මීට වසර ගණනාවකට ඉහතදී මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අතර, ඉන්පසුව එලෙස ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය භාවිත කිරීමට පෙළඹුණි. පසුව බුද්ධ ජයන්තිය සමරමින් ත්‍රිපිටකය පොත් 57කින් යුතුව මුද්‍රණය කිරීමට කටයුතු කළේය. ඉන්පසුව ත්‍රිපිටකය ජනගත කිරීමේ වැඩපිළිවෙළක් නොතිබුණා යැයි පැවසීම වරදක් නොවේ.
ඉන් කලකට පසුව ත්‍රිපිටකය විශ්වගත කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබෙන බව දැනගන්නට ලැබුණි. රජයේ සහයෝගයද ඇතිව පූජ්‍ය අම්බුලුගල සුමංගල හිමියන් විසින් ත්‍රිපිටකය ශබ්දගත කිරීම හෙවත් සංයුක්ත තැටි වෙත පටිගතකර විශ්වගත කිරීමේ කටයුත්ත අරඹා තිබේ.
මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සුමංගල හිමියන්ගේ අදහස් විමසීමක් කළෙමු.
බුත්සරණින් ලද ආභාසය
මීට වසර කිහිපයකට කලින් බුත්සරණ පොත හඬකවන්නට අවශ්‍යයි කියල මට අදහසක් ඇති වුණා. ඉස්සර පන්සල්වල බුත්සරණ කියවද්දී මිනිස්සු අහගෙන හිටියා. ඒ තත්ත්වය මෑතකාලීනව අඩු වුණා. මේ සියලු තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙන බුත්සරණ ග්‍රන්ථය හඬකවා පටිගත කළා. ත්රිපිටකයක් හඬකවලා තියන්න පුළුවන්නම් ඒක මොනතරම් උතුම් කටයුත්තක්ද කියලා මට හිතුණා.
මේ සිතුවිල්ල කාලයක් පුරාවට තිබුණා. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම ලංකාවේදී මෙවර පවත්වන නිසා මේ කටයුත්ත කඩිනමින් කළොත් එය ලෝකයට ධර්මය දෙන්න හොඳ අවස්ථාවක් කියල මට කල්පනා වුණා.
එයට නමක් මමම යෝජනා කළා. ලෝකයෙන් අපේ රටට එන මිනිස්සුන්ට ලබාදෙන්න පුළුවන් උපරිම ත්‍යාගය තමයි ධර්මය. අපිට එය වැදගත් විදිහට දෙන්න පුළුවන්. ඒ සංකල්පයත් හිතේ දරාගෙන මේ කටයුත්ත ආරම්භ කළා.
ත්‍රිපිටකය විශ්වගත කිරීම
මේ කටයුත්ත මුලින්ම මම තනිවම කරනවා කියල හිතුවත් එය එතරම් හොඳ මදි කියලා මට කල්පනා වුණා. මොකද හාමුදුරුවරු මේ ත්‍රිපිටකය රැකගත්තේ තමන්ගේ ජීවිතය වගේ සලකලා.
බුදුහාමුදුරුවෝ මේ ලෝකයට පහළවෙලා විවිධ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳපු ආකාරය තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ.
ඒ දේවල් භික්ෂූන් වහන්සේලා කටපාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවා. එහෙම කළේ ශ්‍රේෂ්ඨ නිසානේ. පසුව ඒ කටපාඩමින් අරගෙන ආපු ත්‍රිපිටකය මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කළා. ඊට කලින් සංගායනා කරලා ත්‍රිපිටකය සංරක්ෂණය කළා.
ඒ ආකාරයට විවිධ යුගවල බුද්ධ වචනය චිරාත් කාලයක් රැකගන්න සංරක්ෂණය කිරීම සිදුකළා. නමුත් මෑත යුගයේ ලෝකය තාක්ෂණය අතින් දියුණු වී තිබෙන මොහොතක ඒ තාක්ෂණය භාවිත කරලා බුද්ධ වචනය සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා කාටවත්ම කල්පනා වී තිබුණේ නැහැ.
මේ නිසාම එය බැරෑරුම්, අභියෝගාත්මක භාරදූර වැඩක්. මේ සඳහා ලංකාවේ සියලුම භික්ෂූන් වහන්සේලා සම්බන්ධකර ගැනීමේ අරමුණින් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් හමුවෙලා, ඔවුන්ව දැනුවත් කරලා, පසුව විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් වල නායක හාමුදුරුවන් දැනුවත් කරලා, සියලුම විශ්වවිද්‍යාල මහාචාර්ය හිමිවරුන්වත් දැනුවත් කරලා මේ වැඩකටයුත්ත ආරම්භ කළා.
ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්
ත්‍රිපිටකය බුද්ධ ජයන්ති පොත් 57ක් තිබෙනවා. මේ පොත් 57 භික්ෂූන්වහන්සේලා 57කගේ හඬින් හඬකවනවා. මධ්‍යස්ත ලාලිත්‍ය හඬකින් යුතුව මේ හඬකැවීම් සිදුකරනවා. එය ඉතාම ඇදෙන හඬක්වත් ඉතාම සෙමින් ගායනා කරපු හඬක්වත් නොවෙයි.
ඕනෑම කෙනෙකුට නිදහසේ ශ්‍රවණය කළ හැකි ආකාරයට මෙය සකස් කරනවා. ශබ්දාගාර 57ක භික්ෂූන් වහන්සේලා 57 ක් මේ වනවිට පටිගත කිරීම් වල යෙදී සිටිනවා. ඒ පටිගත කිරීම් වලදී එක් ස්වාමීන් වහන්සේ නමක් ශබ්දාගාරයක පටිගත කිරීම් කරන විට තවත් ප්‍රවීණ ස්වාමීන් වහන්සේලා තුන්නමක් මේ කටයුත්ත නිවැරදිව කරනවාද කියල එතැන හිඳිමින් සජීවීව පරීක්ෂා කරනවා. එහෙම යම් දෙයක් වැරදුණොත් ඒ මොහොතේදීම එය නිවැරදි කරනවා.
එලෙස පටිගත කරන ලද හඬ පටි දෙවැනි වරටත් පරීක්ෂණ මණ්ඩලයක් යටතේ පරීක්ෂාවට ලක්කරනවා. උන්වහන්සේලාගේ අනුමැතිය ලැබුණොත් පමණයි එහි අවසානය නිමැවුම් කරන්නේ. එහෙම නැතිව කුමන හෝ වැරැද්දක් පෙන්නුවොත් නැවතත් හඬ පටිගතකර ඒ වරද සකස් කළයුතු වෙනවා. එම ක්‍රමවේදය යටතේ පළමු අදියරේ හඬකැවීම් මේ වනවිට සිදුකරමින් පවතිනවා.
රජයෙහි බුද්ධ ශාසන අමාත්‍යවරයා සමග පුද්ගලිකවම මේ පිළිබඳව සාකච්ඡා කළ විට අමාත්‍යවරයා, එක සිතින් එයට කැමැත්ත පළ කළා. ඒ අනුව රජයේ තවත් එක් වැඩපිළිවෙළක් ලෙස ත්‍රිපිටකය හඬ කැවීම සිදුකරගෙන යනවා. අපි සියල්ලගේම අරමුණ වී තිබෙන්නේ වෙසක් මාසය වනවිට මෙය එළිදැක්වීමයි.
අරමුණු රාශියක් සැලසුම් රාශියක්
මෙම ව්‍යාපෘතියේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සැලසුම් දෙකක් තිබෙනවා. කෙටි කාලීන සැලසුම් ලෙස ත්‍රිපිටකය හඬකැවීම හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ත්‍රිපිටකයේ එක පොතක් හඬ කැවීමෙන් පැය 50 ක පමණ කාලයක් ගත වෙනවා. ඒ අනුව හඬකවන ලද සංයුක්ත තැටි මංජුසාවක් ලෙස එය තිළිණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම www.thrpitakaya.com ලෙස ත්‍රිපිටකය සම්බන්ධ වෙබ් අඩවියත් පවත්වාගෙන යාම මීළඟ සැලැස්ම ලෙස පවතිනවා. එයට අදාළ වෙබ් අඩවිය මේ වනවිට නිර්මාණය කර අවසන්.
ඒ හරහා ලෝකයේ ඕනෑම කෙනෙකුට පාලි භාෂාවෙන් ත්‍රිපිටකයේ ඕනෑම සූත්‍රයක්, උප සූත්‍රයක් වූවත් කෙටි කාලයක් ඇතුළත දකින්න අහන්න සැලැස්වීමට හැකි ආකාරයට වෙබ් අඩවිය නිර්මාණය කරනවා.
ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක හිඳ ත්‍රිපිටකයේ ඕනෑම සූත්‍රයක් අහන්න දකින්න අවස්ථාව සලසනවා වගේම, ලෝකයේ සියලුම භාෂාවලින් ත්‍රිපිටකය පරිවර්තනය කිරීම තමයි අපි අරමුණ කරගෙන සිටින්නේ.
ඒ අනුව පාලි භාෂාවෙන් ත්‍රිපිටකය සජ්ඣායනා කරනවිට අදාළ භාෂාවෙන් එය බලන්නට පුළුවන් තාක්ෂණයක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ. එය අවසාන අදියරෙහි පවතිනවා. ඊට ප්‍රථම දෙමළ භාෂාවට ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා.
ආරම්භයේදී මෙය සම්ප්රදාය විරෝධී බවකින් කෙනෙකුට බලන්නට පුළුවන්. නමුත් එහෙම දෙයක් නැහැ. එහෙම චෝදනා ආවත් මේ වනවිට බොහෝ දෙනා මෙහි වටිනාකම තේරුම් ගෙන තිබෙනවා.
කොහොම වුණත් වෙසක් මාසය වනවිට රටේ ජනතාවට අපි සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ කටයුත්ත ධර්ම මහා සංගායනාවක් ලෙස සිදුකරන්නැයි අපි සැලසුමක් ගෙන තිබෙන්නෙ. ඒ අනුව රටේ ලොකු පෙරළියක් මේ තුළින් සිදුවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම තමයි ත්‍රිපිටකය විශ්වගත කිරීම කියන නමින් අපි මේ කටයුත්ත ආරම්භ කළේ.
බුදුරාජණන්වහන්සේ දේශනා කළ, මහරහතන් වහන්සේලා සංගායනා කළ, මහඍෂිවරු ග්‍රන්ථාරූඪ කළ මේ යුගයේ ත්‍රිපිටකය අපි විශ්වගත කරනවා. මුළු විශ්වයටම ත්‍රිපිටකය එකතු කරනවා.
ලෝකයට පිදෙන දායාදය
ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් ලෝකයේ එන සියලුම දෙනාට ලංකාවෙන් ලබාදෙන විශිෂ්ට ත්‍යාගයක් ලෙස පිරිනැමීම මුලින්ම සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.
ඊට පසුව ලංකාවේ සියලුම වෙහෙර විහාර, රජයේ ආයතන වෙත මෙය ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
කොහොම උනත් ත්‍රිපිටකය ජනගත කිරීම තමයි අපගේ අරමුණ. මේ කටයුත්තෙන් පසුව ත්‍රිපිටකය නොදන්නා පුද්ගලයා උනත් මෙය අහන්නට පෙළෙඹෙනවා.
අභියෝග බොහොමයි
අතිශය බැරෑරුම් අභියෝග ආවා. පළමු දෙය තමයි මෙය අලුත් වැඩක්. කවුරුවත් අහලා දැකලා නැහැ. කවුරුවත් තුළ සිතුවිල්ලක්වත් නොතිබුණ වැඩක් නිසා මෙය ආරම්භ කිරීම තරමක අභියෝගයක් වුණා. අවුරදු දෙදහස් පන්සියයක් පමණ කාලයක් රැකපු සංඝ පිරිසට අයිතියක් තිබෙන දෙයක් තමයි ත්‍රිපිටකය. එහෙම දෙයක් එක පාරටම තවත් දෙයක් කරන්න ගියොත් මේ මොකක්ද කරන්නේ කියලා සංඝ පිරිස අතර යම් කතාබහ ඇතිවෙන්න තිබුණා.
ඒ නිසා ශාසනික වශයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට තිබෙන අයිතියක් අනුව තමයි හැම දෙනාම සමග කතාබහ කරලා අපි මේ කටයුත්ත ආරම්භ කළේ. ඇත්තටම මේ කටයුත්ත මහා නායක හිමිවරු හෝ රජය විසින් ආරම්භ කළ යුතුව තිබුණ වැඩක්. එහෙම වෙන්නේ නැති තැන අපි එය ආරම්භ කළා.
ඒ වගේම අතිවිශාල මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවා. භික්ෂුන් වහන්සේලාට දීමනා ලබාදිය යුතුයි. ශබ්දාගාරවලට වගේම එදිනෙදා කටයුතුවලට ආදි රුපියල් කෝටි 11 ක පමණ වියදමක් දරන්නට සිදුවෙන ව්‍යාපෘතියක්.
ඒ නිසා මුදල් අතිනුත් අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඒ නිසාම අරමුදලක් පිහිටුවීමේ අරමුණ තිබෙනවා. ඒ වගේම අවශ්‍ය ශබ්දාගාර සොයාගැනීම, තාක්ෂණික ශිල්පීන්, සම්පත් සොයාගැනීම ආදිය දැවැන්ත අභියෝගයක් වුණා.
ඒ වගේම හඬ පෞරුෂය තිබෙන හාමුදුරුවරු සොයා ගැනීම බොහොම දුෂ්කර කටයුත්තක් වුණා. වෙනම සම්මුඛ පරීක්ෂණයක් අපි හාමුදුරුවන් වහන්සේලා තෝරාගත්තා. හාමුදුරුවන් වහන්සේලා 57 ක් තෝරාගන්න අපිට බැරිවුණා.
කෙනෙකුට හිතන්න පුළුවන් මේක තවත් එක බිස්නස් එකක් කියලා. මෑත කාලයේ ශාසනික වැඩ මුවාවෙන් පටන් ගත්තු කටයුතු බොහොමයක් අවසන් වුණේ ව්‍යපාරවලින්. නමුත් මේ කටයුත්තු තුළ එවැන්නක් නොවිය යුතුයි. ව්‍යාපාර කරනවා නම් ඕනෑ තරම් ක්‍රම තිබෙන ලෝකයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ධර්මය විකුණාගෙන කන්න බැහැ.
ත්‍රිපිටකය තවත්බොහෝ කාලයක් සුරක්ෂිත කිරීමේ අරමුණින් තමයි අපි මේ කටයුත්තට ආරම්භ කළේ.
ධර්මය විකෘති කිරීම මෑත යුගයේ තිබෙන ප්‍රධානම ගැටලුව වෙලා. එක එක්කෙනා තම තමන්ට හිතෙන විදිහට බණ කියනවා. සමහර හාමුදුරුවෝ කිසි දෙයක් නොදැන බණ කියනවා. අපි කරන දෙයක් කළ යුත්තේ ධර්මය පිළිබඳ දැනීමෙන්. නමුත් සාති භික්ෂුවගේ පරම්පරාවෙන් එන අය ධර්මය විකෘති කරනවා. ඒ නිසා නියම දේ ලෝකයට ඉන්නම බොරුකාරයෝ කවුද කියලා මිනිස්සු තේරුම් ගන්නවා. ශාසනය ප්‍රශ්න විසඳීමේ ආරම්භය ලෙස මේ කටයුත්ත හඳුන්වන්න පුළුවන්.