රටක ජාතික වශයෙන් වැදගත් වන තීන්දු තීරණ ගැනීමේදී එය සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එසේ නොමැති නම් අමාත්‍ය මණ්ඩලය හෝ රජයේ ආයතනයක් මගිනි. මෙවැනි ක්‍රමවේදයක් සකස්කර තිබෙන්නේ රටේ ජීවත් වන සමස්ත ජනතාවටම යහපතක් කිරීමටය. එසේ නොමැති නම් සැමට සාධාරණය ඉටු කිරීමටය.
මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන රටවල අනවශ්‍ය ගැටුම් නැත. අනවශ්‍ය ආකාරයට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේද නැත. එහෙත් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී, සමාජවාදී ජනරජය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව තුළ මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන තරම්ය.
රටේ ජාතික වැදගත්කමක් ඇති බහුතර සිද්ධීන්වලදී බොහෝ තීන්දු තීරණ ගන්නේ වෘත්තීය සමිති විසිනි. එසේ නොමැති නම් දේශපාලන පක්ෂ විසිනි. මේ නිසා මේ රටේ ජීවත් වන අති බහුතර ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝනය වෙමින් තිබේ.
මේ නිසා ජාතික තීන්දු තීරණ ගැනීම පාර්ලිමේන්තුවෙන් හෝ අමාත්‍ය මණ්ඩලයෙන් හෝ එසේ නොමැති නම් රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන ආකාරයේ වැඩපිළිවෙළක් රට තුළ වහාම ක්‍රියාත්මක කළ යුතුය.
යම් තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති හෝ වෙනත් සංවිධානවලින් හෝ අදහස් ලබාගැනීමක් සිදුකළාට ගැටලුවක් නැත. එහෙත් තීන්දු තීරණ ගැනීම වෘත්තීය සමිති හෝ වෙනත් කණ්ඩායමක් විසින් හෝ සිදුකරනු ලබන්නේ නම් එය රට අරාජිත තත්ත්වයකට ඇද දැමීමකි.
මේ අරාජිත තත්ත්වය අද වන විට ආරම්භ වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ ජනතාවට අවශ්‍ය ලුණු කැටයේ සිට මිනීපෙට්ටිය දක්වා වූ සියලුම භාණ්ඩවල හා බහුතර සේවාවවන් වල මිල, ප්‍රමිතිය තීරණය කරමින් සිටින්නේ වෘත්තීය සමිති හෝ වෙළෙඳ ප්‍රජාවක් විසිනි.
මෙය රටක් තුළ සිදුනොවිය යුත්තකි. තවත් දින කිහිපයකින් සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී ඉහළ දමනා මුදල තීරණය කිරීමට ජාතික ගමනාගමන කොමිසමට නීතිමය අයිතියක් තිබේ.
එහෙත් දැනට වාර්තා වන ආකාරයට එම මිල ගණන් තීරණය කර තිබෙන්නේ එක්තරා බස් වෘත්තීය සංගමයක අවශ්‍යතාවයක බවට රට තුළ කතාබහක් ඇති වී තිබේ.
ගෙවී ගිය කාලය ගතහොත් බස් සංගම්වල තර්ජනයට, ගර්ජනයට යට වී ගාස්තු ඉහළ දැමූ අවස්ථාද තිබේ. මේ නිසා දැනට රට තුළ ඇති වී තිබෙනා කතාබහ බැහැර කිරීමට හැකියාවක් නැත.
එක්තරා අවස්ථාවකදී බස් සංගම්වල බලපෑම නිසා ජාතික ප්රතිපත්තියකට අනුව ලැබිය යුතු ගාස්තුවකට වඩා 4%ක ගාස්තුවක් බස් හිමියන්ට හිමි විය. මේ හරහා බස් මගීන්ට අසාධාරණයක් සිදුවුවත් සිදුවූ අසාධාරණයෙන් ජනතාව මුදවා ගැනීමට බලධාරීන් කටයුතු කළේ නැත. මීට අමතරව ජූලි 10 වැනි දින සිට ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමන බවට ත්‍රිරෝද රථ සංගමයක් මේ වන විට අනතුරු අඟවා ඇත. ඔවුන් පවසන ආකාරයට පළමු කිලෝමීටරයට අයකරන මුදල රුපියල් 10කින් ඉහළ යාම සිදුවේ.
ඒ අනුව රුපියල් 50ක්ව පවතින පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 60ක් දක්වා ඉහළ යාම සිදුවේ. දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40 ගාස්තුව එලෙසම පවතින බවට එම සංගමය සඳහන් කරයි.
එහෙත් ඔවුන් කියනා දේ නිවැරදිද යන්න සොයා බැලීමට ලංකාව තුළ ආයතනයක් නැත. මීට අමතරව ත්‍රි‘රෝද රථ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් මගී සේවාවල නිරත වේ. එහෙත් එම සේවාව නියාමනය කිරීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නැත.
අදාළ සියලුම කටයුතු සිදුවන්නේ වෘත්තීය සමිතිවල අවශ්‍යතාව මතය. වෘත්තීය සංගමය සඳහන් කරන ආකාරයට දැනට රුපියල් 50ක්ව පවතින ගාස්තුව රුපියල් 60ක් වීම යනු මීටර් 700-750ක් ත්‍රිරෝද රථයකින් ගමන් ගන්නා රෝගියෙකුට පවා රුපියල් 60කට යටත් කිරීමකි. මන්දයත් ත්‍රිරෝද රථයකට නගින විටම ගාස්තුව තීරණය වී තිබෙන බැවිනි.
මීට අමතරව බත් පැකට්ටුවක මිල, ප්ලේන්ටියක මිල තීරණය කරනු ලබන්නේද වෘත්තීය සංගම් විසිනි. යම්කිසි අවස්ථාවක සහල් කිලෝවක මිල රුපියල් 05කින් ඉහළ දැමුවහොත් බත් පැකට්ටුවක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට වෘත්තීය සංගම් කටයුතු කරයි.
සහල් රුපියල් 05කින් ඉහළ යන විට බත් පැකට්ටුව රුපියල් 10කින් ඉහළ දැමුවේ කුමන සූත්රයකින්ද යන්න ජනතාව හෝ මිල ඉහළ දමන සංගම් දන්නේ නැත.
ඔවුන් කරන ක්‍රියාවට අනුව පෙනී යන්නේ බත් පැකට්ටුවක් සකස් කිරීමට සහල් කිලෝ 02ක් යන බවයි. එහෙත් යම් ලෙසකින් සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු වුවත් බත් පැකට්ටුවක මිල රුපියල් 05කින් අඩු කිරීමට කිසිදු සංගමයක් ඉදිරිපත් වෙන්නේ නැත.
පසුගියදා සීනි ආනයනකරුවන්ගෙන් කිලෝවකට රුපියල් 10ක බදු මුදලක් අය කිරීමට රජය තීරණය කළේය. ලෝක වෙළෙඳ පොළේ සීනි මිල පහළ යාම සැලකිල්ලට ගෙන ව්‍යාපාරිකයන් ලබනා ලාභයෙන් මෙම බදු මුදල අයකරන බවත්, මේ හරහා සීනි මිල ඉහළ නොයන බවත් හා රජය අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කරනු ලැබිණි.
එහෙත් ආපනශාලා හිමියන්ගේ සංගමයන් ඉදිරිපත් වී සීනි මිල ඉහළ යාමට සාපේක්ෂව ප්ලේන්ටියක, කිරි තේ එකක මිල රුපියල් 05කින් ඉහළ දමන බවට ප්‍රකාශ විය.
මේ අනුව ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් ප්ලේන්ටියක හා කිරි තේ එකක මිල ඉහළ දමනු ලැබිණි. ආපන ශාලා හිමියන්ගේ සංගමයක් කඹේ කඩාගත් හරකුන් මෙන් හැසිරුණත්, ලෝක වෙළෙඳ පොළේ සීනි මිල අඩුවීමට සාපේක්ෂව සීනි කිලෝවක තොග මිල රුපියල් 03 කින් පහළ දමනු ලැබිණි.
එහෙත් ඉහළ දැමූ ප්ලේන්ටියේ මිල හෝ කිරි තේ එකේ මිල පහළ දමනු ලබන බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ නැත.
රට තුළ සහල් පාලන මිලක් හා වී කිලෝවක් මිලදී ගැනීම සඳහා පාලන මිලක් තිබේ. නමුත් සහල් අලෙවි කරන මෝල් හිමියන් සහල් මිල ශත පහකට ගණන් ගන්නේ නැත. අද වන විට සහල් මිල තීරණය කිරීම සම්පූර්ණයෙන්ම මෝල් හිමියන් සතු කරගෙන ඇත.
ඒ තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමට මේ රටේ ආණ්ඩුවට කොන්දක් නැති තරම්ය. ආණ්ඩුවට කොන්දක් තිබුණා නම් රජය සතු ආරක්ෂිත වී තොග සහල් බවට පත්කර හෝ විදේශ රටවලින් ආනයනය කරන පාලන මිලට සහල් ලබාදීම සිදුකළ යුතුය. අදටත් එම වගකීම ආණ්ඩුව විසින් ඉටුකර නැත. රටේ ජනතාවගෙන් බහුතරයක් බේකරි නිශ්පාදන දෛනිකව භාවිතා කරනු ලබයි.
බේකරි නිශ්පාදන සඳහා භාවිතා කරන තිරිඟු පිටි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබුනද කිසිඳු බේකරි නිෂ්පාදනයක් සඳහා පාලන මිලක් නැත. සියළුම මිළ ගනන් තීරණය කරනු ලබන්නේ බේකරි හිමියන් සහ වෙළදසල් හිමියන් විසිනි.
මීට අමතරව පෞද්ගලික රෝහල්, පෞද්ගලික පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපිත කරන බවට දේශපාලනඥයන් කෑමොර දුන්නත්, ඒ සඳහා අයකරන ගාස්තුවක් හෝ ප්‍රමිතියක් තීරණය කිරීමට මෙතෙක් නොහැකි වී ඇත.
මේ නිසා ප්‍රතිකාර ගැනීමට යන අහිංසක රෝගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගැනීමට පෞද්ගලික වෛද්‍ය ආයතන නිරතුරුවම කටයුතු කරනු ලබයි.
සේවා සැපයීමේදී හෝ ඖෂධ නිකුත් කිරීමේදී නේවාසික කාමර ගාස්තුව කොතරම්ද යන්න ප්‍රදර්ශනය කිරීමටවත් මෙම ආයතනය කටයුතු කරන්නේ නැත. මීට දශක දෙක තුනකට එහා කාලය ගතහොත් පෞද්ගලික ස්ථාන වලින් ප්‍රතිකාර ලබාගත්තේ යමක්කමක් ඇති පිරිසය.
නමුත් නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ ක්‍රියාත්මක කරන බවට දේශපාලනඥයන්, ආණ්ඩු කරවන ඇත්තන් ප්‍රකාශ සිදුකළත් එය නිසි ලෙස සිදු නොකිරීම නිසා රෝගී වන ජනතාවට කනකර උකස් කර හෝ පෞද්ගලික සෞඛ්‍ය ආයතන වලින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබේ.
රට තුළ මිල නියාමනයක් නොමැති නිසා මෙලෙස පැමිණෙන ජනතාව තමන්ට හිතූ හිතූ ආකාරයට සූරාගෙන කෑමට පෞද්ගලික වෛද්‍ය ආයතන කටයුතු කරනු ලබයි.
පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්වල තත්ත්වයද මේ හා සමානය. මීට දශක කිහිපයකට පෙර මෙම ස්ථානවලට තම දරුවන් අධ්‍යාපනයට යොමු කළේ යහමින් මුදල් ඇති පිරිස්ය.
එහෙත් රට තුළ ජනප්‍රිය හා ජාතික පාසල් සංස්කෘතියක් ඇතිකිරීම නිසා පාසලක අල්ලපු වත්තේ සිටින දරුවන්ට පවා පාසල්වලට ඇතුළත් වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
ළඟම පාසල හොඳම පාසල බවට පත්කර පාසල් අවට දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය කටයුතු ලබාදෙන බවට සඳහන් කළත්, නගරයේ පවතින පාසල් වලට නගරයේ සිට කිලෝමීටර් 20ක්, 30ක් දුර ගෙවාගෙන පැමිණෙන දරුවන්ද සිටිති. පවතින මෙම තරගය නිසා දෙමාපියන් සොයන ආකාරයේ පාසලක් නොලැබුණහොත් ඉඩකඩම් උගස් කර හෝ දෙමාපියන් පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් වලට දරුවන් ඇතුළත් කරති.
මෙලෙස පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත ඇතුළත් වන දරුවන්ගෙන් හිතූ හිතූ මිල ගණන් අය කිරීමට මෙම ආයතන පාලනය කරන පිරිස් කටයුතු කරනු ලබයි.
මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මිල පාලනයක් ඇති කිරීමට ජාතික වශයෙන් තීන්දු තීරණ නොගැනීම නිසාය.
එමෙන්ම වෙළෙඳ පොළ තුළ භාණ්ඩ අලෙවි කිරීමේදීද ස්ථිර මිල ගණන් සඳහන් කර නොමැති සෑම භාණ්ඩයකම මිල තීරණය කරනු ලබන්නේ ව්‍යාපාරිකයන් විසිනි.
මේ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන ලුණුකැටයේ සිට සහල් කිලෝව දක්වා වූ සෑම භාණ්ඩයකම මිල සැබෑ වටිනාකමට වඩා විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
එකම ප්‍රදේශයකින් වුවත්, එකම භාණ්ඩය අලෙවි වන්නේ විවිධ මිල ගණන් යටතේය. එහෙත් රට තුළ ජාතික මිල ප්‍රතිපත්තියක් තිබුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැත.
මීට අමතරව පොදු වැසිකිළි භාවිත කිරීම වෙනුවෙන්වත් රට තුළ එකම මිල ප්‍රතිපත්තියක් නැත. සමහර ස්ථානවල පොදු වැසිකිළි භාවිත කිරීමේදී රුපියල් 10ක් අයකරන අතර, සමහර ස්ථානවලදී එය රුපියල් 20කි.
එහෙත් මෙම ස්ථාන දෙකෙන් කොතැනට ගියත් ජනතාව සිදුකරන්නේ එකම කාර්යයන්ය. ලබාදෙන පහසුකම ගතහොත් මෙම ස්ථාන දෙකේම කිසිදු වෙනසක් නැත.
මේ නිසා වැසිකිළියක් භාවිත කිරීම වෙනුවෙන් අයකරන මුදල තීරණය කිරීමටවත් මේ රටේ වගකිවයුත්තන්ට නොහැකි වී ඇත. මෙය ඉතාමත් අවාසනාවන්තම තත්ත්වයකි.