ගන්න.
9. දළදා මාළිගාව පින්බිමක් මිස පෙම්වතුන්ගේ පාරාදීසයක් නොවන බව සිහියට ගන්න.
10. ඔබට ඇත්තේ දෙඇසක් වුවද ඔබ වටා ඇස් දහසක් ඇති බව මෙනෙහි කරන්න.
ඔබ හැසිරිය යුත්තේ හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්වය. මෙම කරුණු අප ඔබ වෙත ඉදිරිපත් කළේ කරුණාවෙන් බවත්, රට බාර ගන්නට සිටිනා මතු පරපුරට ඔබගේ ආදර්ශය ලබාදීමට බවත් සිහි කරනු කැමැත්තෙමු.” ( උපුටා ගැනීම - දළදා වරුණ / 2011 ජුනි 15 කලාපය)
( අත්කොට හැට්ටයක් හෝ පපුව මැද විවර වූ හෝ ඉහළ කොටස අනවශ්‍ය ලෙස නිරාවරණය වූ ඇඳුමකින් නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණීමට සිදුවන අවස්ථාවකදී දෙඋර සහ ළැමද පහළට වැසෙන සේ වෙනත් රෙදිකඩකින් හෝ ස්කාප් එකක් වැනි දෙයකින් එය ආවරණය කර ප්‍රධාන වාහල්කඩින් ඇතුළු විය හැකිය. දණහිසෙන් පහළට දිගු නොවන ඇඳුමකින් සැරසී ආවිටෙක ඒ සඳහා චීත්තයක් හෝ සරමක් වැනි සුදුසු රෙදි කඩක් පාවිච්චි කිරීමට පොලීසියෙන් උපදෙස් දෙනු ලැබේ.)