Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජාතිකසමගිය යන්න බහුවාර්ගික, බහුආගමික අනන්‍යතාවක් පවතින රාජ්‍යක යම් තීරණාත්මක සාධකයකි.මන්ද ඒඒ ජාතීන් විසින් තමන්ගේ සංස්කෘතික ආගමික සහ ජාතික අනන්‍යතාව වෙනුවෙන් එකිනෙකාට වෙනස්වූ සමාජ සංස්කෘතික මෙන්ම තැනක නෛතික ක්‍රියාකාරකම්වලට අවනතව එකම රාජ්‍යයක් තුළ කටයුතු කළ යුතු හෙයිනි. එනිසාම මෙවැනි රාජ්‍යයක අණපනත් සහ සිරිත් විරිත් ගරු කිරීමේදී ප්‍රබල අභියෝගයවන්නේ හැම ජාතියකගේම සිත් නොරිදවෙන, සංවේදී සහ ආදරණීය පරිසරයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවකි.
ජාතික සමගිය ඇතිකිරීම යන්න පුද්ගලයාගේ ආකල්ප සහ චර්යාවන් පිළිබඳ ප්රශ්නයකි.එය එකිනෙකාතුළ පවතින ජානගත ලක්ෂණයක් ලෙසද සමාජ විද්වතුන් අවධාරණය කරන විට මනෝ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වත්හු පෙන්වාදෙන්නේ ජාතිය යන්න පුද්ගලයාට ආවේණිකව බැඳී ඇති මනෝ ක්‍රියාදාමයක් වශයෙනි.එනිසා පුද්ගලයාත්, ජාතිකත්වයත් කිසිදු ආකාරයකින්නීතියට හෝ වෙනත් ව්‍යවස්ථා තුළින් තවදුරටත් අනුවර්ගීකරණයකට හෝ බෙදා විකාශය කිරීමට ඇති අවස්ථාව අල්ප බව ඔවුහු පෙන්වා දෙති.කළ යුතුව ඇත්තේ පුද්ගලයාට ප්‍රායෝගිකව අත්විඳීමට ඇති මානව හිමිකම් තහවුරු වන පරිදි කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රාජ්‍ය පාලකයන් සහ ජනතාව යොමුවීමය.
මහජාතිය වන සිංහල ජනතාව විසින් එදා ගමට පැමිණ මුස්ලිම්, දමිළ ජනතාවට රැය ගතකරන්නට නිවහනත්, කුසට බත්පිඟානත්,තිබහට කහට උගුරත් දුන්නේ ජාතික සමගිය අගය කළ ශ්‍රේෂ්ට ජාතියක් වශයෙන් බෞද්ධාගම තුළින් ලබා තිබූ ආභාසය හේතුවෙනි.
අදටත් සිංහල, දමිළ, මුස්ලිම් යැයි භේදයකින් තොරව කොළඹ අග නගරයත්, දකුණ සහ වයඹත් හැම ජාතියක්ම ජීවත්වන්නේ මේ මනුෂ්‍ය සුවඳ ජාතීන් වශයෙන් හඳුනාගත් නිසා මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එවැනි වගන්තියක් ඇති නිසා නොවේ.
එසේ නැතහොත් ජාතීන් අතර සමගිය ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් අටවාගත් දේශපාලන පක්ෂවල නායකයන් සිදුකරන“ජාතික සමගියෙන් හිටපල්ලා'' යන ආයාචනය නිසාද නොවේ. ජනාධිපති හෝ අගමැති නැතහොත් පාර්ලිමේන්තුව පවසන නිසාද නොවේ. ජාතික සමගිය යන්න ජාතීන් අතර තහවුරු වන්නේ ඒ ඒ ආගම් සහ අනන්‍යතා විසින් භාවිතකරන අවබෝධය සහ ඒ සඳහා ඔවුන් ලබාගෙන ඇති හික්මීම තුළය.
ලද දේශපාලන නිදහස මගින් කඩාවැටුණුජාතීන් අතර පවතින සංවේදීතාව රට එක්සේසත් කිරීමේ අවශ්‍යතාව හමුවේ ඵලදායී ආකාරයෙන් ගළපාගැනීම ජනතාවගේ යුතුකම විය යුතුය.ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් රජය විසින් කළ යුතුය.ආගමික නායකයන් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ නායකයන් ජනතාවට ඒ සඳහා පෙළඹවීම් කළ යුතුය.එහෙත් ජාතික සමගිය යන්න ජාතීන් අතර පවතින විරසකයක් වන්නේ මේවනවිට සමාජ අර්බුදයකටත් වඩා එය දේශපාලනීකරණය වූ මාතෘකාවක් බවට පත්ව ඇති හෙයිනි.
අදටත් දේශපාලනමය වශයෙන් උතුරු පළාතේ දේශපාලකයන් සහජීවනයට හෝ ජාතික සමගියට හෝ ජාතික සංහිඳියාවට ඇති නොසතුට එම පළාත් සභාවත් මහඇමති සහ ඇතැම් දේශපාලන නායකයන් විසින් ඉදිරිපත් කරන යෝජනා තර්ක තුළ පැහැදිලිය.
එසේම ජාත්‍යන්තර ඊනියා සටකපට සංවිධාන සහ ව්‍යාජ සංකල්පයන්ගේ උගුලට යටත්ව ආණ්ඩුව විසින් දකුණේ සිංහල බහුතර ජාතියට දක්වන දැඩි නීති කොන්දේසි සහ ජාතික සමගියට හානි කරන්නේ යැයි නගන චෝදනා ජාතික සමගියට රාජ්‍ය මට්ටමෙන් සිදුවන හානියක් යැයි ආගමික නායකයන් සහ ජාතික සමගිය අපේක්ෂා කරන්නෝ පෙන්වා දෙති.
Q ජාතික නායකයන් ජාතික සමගිය වෙනුවෙන් ගත් පියවර මොනවාද?
දේශපාලකයන් සිතන පරිදි ජාතික සමගිය කඩදාසි පිරවීමෙන් හෝ වේදිකා මත මොරදීමෙන් හෝ සිංහල දෙමිළ හෝ මුස්ලිම් ආවාහ විවාහ මගින් පමණක් ඇති කළ හැකි දෙයක් නොවේ. වසරකට වරක් පෝස්ටර් බැනර් ඔසවාගෙන ගොස් වර්ධනය කළ හැකි දෙයක්ද නොවේ. එය ජනතාවගේ හදවතින් ඉපිද බුද්ධියෙන් ක්‍රියාත්මක විය යුතු මානව ගරුත්වයකි.
එහිලා බලපෑම් කළ නොහැකිය.එහෙත් යම් පෙළඹවීම් කළ හැකිය.නමුත් ඒ පෙළඹවීම් තුළ තිබිය යුත්තේ මිනිසුන්වශයෙන් උපන් නිසා පවතින සම්පත්සමානව භුක්තිවිඳිමින් ලෙඩට දුකට, නැති බැරිකමට මගුලට මරණයට එකතුවන සමාජයක් සඳහා වන මනුෂ්‍ය සුවඳ පැතිරීමේ ක්රියාදාමයකි.
ඒ දේ එදා නොතිබුණා නොවේ.සිංහලයාගේ අවුරුදු කෑම මේසයේ දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම දෙනාම රස වින්දෝය. අදත් වෙසක් දිනයේ කතෝලිකයෝත්, මුස්ලිම්වරුත්, බෞද්ධයන් සමග දන්සල් දෙති. මේ හැම ගනුදෙනුවක්ම ජාතික සමගිය නමැති සංස්කෘතිය විනා කමිටු පත්කර හැදු ව්‍යවස්ථා යෝජනාතුළ පවතින අයිතිවාසිකම් නොවේ.
ජාතික සමගිය පිළිබඳ සංවාදය යහපත්ය.එහෙත් නීතිගරුක මිනිසුන් මෙන්ම ආදරය, සෙනෙහස, මානව දයාව දැනෙන මිනිසුන් වෙසෙන රටක ස්වාභාවික නීතියත්, මානව හිමිකම් නීතියත් වාණිජකරණයවීම සහ දේශපාලනීකරණයවී බටහිර සාම්පලයට ගැළපීමට යාමේ කෘත්‍රිම උත්සාහය නොබෙදුනුජාතික සමගිය විකෘතියක් බවට පත් කළ සාධකයක් ලෙස ජනතාව පෙන්වා දෙති.
ජාතික නිදහස යන්න නිවසින් ආරම්භ විය යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකමකි.එතැනින් යාබද නිවසටත්,ඒ දෙගොල්ලන් සමග ගමටත්, ගමෙන් නගරයටත් විකාශය විය යුතුමානව අවශ්‍යතාවකි.අවුරුදු කෑම පිඟාන එයට සාක්ෂි සපයයි.
වැඩිහිටියන් සමාජය තුළ ජාතීන් වශයෙන් බෙදාගන්නා හොඳ හිත දරුවන් පාසල තුළ බෙදාහදාගැනීමට නැඹුරු කරවීම ගුරුවරුන්ගේ වගකීමකි.සතියේ නිවාඩු දිනයක් හෝ සිකුරාදා නැතිනම් ඉරිදා හෝ පෝදා වෙන්ව ඇත්තේ මේ එකමුතුව තවත් අර්ථ ගැන්වීමට පූජ්‍ය පක්ෂයෙන් ඒ සඳහා දක්වන මැදිහත්වීම්වෙනුවෙනි. එය එසේම ඉටුවන්නේද යන්න ප්‍රශ්නාර්ථයක් පමණි.
ජාතික සමගිය පිළිබඳ සංවාද මවන දේශපාලකයන් වසර හතරක් තුළ රුපියල් කෝටි ගණනාවක් ජනතාවගේ නමින් දීමනා වරප්‍රසාද ලැබුවද, ඔවුන් එකිනෙකා වෙනවෙනම ජාතික සමගිය වෙනුවෙන් රටට නොව තම දිස්ත්‍රික්කයට කළේ කුමක්දැයි විමසුවහොත් ඔවුන්ට දීමට පිළිතුරක් නැත. අඩුම තරමින් ඒ සඳහා ඉදිරියේ කිරීමට අපේක්ෂා කරන්නේ කුමක්දැයි ලේඛනගත කරන්න යැයි හිස් කඩදාසියක් දිගු කළහොත් ජනතාවට ආපසු දිගු කරන්නේද ඒ හිස් කඩදාසිය සමග නිවට සිනහවක් පමණි.
Q ජාතික සමගිය විනාශ වූයේ කෙසේද?
නමුත් අවාසනාවකට මෙන් ගත වූ67 වසර තුළ ජනතාව ජාතික සමගිය යන්න වෙත සමීපවීමට නොහැකි වූයේත් පෙර දවස ඒ ජාතික සමගිය පැවතියේත් මේ දුෂ්ට කොළ, නිල්, රතු, කහ දේශපාලකයන්ගෙන් දුරස්ව සමාජය සමග කළ ගනුදෙනු හේතුවෙනි.
අද පූජ්‍ය පක්ෂයත් කොළ, නිල්, රතු වශයෙන් බෙදී නූල් ගැට ගසන විට, යාඥා කරන විට හෝ ආගමික ස්ථානය පාට පොලිතින් පටිවලින් සැරසූ කාර්යාල බවට පත් කරගන්නා විට ඒ තැන්වලින් ජාතික සමගිය වෙනුවට ඇසෙන්නේ ජාතිය විරසක කරවන කතා පෙළකි.එයට අනුබල දෙන ඇතැම් ඊනියා සංවිධානද විදෙස් ඩොලර් පවුම් මත යැපෙමින් ජාතික සමගියට මුවාවී මහජාතිය විනාශ කරන්නේ යැයි නැගෙන චෝදනා ජාතික සමගියට එල්ලවන තර්ජනයකි.
ජාතික සමගිය නමින් සහ යුද්ධය එපා යැයි ගත වූ හතළිස් වසරක් තිස්සේ උතුරේ පවුම් ඩොලර් විසි කළ සංවිධාන සිය ගණනාවකි.එහෙත් අදටත් උතුරේ බුදු පිළිමයක් තබන තැනට හෝ ජාතික සංහිඳියාව පිළිබඳ එම දේශපාලන නායකයන්ට ආකල්පමය වෙනසක් ඇති කිරීමට නොහැකිවී නම් ඒ වෙනුවෙන් වැයකර ඇති හෝ ලබාගෙන ඇති ඩොලර්, පවුම්, යුරෝ මිලියනවල අස්වැන්න නෙළාගෙන ඇත්තේ කවුද යන ප්රශ්නය ජනතාවට නැත්තේ නොවේ.ව්‍යවස්ථාවන්ට හෝ විදෙස් මුදල්වලට ජාතික සමගිය ඇති කළ නොහැකි බවට එය හොඳම සාක්ෂියක් බවට ජනතාව පෙන්වාදෙන්නේ එය ආකල්පමය වෙනසක් මගින් කළ යුතු බවට පවතින හෙළ ජාතික දැක්ම තුළය.
නමුත් අවාසනාවකට ඊනියා දේශපාලකයන්ද, ප්‍රතිපත්ති සම්පාදකයන්ද සිතනුයේ ජාතික සංහිඳියාව යන්න ජනතාව වෙත ව්‍යවස්ථාවකින් හෝ නීතියෙන් කරපිට පැටවූ පසු ජාතීන් අතර සංහිඳියාව ඇතිවේය යන බටහිර චින්තනයකි.එය විවිධ සම්මිශ්‍රණයක් සහ සංස්කෘතික රාජ්‍යයන්ට හුරුපුරුදු දැක්මක් විය හැකි නමුත්, ලංකාව වැනි හෙළ සංස්කෘතියත්, අපේකමත් ඇති බහුතර ජාතියක් වෙසෙන රටකට අනුචිත බව සමාජ විද්වත්හු තර්ක කරති.
එනිසාම මෙවැනි මානව සහ සමාජ ප්‍රශ්න විවරණය වියයුත්තේ නීතිය නොව සදාචාරය සහ හැදියාව තුළ බව ඔවුන් අමතක කිරීමද ජාතික සමගියට දේශීය මුහුණවරක් දීමට පවතින බාධාවකි.
ජාතීන් අතර සමගිය අවශ්‍ය බව අවිවාදාත්මකය. එහෙත් එය ජනසමාජය තුළ නැතැයි පාලකයන්ට දැනෙන්නේ නම් හෝ හෝ තවදුරටත් එය තහවුරු කළ යුතු යැයි සිතන්නේ නම් ඒ සඳහා ඔවුන් යොදාගන්නා ක්රමෝපායන් මොනවාද?
එහිදී පාලකයන්ට ඒ පිළිබඳ සැබෑ අවශ්‍යතාවක් නැතැයි ජනතාවට හැඟෙන්නේ නම් ජනතාව එතැන නියෝජනය නොකරනු ඇත.එතනට අවශ්‍ය වන්නේ ටයිකෝට් ඩෙනිම් හැඳිපැලඳි බටහිර මිනිසුන් නොව දහදිය වගුරුවන ගමේ පන්සලේ, පල්ලියේ එකට හමුවන මිනිසුන්ගේ නියෝජනයකි.
දේශපාලකයන් අපේ ජාතිය පාවාදෙන්නේ යැයි හැඟෙන ක්‍රියා තුළ අප සංවිධානය වියයුතුය යන චේතනාව ජනතාව තුළ දේශපාලකයන් විසින් ඇති කරවන්නේ නම් එයද ජාතික සමගිය ඇතිකරවීමට ප්‍රබල බාධාවකි.
ආණ්ඩුව ජාතික සමගියට බාධා කරවන අර්බුද හමුවේ විනිවිදභාවයකින් කටයුතු කළ යුතුය. ප්රභාකරන් අවි අතට ගත්තේද ඒ සැකය නිසා බවට ඇතැමුන් නගන චෝදනා ජාතික සමගිය හමුවේ විමසුමට ලක්කළ යුතු කරුණකි.
Q ජාතික සමගිය වෙනුවෙන් කුමක් කළ යුතුද?
ජාතික සමගිය අපේක්ෂා කරන්නේ නම් මූලිකව කළ යුත්තේ ඒඒ ජාතීන්ට නිදහසේ ආගම ඇදහීම, සිය සංස්කෘතිය පෝෂණය කරගැනීම සඳහා ජීවත්වීමට හැකි පරිසරයක් ස්ථාපිත කිරීම මිස දේශපාලකයන් කෘත්‍රිමව නිර්මාණය කරන සමාජ ආර්ථික දේශපාලන සහ නෛතික සීමා තුළ ඔවුන් සිර කරවීම නොවේ.
ජාතික සමගිය ඇතිකළ හැකි බව සහ තවදුරටත් ඒ සඳහා පවතින මානව හිතවාදය විකාශය කළ යුතුය යන්න පාලකයන් ක්‍රියාවෙන් ජනතාවට පෙන්වාදියයුත්තේ ජනතාව අදටත් විවිධ ජාතීන් සහ ආගම් වශයෙන් සමීපව ජීවත්වන හෙයිනි.
එසේම තැනින්තැන දේශපාලකයන් විසින්ම නිර්මාණය කරන යම් අර්බුද හේතුවෙන් ඒඒ දේශපාලකයාට, නායකයාට හෝ පාලකයාට එරෙහිව දිගුවන ඇඟිල්ල මගින් ඔහුගේ ආගම,ජාතිය, පක්ෂ, පාට සංඥාගතවනවිට එතැන සිදුවන්නේද ජාතික සමගියට අහිතකර තවත් අර්බුද ගණනාවකි.
අනෙක් අතට සමහර ජාතීන් විසින් සුළුජාතීන් නොසලකා හැරීමට ලක්කරන්නේය යනුවෙන් උතුරු නැගෙනහිර ජාතිවාදී, ගෝත්රවාදී දේශපාලකයන් මවන මහා බොරුව වහාම වෙනස්නොකර ජාතික සමගිය ඇති කිරීම අසීරුය.
සුළු ජාතීන් සහ මහජාතිය අතර ජාතික සමගිය ඇති කරවීමට පෙර රටේ නායකයන්, පාලකයන් සහ ආණ්ඩුව මහජාතිය සමග පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ විශ්වාසය පිළිබඳ යම් හැදෑරීමක් කරතිබේදැයි ජනතාවට පැනයකි. එසේ කළේ නම් බහුතර ජාතියට තම රජය කෙරෙහි පවතින සැකසංකා වටහාගත් පසු සුළු ජාතීන් සමගජාතික සමගිය සම්බන්ධයෙන් කෙසේ දායකවියයුතුද යන පණිවුඩය රජයට ලබාගත හැකිවනු ඇත.
එහෙත් අඩුම තරමින් මහ ජාතියේ විශ්වාසය හෝ දිනාගැනීමට නොහැකි වූ පාලකයන් කිසිවෙකුට ජාතික වශයෙන් අන් ජාතීන් අතර ජාතික සමගිය පිළිබඳ පදනම තහවුරු කළ හැකිදැයි ජනතාව විමසති.
යුද්ධය ඇති වූයේ ජාතික සමගිය බිඳ වැටීම නිසා නම් එයින් පසු ගත වූහය වසරක කාලයතුළ හෝ ජාතික සමගිය ගොඩනැංවීමට පාලකයන්ට නොහැකිවූයේ ඇයිද යන්න සියුම්ව හැදෑරිය යුතු කරුණකි. මෙවර නිදහස් දිනය එයට උචිත ප්‍රවේශයක් සඳහා අනුබලයකි.
එසේ නොමැතිවජාතික සමගිය යනු නිදහස් දිනයට හෝ අවුරුදු, වෙසක්, නත්තල්, දීපාවලී දිනයක තේමා පාඨයක් බවට පණිවුඩ නිකුත් කිරීමට පමණක් යොදාගැනීම ජාතික සමගිය ඇති කිරීමේ සැබෑ කාර්යභාරය නොවන බවද ජනතාව පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd