මෙරට ගමනාගමනය වෙනුවෙන් දුම්රිය සේවය මගින් ඉටුකරන්නේ සුවිශාල වූ කාර්යභාරයකි. මේ සුවිසල් කාර්යභාරය ඉටුකරන්නට රේල් පීලි මතින් ගමන් ගන්නා දැවැන්තයන් පිළිබඳ ඔබ නොදත් තොරතුරු මෙසේ ඔබ වෙත ගෙන එමු.
මෙරට දුම්රිය සේවා ඉතිහාසය අනුව මුලින්ම භාවිතා කොට ඇත්තේ වාෂ්ප එන්ජින්ය. 1846 වසරේදී මුල්ම වාෂ්ප එන්ජිම මෙරටට ගෙන්වා ඇත. එතැන් සිට තවත් බොහෝ වාෂ්ප එන්ජින් දුම්රිය සේවයට එක්විය. මුල් කාලයේ දුම්රිය සේවය හැඳින්වූයේ ' සිලෝන් ගවන්මන්ට් - රේල්වේ' නමිනි. ලංකා දුම්රිය ඉතිහාසය පුරාවටම වාෂ්ප එන්ජින් 400ක ප්‍රමාණයක් ධාවනය වී ඇත.
කෙසේ වෙතත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ ඇති අපහසුතාවයන් මෙන්ම එවකට ඩීසල් දුම්රිය එන්ජින් භාවිතයට පැමිණීමත් නිසා 1953 වසරේදී එවකට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර හෙබවූ ද පසුව පළමු සිංහල ජාතික දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වූ බී.ඩී රම්පාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටටද ඩීසල් දුම්රිය එන්ජින් ගෙන්වීමට කටයුතු කරන ලැබීය.
ඒ අනුව 1953දී මුල්ම ඩීසල් එන්ජිම වූ M1 ඩීසල් එන්ජිම මෙරටට ගෙන එන ලදී. එය එංගලන්තයේ 'බ්‍රශ් ට්‍රැක්ශන්' සමාගමේ නිපැයුමක් විය. ඉන් අනතුරුව ජපානය, ප්‍රංශය, ඉන්දියාව, ජර්මනිය යනාදී රටවල් වලින් ඩීසල් එන්ජින් ආනයනය කොට තිබේ.
වාෂ්ප එන්ජින්
1950 වසර තෙක්ම වාෂ්ප එන්ජින් ධාවනයේ තිබුණි. 'ලියෝපෝල්ඩ්' නම් ප්‍රථම වාෂ්ප එන්ජිම 1864දී මෙරටට ගෙන එන ලදී. ශ්‍රී ලංකාවේ ධාවනය වූ වාෂ්ප එන්ජින් බහුතරයක් එංගලන්තයෙන් ගෙන්වා ඇති අතර, මරදාන දුම්රිය වැඩ බිමේදී වාෂ්ප එන්ජින් 3ක් නිපදවා ඇත. ඩීසල් එන්ජින් ධාවනයට එක්වීමත් සමග වාෂ්ප එන්ජින් භාවිතයෙන් ඉවත් කෙරුණි. මෙසේ ඉවත් කෙරුණ එන්ජින් කිහිපයක් හොඳ තත්ත්වයේ තිබුණද බහුතරයක් විනශ වී ගොස් තිබේ.
'වයිරෝයි ස්පෙෂල්' නම් දුම්රිය ධාවනයට යොදා ගන්නා 'සර් තෝමස් මෙටල්ලන්ඩ්' වාෂ්ප එන්ජිම දැනට ධාවන මට්ටමේ පවතින විශේෂ එන්ජිමකි.
ඩීසල් එන්ජින්
ඩීසල් එන්ජින් ධාවන පංති යටතේ වර්ගීකරණය කර තිබේ. සෑම එන්ජිමකම ඉදිරිපස මුහුණතේ ධාවන පංතියත්, එන්ජින් අංකයත් යොදා ඇත..
මෙහි වර්ගීකරණය මෙසේය
'M' පංතිය - ඩීසල් විදුලි වර්ගයේ එන්ජින්
'W' පංතිය - ඩීසල් හයිඩ්‍රොලික්
'S' පංතිය- ඩීසල් බලවේග කට්ටල
'T' පංතිය - ඩීසල් රේල් කාර්
'N' සහ 'P' පංති- පටු දුම්රිය මාර්ග වල ධාවනය වූ එන්ජින්
'G' සහ 'Y' පංති - ෂන්ටර් එන්ජින්
'M' පංතියේ එංජින්
ඩීසල් දහනය මගින් ලැබෙන බලය විද්‍යුත් ශක්තිය බවට හරවා එම බලය එන්ජින් රෝද වල ඇති මෝටර් වලට ලබාදීම මගින් 'M' පංතියේ දුම්රිය එන්ජින් ධාවන බලය සපයා ගනී.
'M1' දුම්රිය එන්ජිම
මෙය එංගලන්තයේ 'බ්‍රශ් ට්‍රැක්ශන්' සමාගමේ නිපදවා ඇත. මෙය මෙරට ධාවනය වූ පළමු ඩීසල් එන්ජිම වේ. අශ්ව බල 1000ක බලයක් සහිත මෙහි උපරිම වේගය පැ.කි. 88කි. මෙම වර්ගයෙන් එන්ජින් 25ක් ආනයනය කර තිබේ. වසර 30ක කාලයකින් පසු භාවිතයෙන් ඉවත් කරන ලදී.
මෙසේ එන්ජින් කිහිපයක් පරණ යකඩ වලට විකුණූ අතර, ඉතිරි ඒවා රත්මලාන දුම්රිය අංගණයේ දිරා යෑමට හරින ලදී. අංක 560 දරණ එන්ජිම ධාවන තත්ත්වයක නොතිබුණද තවමත් සුරක්ෂිතව පවතියි.
'M2' දුම්රිය එන්ජිම
කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙය ශ්‍රී ලංකාවේ ධාවනය වන සාර්ථකම එන්ජින් අතරින් එකකි. 1954 සිට වරින් වර එන්ජින් 14ක් ආනයනය කර ඇත. මේවා M2A , M2B, M2C, M2D වශයෙන් තවත් උප පංති කිහිපයකට බෙදා ඇත.
මෙහි 571 එන්ජිම ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශ වූ අතර, 591 එන්ජිම සුනාමියට හසු වූ දුම්රියේ තිබූ එන්ජිමයි. එය දැන් ධාවනයේ තිබේ. සියලුම එන්ජින් පාහේ ධාවනයේ පවතියි. උපරිම වේගය පැ.කි. 112ක් වන අතර, අශ්ව බල 1425 ධාරිතාවක් සහිත එන්ජිමක්ද තිබේ.
M3 දුම්රිය එන්ජිම
ඉවත් කරන ලද දුම්රිය එන්ජින් 2ක් භාවිත කොට ශ්‍රී ලංකාවේදී මෙය නිෂ්පදනය කරන ලදී. මේ වන විට භාවිතයෙන් ඉවත් කර ඇත.
M4 දුම්රිය එන්ජිම
කැනඩාවේ 'මොන්ට්‍රියල් ලොකොමොටිව් වර්ක්ස්' සමාගමේ නිෂ්පාදනයක් වන මෙම වර්ගයෙන් 1975 දී එන්ජින් 14ක් පෙන්වන ලදී. මේවා ශ්‍රී ලංකාවේ විශේෂිත ස්ථාන නාම ඇසුරෙන් නම්කර ඇත. සියලුම එන්ජින් ධාවන තත්ත්වයේ ඇත. උපරිම වේගය පැ.කි. 104ක් වන මෙහි අශ්ව බල 1400ක එන්ජිමක් ඇත.
M5 දුම්රිය එන්ජිම
මෙය ජපානයේ 'හිටාචි' සමාගමේ නිපැයුමක් වන අතර, 1979 වසරේදී මෙරටට ගෙන්වා ඇත. අශ්ව බල 1600ක බලයකින් යුක්ත වූ නිසා උඩරට මාර්ගයේද ධාවනය කොට ඇත. පසුකාලීනව දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කළද මෙරටදීම වෙනත් කොටස් යොදා නැවත ධාවනයට එක්කර ඇත.
M6 දුම්රිය එන්ජිම
මෙය සාර්ථක ලෙස ධාවනය වන එන්ජිමකි. 1979 වසරේදී ජර්මනියෙන් එන්ජින් 16ක් ගෙන්වන ලදී. මේවායේ 793 සහ 798 එන්ජින් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් විනාශ වී තිබේ. තවමත් ධාවන මට්ටමේ පවතියි.
M7 දුම්රිය එන්ජිම
දැනට මෙරට ඇති අවම අශ්ව බලයකින් සහ කුඩාම දිගකින් යුතු එන්ජිම මෙයයි. මෙයද 'බ්‍රශ් ට්‍රැක්ශන්' සමාගම නිපදවා ඇත. දැනට මෙය මාතලේ මාර්ගයේද ධාවනය වෙයි. එන්ජින් 16ක් ආනයනය කර ඇති අතර, රඹුක්කනදී සිදුවූ අනතුරකින් එක් එන්ජිමක් විනාශ විය.
M8 දුම්රිය එන්ජිම
මෙය ශ්‍රී ලංකාවේ ධාවනය වන වැඩිම අශ්ව බලයකින් යුතු එන්ජිමයි. එනම් අශ්ව බල 2800කි. උපරිම වේගය පැ. කි. 120කි. මෙම එන්ජිම සහ M10 එන්ජිම ඉන්දියාවේ 'ඩීසල් ලොකො මොටිව් වර්ක්ස්' සමාගමේ නිෂ්පාදනයන්ය.
මෙම එන්ජිම අධික බලයක් අවශ්‍ය වන දුම්රියන් සඳහා යොදාගැනෙන නමුත් උඩරට මාර්ගයේ ධාවනය නොකරයි. 1996 වසරේදී ආනයනය කරන ලදී. 2001 වසරේදී තවත් එන්ජින් 2ක් උඩරට මාර්ගයට උචිත වන ආකාරයට සකසා ගෙන්වුවද එය ධාවනයේදී අසාර්ථක වී තිබේ. මෙය M8A උප පන්තියට යොදා ඇත. සියලුම එන්ජින් ධාවන මට්ටමේ පවතියි.
M9 දුම්රිය එන්ජිම
ප්‍රංශයේ 'ඇල්ස්ටව්' සමාගමෙන් 2000 වසරේදී ගෙන්වන ලද මෙය සුවිශේෂී පහසුකම් සහ නවීන පන්නයේ පරිගණකගත පද්ධතියක් සහිත වුවද, ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියට නොගැළපීම සහ පරිගණක පද්ධතියේ දෝෂ හේතුවෙන් කෙටි කාලයකින් ඉවත් කිරීමට සිදුවිය. නමුත් පසුව මෙරටදී අලුත්වැඩියා කොට එන්ජින් කිහිපයක් ධාවනයට එක්කර තිබේ. එන්ජින් 10ක් ගෙන්වා ඇත.
Class M-10 දුම්රිය
මෙරට දුම්රිය සේවයට අලුතෙන් එක්වූ මෙය ඉන්දියාවේ නිෂ්පාදනයක් වන අතර, 2012 සිට ආනයනය කොට තිබේ. මෙයද නවීන අංගෝපාංග වලින් සමන්විතය. වැඩි වශයෙන් උතුරු දුම්රිය මාර්ගයේ යාල්දේවි දුම්රිය ඇතුළුව ධාවනය කරනු ලබයි.
උපරිම වේගය පැ. කි. 120කි . අශ්ව බල 2300ක එන්ජිමක් සහිතයි.
(දුම්රිය දෙපාර්තමේන්තුවේ තොරතුරු මූලාශ්‍ර ඇසුරිනි)