ක්‍රිකට් තහනම් කළයුතු යැයි නායක හිමිවරු පිරිසක් ඉකුත්දා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ. ඒ පාසල් සිසුන් අතර පවතින බිග් මැච් උන්මාදය හේතුවෙන් සමාජය තුළ සිදුවන අහිතකර තත්ත්වයන් පිළිබඳ කතාබහත්, හිංසාකාරී සමාජ විරෝධී දූෂිත ක්‍රියාවන්ට වත්මන් තාරුණ්‍යයේ පූර්වාදර්ශයන් හේතුවෙන් මතු ළමා පරපුරද බිහි විය හැකිය යන සාධාරණ බිය සහ සැකය හේතුවෙනි.
බිග්මැච් උන්මාදය මෑතකාලයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන අවාසනාවන්ත ලක්ෂණයකි. මෙයට වසර තිහ හතළිහකට පෙරද මෙවැනි තරග අවස්ථා පාසල් අතර සිදුවිය. එහෙත් මෙවැනි කලහකාරී සහ හිංසාකාරී තත්ත්වයක් දකින්නට නොලැබුණි. මේ තරමින්ම මහත් ආන්දෝලනාත්මක සමාජ හිංසනයන් හෝ ක්‍රීඩාවේ සදාචාරාත්මක දැක්ම යටපත් කරමින් එය අප්‍රසන්න ආකාරයෙන් ආසන්න අවුරුදු කීපය තුළ සිදුවන්නේ යැයි මේ දෙස බලා සිටින ජනතාව චෝදනා කරති.
ගෞරවණීය සංඝයාවහන්සේලා ගතවූ පෙබරවාරි 20 දින මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කරන්නේද ඒ දකින දේ තවදුරටත් ජනසමාජයට කෙසේ ඔරොත්තු දිය හැකිද හෝ දරාගත හැකිද යන බියමුසු අවදානමකි. යම් සංවාදයක් වෙනුවෙන් වගකිවයුතු අංශයන්හී අවධානයට මෙම කරුණ යොමු කරවීම සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් උන්වහන්සේලාට ප්‍රණාමය හිමි විය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත.
ක්‍රීඩාව යනු තරගයකි. තරගයකදී පවතින ලක්ෂණ දෙකකි. එකක් එහි නීතිරීති පැත්තය. අනෙක ක්‍රීඩාව තුළින් මතුවන සදාචාරාත්මක පැත්තය. තරගය පැවැත්විය හැකි කොන්දේසි මෙහි තරග නීතිරීති බවට පත්වෙයි. ඒ කොන්දේසි යටතේ අවසන් වන තරගයේ ජය පරාජය තුළ එහි සදාචාරාත්මක අවස්ථාව තහවුරු කෙරේ.
ක්‍රීඩාව විකෘති උන්මාදයක් බවට පත්වන්නේ දේශපාලකයන්ගේ දරුවන් ක්‍රීඩාවට රිංගා අලුත් සෙල්ලම් දැමීමට යාමෙන් පසු බවට ක්‍රීඩකයන් විසින්ම චෝදනා කරයි. එය කිසිසේත් ලඝුකොට සැලකිය නොහැකි කරුණකි. හිටපු පාලකයන්ගේ පුතුන් රගර් ක්‍රීඩාවේ සින්නක්කර අයිතිය රඳවා ගැනීමට ගිය විපාකය නිසාවෙන් හැමදාමත් රගර් හෝ ක්‍රිකට් ක්‍රීඩාපිටියෙන් ඇසුණේ ගුටිකෙළ පිළිබඳ කතාබහකි. බොහෝවිට ජයගත් පිළට පහරදී පරාජිත පිළ කුසලානය ගෙන ගියේ යැයි ඇසුණේද ඒ විරසකය හේතුවෙනි.
ජීවමාන බුදුහිමි වැඩ හිඳින මහනුවර නගරයේ විදී වසා දමා මාලිගාව අභියස ගණිකා මඩම්, මස් අවහන්හල් සහ තැබෑරුම් සමග කාර් ධාවන තරගය කළ යුගය ජනතාව පිළිකුළෙන් බැහැර කළෝය. ක්‍රීඩාව යන්නෙහි ගරුත්වය, විශ්වසනීයත්වය සහ පිළිගැනීම නම් වූ ගුණාංග විනාශ කළේ රටේ නායකයන් මෙන්ම පාලකයන් සහ ඔවුන්ගේ උරුමක්කරුවන් යැයි අදටත් ක්‍රීඩාවට ආදරය කරන මිනිසුන් නඟන චෝදනාවද බැහැර කළ නොහැකි තරම්ය.
ගතවූ වසරේ ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකට විසි කළ බෝම්බ ගැන ඇසුණි. කටගොන්නක් මත්පැන් පානය කළ පාසල් සිසුන් මුහුණු පුරා වර්ණ ආලේපන තවරා ගනිමින් තරුණියන් ලෙස වෙස් වළා ගනිමින් නගර පුරා සැරිසරන ආකාරය ජනතාව කලකිරීමෙන් යුතුව බලා සිටියහ.
නව යෞවනයේ හරසුන් ප්‍රේමයේ ගුටිබැට, වෛර කෝන්තර පිරිමසා ගන්නේද බිග්මැච් දිනවලදීය. දෛනිකව නගරය වසා ගත් රථ වාහන තදබදය තවදුරටත් කරදරයක් හිසංනයක් බවට පත්කරමින් ධජ පතාක වනමින් නිරාවරණය වූ අනාරක්ෂිත වාහන මත නැගී මත්පැනින්ද සංතර්ණපනය වී ජය ඝෝෂා ඇසෙන්නේ ක්‍රිකට් දිනවල පමණක් නොවේ.
දැන් දැන් එම උන්මාදය නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය දක්වා අනිවාර්ය අංගයක් බවට පත්ව තිබේ. එතැකින්ද නොනැවතී මේ වන විට ඇතැම් පාසල් රථවාහන රැලි පවත්වා පාලනය කළ නොහැකි තරමින් මහත් ඝෝෂාකාරී සහ වාහන තදබදයක් නිර්මාණය කරමින් ජන ජීවිතය සමග සෙල්ලම් කරන තැන දක්වාද තවත් උන්මාදයක් ව්‍යාප්ත කරමින් සිටී.
එයින් තම ගමනබිමනටත්, සාමාකාමී පරිසරයටත්, නිදහස් පරිසරයටත් සිදුකරන හානිය මේ කටුකත්වය අත්විඳින ජනතාවගේ ප්‍රබල චෝදනාවකි. බිග්මැච් දිනවල ලැබෙන නිදහස ඇසුරෙන් උපරිම ලෙස නොමනා ප්‍රයෝජන ගැනීමටද පාසල් සිසුන් මෙන්ම සිසුවියන්ද උත්සාහ කරන්නේ යැයි තවත් කතාබහකි. එවැනි දිනයන් හිදී තමන්ගේ දියණියන් යනෙන තැන් පිළිබඳ දෙමව්පියන් විමසිලිමත් විය යුතු යැයි ඇතැම් වැඩිහිටියෝ අත්දැකීමෙන් අවධාරණය කරති.
මේ අභියෝග හමුවේ කළ යුත්තේ ක්‍රිකට් තහනම් කිරීමද? ක්‍රිකට් දිනවල සිසුන් විසින් සමාජයටත්, පුද්ගලයාටත් තම පාසලටත් සිදුකරන අවමානය, අපහසුතාවය සහ හිංසනයන් වැළැක්වීමට සුදුසු ක්‍රමවේදයන් සම්පාදනය කිරීමද?
එහෙත් මෙය හිතන තරම් පහසුවෙන් කළ හැකිද යන පැනය ඉදිරියේ පාසල් පාලනාධිකාරිය සහ දෙමව්පියන්ද අසරණය. එදාටත් නැති ත්රිල හෝ පුංචි ජොලිය නැතිව මොන බිග් මැච්ද යනුවෙන් මවාගත් සුන්දරත්වයෙන් මුසපත්ව විමසන දරුවන් ඉදිරියේ මව්පියෝද අසරණ වෙති.
අමුඩය ගසා අතීසාරය වැළැක්විය නොහැක. පය බරවායට පිටිකර බෙහෙත් බැද සුවය සෙවීම ද මුලාවකි. එසේනම් කළ යුත්තේ කුමක්ද? මේ කතබහ දිගහැරෙන්නේ යහපත් පුරවැසියන් බිහි කළයුතු පාසල සම්බන්ධයෙන් නම් පාසල් පාලනාධිකාරියට ඒ වගකීමෙන් මගහැර “කොල්ලන්ගේ හැටි එහෙමයි. ඒකනේ කොල්ලොයි බල්ලොයි එක වගේ කියන්නෙ" යන ගැමි වහර සිහිපත්කර දී ඇඟ බේරාගත නොහැක. මන්ද මේ කතාවට පාදකවන්නේ දරුවා නිසි මඟට ගැනීමට අත දිය යුතු දරුවාගේ පාසලටම වන හෙයිනි.
අනෙක පාසල් විෂය ධාරව තුළ ක්‍රිකට් තරග සම්මත ක්‍රීඩාවකි. ක්‍රීඩාව තුළින් පුද්ගයාගේ විනය, හික්මීම, සංවරකම, අභියෝගයන්ට මුහුණදීම, සාමූහිකත්වය, කණ්ඩායම් ශක්තිය, නිරෝගිකම, ඉවසීම වැනි අවශ්‍යතා ගණනාවකට අනුබල සපයයි. එසේනම් පාසලට ඒ අනුබලය ලබාදීම උදෙසා ක්‍රීඩාව මගින් කළහැකි නිවැරදි මැදිහත්වීම කුමක්දැයි පාසල විසින් සොයා දිය යුතුය.
එහෙත් ඒ වෙනුවට සිදුවන්නේ අයාලේ යන අතහැර දැමූ ගවයන් හෝ අං ඇති අශ්වයන් ලෙස සිසුන් එම අවස්ථාවලදී අතහැර දැමීමක් නම් මහ මඟ යනෙන වාහන ජනතාව සහ තරුණියන්ද අපහසුවට පත්වන පරිදි කටයුතු කිරීම අරුමයක් නොවේ යැයි මව්පියන් කම්පාවෙන් පවසන කතාව විදුහල්පතිවරුන්ට දැනිය යුතුය.
එල්ලී මැරෙන නිසා සාරි ඇඳීම තහනම් කිරීම හෝ බෙල්ලක් නැති මිනිසුන් ඉපදිය යුතු යැයි පවසා දේශපාලකයන්ට ඇඟ බේරාගත හැකිය. අදටත් හැම අර්බුදයකදීම එවැනි රඟපෑම් කරන නිසා මෙවැනි අර්බුද සඳහා ඔවුන්ගෙන් විසඳුම් සෙවීම නිෂ්ඵල කරුණකි. හෙට දවසේ තමන්ගේ මහලු දිවියත්, රටේ අනාගතයත් භාරගැනීමට සිටින්නේ මෙබඳු දඩබ්බර, අශීලාචාර සහ අසංවර හැසිරීම් සහිත දරුවන් බව දෙමව්පියන්ද නොදන්නවා නොවේ. එනිසා සීමාව ඉක්මවා නිදහස පාවිච්චි කිරීමේ අවදානම මව්පියන් දරුවන් සමග නිවස තුළ සංවාදයේ යෙදිය යුතුය.
පොලීසිය විසින් මාර්ගයේ රථවාහන නීතියත්, ජනතාවට හිංසාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීමත් වැනි චෝදනා යටතේ ක්‍රීඩා පිටියෙන් පිටත පොදු ස්ථානවලදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ නම් මෙම අර්බුදයේ මතුවන ගැටුම් අවම කරගත හැකි වනු ඇත. එසේම පාසල් පරිපාලනය විසින්ද තරග පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි වගකීම සහ කාර්යභාරය යම් පිරිසකට පවරා සිසුන් නියාමනය කිරීමේ දැඩි ක්‍රමවේදයක් සකසන්නේ නම් එයද මෙහි ලා තවත් අනුබලයක් වනු ඇත.
දෙමව්පියන්ද තම දරුවා එම දිනවල හැසිරෙන, සැරිසරණ සහ ගත කරන ආකාරය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් පාසලටත් නීතිය සහ සාමය රකින නිලධාරීන්ටත් රටේ පුරවැසියන්ටත් සහනයක් වනු ඇත.