වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මැටි ආශ්රිත සෙවිලි උළු කර්මාන්තය පසුගිය කාලය තුළ මෙරටෙහි ප්‍රධාන කර්මාන්තයක් බවට පත් වුවත් මේ වන විට එය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව උළු කම්හල් හිමියෝ පවසති.
මහනුවර, පොළොන්නරුව, අනුරාධපුර ආදී යුගවල සිට පැවත එන ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර මෙම මැටි ආශ්රිත සෙවිලි උළු වෙනුවට මෑත කාලයක සිට විවිධ ආදේශක පැමිණීමත්, උළු නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි ලබාගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වයත් නිසා අිද වනවිට උළු කර්මාන්ත ශාලා වැසීගෙන යාමට පටන්ගෙන ඇති බව එම කම්හල් හිමියෝ පවසති.
මීට වසර ගණනාවකට පෙර වයඹ පළාත තුළ උළු කර්මාන්ත ශාලා 600කට ආසන්න සංඛ්‍යාවක් පැවතියද මේ වන විට එය දෙසිය පනහ (250) දක්වා අඩුවී ඇති බවද ඔවුහු පවසති. උළු කර්මාන්තයට අවශ්‍ය මැටි, දර හා පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම නිසාත් ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු වර්ග සඳහා ජනතාව හුරුවීමත් නිසා මෙම කර්මාන්තශාලා ශීඝ්‍රයෙන් වැසී යාමට හේතු වූ බවද උළු කම්හල් හිමියෝ පවසති.
රන් දෑත උළු කර්මාන්ත ශාලාවේ හිමිකරු ඩග්ලස් ජයමාන්න මහතා
"අපිට උළු නිෂ්පාදනයට සුදුසු මැට්ට තියෙන්නේ භූගත ජල මට්ටමෙන් පහළ. නමුත් බොහෝ අවස්ථාවලදී භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් කියන්නේ භූගත ජල මට්ටමෙන් උඩ තිබෙන මැටි කපාගන්න කියලයි. ඒකට හේතුව මැටි කපන වළවල් ගොඩකරන්න වෙන නිසා. ඔවුන් කියනදේත් සාධාරණයක් තියෙනවා. සමහර අය මැටි කපන වළවල් ගොඩ කරන්නේ නැති නිසා හානි සිදුවෙන්න පුළුවන්.
නමුත් භූගත ජල මට්ටමෙන් උඩ තිබෙන මැටි කපලා අපිට මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. ඒ මැටි හොඳ ගඩොල් කර්මාන්තයට. රටක් හැටියට ගත්තම අපිට තියෙන්නේ කුඩා ඉඩක් කියලා අපි දන්නවා. උළු කර්මාන්තයට සුදුසු මැටි තියෙන්නේ මේ මෝරුක්කුලිය, දංකොටුව, යෝගියාන, වයිකාල, මුරුකාන, කටාන වගේ ප්‍ර‘දේශවල. එම ප්‍ර‘දේශවල තිබෙන මැටි කපන එක, ප්‍රවාහනය කරන එක මේ වෙද්දි සීමා කරලයි තියෙන්නේ. අපි කියන්නේ මේ තිබෙන නීතිරීති ලිහිල් කරලා තවදුරටත් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න අවශ්‍ය පරිසරය අපිට සකස් කරල දෙන්න කියලයි"
මල්කා උළු කර්මාන්තශාලාවේ හිමිකරු කේ.කේ.සී. පෙරේරා මහතා
“එදා උළුවලට තිබුණු තැනට වඩා ගොඩක් වෙනස් අද තියෙන තැන. අද උළුවල නිසි ප්‍රමිතියක් නැහැ. ඒ මැටි නිසා. ඇතැම් උළු මෝල් හිමියන් ගඩොල් කපන මැටිවලිනුත් උළු හදනවා. ඒක නිසා නියමිත ප්‍රමිතියක් නැහැ. ඒ වගේම පාලන මිලක් නැහැ. උළු කැටයක් නියම ප්‍රමිතියට හදන්න කිරිමැටි, ගොඩමැටි සහ බංගදෙණිය මැටි කියන වර්ග තුනම ඕන.
අද මැටි එකක් රුපියල් 6000ක් විතර වෙනවා. දර මිල වැඩියි. ලී කුඩු එකක් රුපියල් 4500 ක් විතර වෙනවා. නියම ප්‍රමිතියට උළු කැටයක් හදන්න රුපියල් 32, 33 ක් විතර යනවා. ගඩොල් කපන මැටිවලින් හදන උළු කැටයක් රුපියල් 22, 23 ට දෙන්න පුළුවන්. මේ නිසා නියම ප්‍රමිතියට උළු හදන කම්හල් හිමියන්ගේ උළු අලෙවි වෙන්නේ නැහැ. නිෂ්පාදන වියදමට වඩා උළු මිල පහළ ගිහිල්ලා තියෙන්නේ"
ඊගල් උළු කර්මාන්ත ශාලාවේ හිමිකරු හා සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඇන්ටන් කුරේරා
" අද අපේ මේ උළු කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. හරි හමන් මැට්ටක් නැහැ. මැටි තියෙන තැන්වලින් කපන්න දෙන්නේ නැහැ. මැටි කපපු භූමිය මැටි ගැනීමෙන් පසු නැවත පුනරුත්ථාපනය කරනවා කියන කොන්දේසිය මතයි මැටි ගන්නේ. නමුත් සමහර අයගේ අක්‍රමවත් මැටි කැපීම නිසා ඒ ස්ථාන විනාශ වෙලා.
එයින් උළු කම්හල් හිමියන්ට වෙන්නේ අසාධාරණයක්. මැටි තියෙන තැන් වලින් ගන්න බලපත්‍ර දෙන්නෙත් නැහැ. මැටි හා සම්බන්ධව සිටිනා රාජ්‍ය ආයතනවලට අපි කියන්නේ මේ උළු කර්මාන්තයට අවශ්‍ය ඕනතරම් මැටි මේ දංකොටුව අවට ප්‍ර‘දේශවල තියෙනවා. ඒ මැටි කපන්න විධිමත් ක්‍රමවේදයක් යටතේ බලපත්‍ර ලබාදෙන්න කියලයි.
සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්.ජේ. බැප්ටිස් ප්‍රනාන්දු මහතා
" අපි කැණීම් බලපත්‍රයක් ඉල්ලුවහම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඉංජිනේරුවන් ඇවිත් පරීක්ෂා කරලා ඔහුගේ නිර්දේශය දෙනවා. ඒ නිර්දේශය දීලා අනෙක් ආයතනවල නිලධාරීන් එන්න දීර්ඝ කාලයක් යනවා. එයාලා කල් මරනවා. මැටි කැණීමටකට හොඳ වියළි කාලගුණයක් තියෙන්න ඕන. කාලගුණය ඉකුත් උනාට පස්සෙ බලපත්‍රය ලැබිල වැඩක් නැහැ. එතකොට බලපත්‍රය කල් ඉකුත් වෙනවා. නැවත බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා.
ඔය කියන සියලු ක්‍රමවේද යනකොට මෙතන මේ කර්මාන්තය කඩා වැටෙනවා.මේ සංකීර්ණතා වැඩි වෙනකොට නීතිවිරෝධී කැණීම්වලට මාර්ග විවෘත වෙනවා. නීතිවිරෝධී කැණීම් කරන පුද්ගලයාට මේ නිසා කිසිම ආයතනයක බලපත්‍රයක් අවශ්‍ය නැහැ. ඔවුන්ට තැනක් නොතැනක් නැහැ. ගඟ අයිනක් වුණත් එයාලට කමක් නැහැ. අවිධිමත්ව කපනවා. එළිවෙලා බලද්දී පරිසරයම විනාශ වෙලා. මේ දේවල් වලිනුත් බැට කන්නේ අපි තමයි.
බලපත්‍ර අරගෙන අපි මැටි කැණීම් සිදුකරන්නේ රජයේ ඉඩම්වල නෙමෙයි. පෞද්ගලික සින්නක්කර ඉඩම්වල. බලපත්‍රයට අවශ්‍ය සියලු ගාස්තු අයකරගෙන නීත්‍යානුකූල කැණීමකට අවසර දුන්නහම මේ අවිධිමත් කැණීම් නවතිනවා. එවිට මේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙනවා. පරිසරයත් ආරක්ෂා වෙලා උළු කර්මාන්තයත් පවතිනවා"
පන්නල හේමා රාජපක්ෂ