සංහිඳියාව පිළිබඳව අප නිතරම කතාබහ කරන්නෙමු. නමුත් ගැටලුව වන්නේ සියලු ජනකොටස් සංහිඳියාවෙන් විසිය යුතු බවත්, සංහිඳියාව තුළින් රට දියුණුවට පත් කළ හැකි බවත් කියමින් ජනතාවට වැදි බණ දෙසන්නේ සංහිඳියාවක් ගෑවීවත් නොමැති, දිනපතාම පාහේ දියවන්නාවේදී ජනතාවට විහිළු සපයමින්, මසකට වරක් සටන් ජවනිකා රඟ දක්වන පිරිසක් වීමයි. එවැනි වටපිටාවක් තුළ ජනතාවගේ සංහිඳියාව පිළිබඳ ගැටලු ඇති වීම අරුමයක් වන්නේ නැත. සැබෑ සංහිඳියාව යනු කුමක්ද?, සංහිඳියාව අපට තවත් දුරද යන්න පිළිබඳව විග්‍රහයක් ගෙන ඒමට මෙවර %අද^ සමග සම්බන්ධ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතාය.
'සංහිඳියාව පිළිබඳව හොඳම ආදර්ශ අතීතයේ ඉඳලම ලෝකයට පෙන්නුම් කළේ අපේ රට. උදාහරණයක් විදියට පණ්ඩුකාභය රජ සමය ගැන මහාවංශය දක්වන තොරතුරු ගත්තොත් පණ්ඩුකාභය රජතුමා යක්ෂ වන්දනය සඳහා අනුග්‍රහය දක්වා තිබෙනවා, දේව වන්දනය සඳහා අනුග්‍රහය දක්වලා තිබෙනවා, වෘක්ෂ වන්දනය සඳහා අනුග්‍රහය දක්වලා තිබෙනවා, නිගන්ඨයන්ට, ආජීවකයන්ට, බ්‍රාහ්මණයන්ට සිය ආගමික කටයුතු කරගෙන යාමට ආරාම හැදුවා. ඒ වගේම ලිංග වන්දනය සිදුකළ අයටත්, ශ්‍රමණ භික්ෂූන්ටත් අනුග්‍රහය දැක්වූවා. විශේෂිතම කාරණය තමයි ප්‍රධාන ආගමික ධාරාවන්ගෙන් මිදුණු තමන්ගේම ආගමික විශ්වාසයන් මත කටයුතු කරපු මිත්‍යාදෘෂ්ටික පවුල් පන්සියයකට අධික ප්‍රමාණයකට පණ්ඩුකාභය රජු අනුග්‍රහය දැක්වීම. එතැනදී එතුමා පෙන්වාදී තිබෙනවා තමන් කුමන මතයක් දැරුවත් ඊට ප්‍රතිවිරුද්ධ මත දරන අයගේත් පැවැත්ම පිළිගත යුතු බව. ඒක තමයි සංහිඳියාවේ මූලිකම සිද්ධාන්තය වෙන්නේ.
මේ රටේ බහුතරය වෙන්නේ සිංහල ජනතාව. එය තමයි බැහැර කළ නොහැකි සත්‍ය. නමුත් සිංහල ජනගහනය බහුතරය වූ පමණින්ම දෙමළ හෝ මුස්ලිම් කියන බහුතරයක් නොවන කණ්ඩායම්වලට කිසිදු ආකාරයකින් අගතියක් සිදුනොවිය යුතුයි. ඒ වගේම දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව බහුතරයක් වන සිංහල ජනතාව සුළුතරයක් වන ප්‍රදේශවල සිංහල ජනතාවට අගතියක් සිදු නොවිය යුතුයි. එසේ ෙවනවා නම් කිසිම ආකාරයකින් සංහිඳියාව ගොඩනගන්න බැහැ. ඒ නිසා බහුතරය සුළුතරය කියන දේ නොසලකා සියලු ජනයාගේ අවශ්‍යතා සැපිරීම වැදගත් වෙනවා සංහිඳියාව ඇති කිරීමේ කාර්යයේදී.
මේ රටේ සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් දකින්ට ලැබෙනවා. එකක් තමයි ආගමික වශයෙන් හෝ අපේ ජනතාව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ බෙදී සිටින්න. බුදු දහම ගත්තොත් ඒ සමස්ත ධර්මයේද තිබෙන්නේ සංහිඳියාව. සංහිඳියාවෙන් තොර වූ බුදු දහමක් නැහැ. ඉස්ලාම් දහම ගැන සැලකුවොත් එහි අගයන්නේ සියලු මිනිසුන්ගේ සහෝදරත්වය. ජේසුස් වහන්සේ ලෝකයට ලබාදුන්නේ සාමයේ පණිවුඩය. භගවත් ගීතාවේ පෙන්වා දෙන්නේ සමානාත්මතාව. නමුත් අපි ආගම ආරක්ෂා කරගන්න කියලා භේද බින්න වෙලා කෝලහාල ඇති කරගන්නවා නම් පැහැදිලිවම එතන සිදුවෙන්නේ ශාස්තෘවරයාගේ පණිවුඩය පසෙකින් තබලා තමන්ගේ හිතුමනාපය අනුව ධර්මය වෙනස් කරගෙන ජනතාව කටයුතු කිරීමයි. ඒ නිසා අපි මොනයම් හෝ ආගමක් අදහනවා නම් කළ යුත්තේ එහි හරය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. එහෙම කරනවා නම් සංහිඳියාව නිරායාසයෙන්ම සමාජය තුළ නිර්මාණය වෙනවා.
අනෙක් කාරණය තමයි ආර්ථික ක්‍රියාවලියේදී සියලු ජනකොටස්වලට දැනෙන ආකාරයේ සංහිඳියාවක් ඇති කිරීමට අප අසමත් වෙලා තිබෙනවා. දැන් තිබෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමයක්. ඒ හරහා මොනරාගල වැනි ප්‍රදේශවල සිටින ගොවියාට, කම්කරුවාට ආර්ථික ප්රතිලාභ ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා පොළොන්නරුවේ වුණාට එහි ඉන්න ගොවීන්ට කම්කරුවන්ට ආර්ථික ප්රතිලාභ ලැබෙන්නේ නැහැ. විපක්ෂ නායකයා යාපනයේ වුණාට එහි ඉන්න ගොවීන්ට සහ කම්කරුවන්ට ආර්ථික ප්රතිලාභ ලැබෙන්නේ නැහැ. නිදහසින් පස්සේ අවුරුදු 70ක් දක්වා මේ තිබෙන පාලනයේත්, අධිරාජ්‍යවාදී පාලනයේත් තිබෙන ආර්ථික ප්රතිලාභ බෙදී යෑමේ විෂමතා නිසා සිංහල මහ ආණ්ඩුවක් තිබෙන රටක දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව සිතනවා අපි දෙමළ වූ නිසා, මුස්ලිම් වූ නිසා එහෙමත් නැත්නම් මේ රටේ සුළුතරය නියෝජනය කිරීම නිසයි අපිට මේ ප්රතිලාභ නොලැබෙන්නේ කියලා. නමුත් බහුතරයක් වූ සිංහල ජනතාවටත් ඒ දේමයි සිදුවෙලා තිබෙන්නේ. සෑම ජනකොටසක්ම මෙතනදී පීඩාවට පත්වෙලා තියෙනවා. ඒ අනුව පැහැදිලියි ආර්ථික ප්රතිලාභ රටේ ජනතාවට සමානව භුක්ති විඳීමට අවස්ථාව සැලසීමට සියලු රජයන් අසමත්ව තිබීම සහ ඒ සඳහා නිසි අනාගත සැලසුමක් හෝ ඔවුන් තුළ නොතිබීම සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී තිබෙන බව.
අද රැකියා අවස්ථා ලබාදීමේදීත් දේශපාලන පක්ෂය, ඇමතිවරයා කුමන ජාතිකයෙක්ද, ප්‍රදේශය කියන කාරණා බලපානවා. නමුත් යම් පුද්ගලයෙක්ට දේශපාලන හෝ ජාති භේදයකින් තොරව රැකියා අවස්ථාවක් ලැබෙනවා නම් ඒ පුද්ගලයාගේ මනසේ සංහිඳියාව නිරායාසයෙන්ම ගොඩනැගෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්ත මිනිස්සු වෙනුවෙන් අපි මෙතෙක් කාලයකට කරපු දෙයක් තියෙනවද, දේශීය ගොවි ජනතාවට දිවිනසා ගන්නට වෙන විදිහේ වටපිටාවක් තිබෙනවා නම්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ බරපතළ විෂමතාවක් තිබෙනවා නම් සංහිඳියාව ගොඩනගන්න බැහැ. අපේ අධ්‍යාපන ක්ෂේත්රයේත් බරපතළ ප්‍රශ්න තිබෙනවා. දරුවන්ගේ කුසලතා, ආකල්ප සංවර්ධනය නොකර පුහු මිනිසුන් පමණක් බිහිකරන, විභාගවලින් අසමත් කරලා අධ්‍යාපනයෙන් දරුවන් විශාල ප්‍රමාණයක් පිටමං කරලා දමන අධ්‍යාපන ක්‍රමයක් තියාගෙන සංහිඳියාව ඇති කරන්න හැකියාවක් නැහැ. දිනපතාම පොදු ප්‍රවාහනයේ විෂමතා නිසා මාර්ග තදබද නිසා පීඩිත මානසිකත්වයක් ජනතාවට ඇති වෙනවා නම් ඒ මනසේ සංහිඳියාවක් හදන්න බැහැ. සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල වශයෙන් පවතින අඩු ලුහුඬුකම් සහ විෂමතා නිසා ජනතාව පීඩාවට පත් වෙද්දි සංහිඳියාව ඇති කරන්න බැහැ. සංවර්ධනය කියමින් දුරදිග නොබලා කරපු වැඩ නිසා මුළු මහත් ප්‍රදේශයකම ජනතාව දැඩි පීඩාවකට පත් වෙද්දී, ඒ ඔස්සේ විවිධ පරිසර ව්‍යවසන මතුවෙද්දී සංහිඳියාවක් ගැන කතාකරන්න බැහැ. මේ කතා කළේ ක්ෂේත්‍ර කිහිපයක් ගැන විතරයි. මේ අකාරයට ජනතාව දැඩි පීඩනයක සිටින සමාජ වටපිටාවක් ඇතුළේ සංහිඳියාවක් පිළිබඳ කතා කිරීමම විකෘතියක් පමණයි. ප්රභාකරන් වැනි පුද්ගලයන් බිහිවෙන්න හේතු වුණෙත් මේ වටපිටාවමයි. ප්රභාකරන් කියන පුද්ගලයා නැති කළත් අපි තවම ප්‍රභාකරන්ලා බිහිවීමට හේතුවෙන ගර්භාෂය තවමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා යුද අරගල තවතවත් ඇති වෙන්න ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.
මේ ගතවුණු කාල සීමාව තුළ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලා රට දියුණුවට ගෙනියන්න අපට අවස්ථා දෙකක් ලැබුණා. ඉන් එකක් තමයි 2004 වසරේදී ඇතිවුණු සුනාමි ව්‍යසනය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් භේදයක් නැතිව ජීවිත විශාල ප්‍රමාණයක් ඉන් අහිමි වුණා. ඒ අවස්ථාවේදී මිනිස්සුන්ගේ ආකල්පවල වෙනසක් ඇති වුණා. ජාත්‍යන්තරයේ අවධානය සහ සහයෝගය ලැබුණා. එතැනදී යම් කාලයකට සියලු භේද අමතක කරලා මේ රට ගොඩනගමු කියලා සියලු ජාතීන්, පක්ෂ එකතු කරගත් වැඩපිළිවෙළක් හදන්න එවකට රජය කටයුතු කළා නම් මේ තත්ත්වය අද වෙනස් වෙන්න ඉඩ තිබුණා. නමුත් පැවැති රජය කළේ ඒ වෙනුවට තවත් බෙදුම්වාදය පෝෂණය කිරීමයි. අනෙක් අවස්ථාව තමයි 2009 වසරේදී ප්රභාකරන්ගේ මරණයත් සමග යුද්ධය අවසන් වීම. එතැනදී %උතුරු වසන්තය^ සහ %නැගෙනහිර නවෝදය^ බෝඩ් එකකට පමණක් සීමා නොකර ප්‍රයෝගිකව සියලු ජනකොටස් එකමුතු කරන වැඩපිළිවෙළක් සකස් කළා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.
සංහිඳියාව කියන එක මුලින්ම ඇති වෙන්න ඕන මිනිස්සුන්ගේ සිත්වලයි. මිනිස්සුන්ගේ හිත්වල එවැනි සංහිඳියාවක් නිර්මාණය වෙන්න නම් ඔවුන්ට පිළිගත හැකි සාධාරණව ජීවත්වීමට සුදුසු වටපිටාවක් හදන්න පාලකයන් කටයුතු කරන්න අවශ්‍යයි. අපේ ජනතාවත් අසමත් වෙලා තිබෙනවා සංහිඳියාවක් ඇති කරන්න හැකියාව තිබෙන පිරිසක්, සංහිඳියාවක් සහිත පිරිසක් බලයට පත්කරන්න. දේශපාලඥයන් අතර විවිධ ජාතීන්ට අයත් පිරිස් ඉන්නවා. නමුත් ඔවුන් හොඳ සංහිඳියාවකින් ඉන්නවා. ඔවුන්ගේ සංහිඳියාවේ යම් බිඳ වැටීමක් වෙන්නේ තනතුරු සහ වරප්‍රසාද බෙදාගැනීමේදී පමණයි. සංහිඳියාව සහ සමානාත්මතාව සමාජය තුළ යථාර්ථයක් බවට පත්නොකර පෝස්ටර්, බැනර්, කටවුට් ගහලා, රූපවාහිනියේ පුහු වැඩසටහන් කරලා ප්‍රචාරණ තලයේ සන්දර්ශන පැවැත්වුවාට මහ පොළොවේ සංහිඳියාව ගොඩනගන්න බැහැ.'