Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
1966 දී පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා මම හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. 1971 දී අ.පො.ස. (සා.පෙළ) විභාගය කළා. අපි අ.පො.ස. (සා.පෙළ) විභාගයට සූදානම් වෙන කාලෙ හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්ති තිබුණේ නැහැ. මොකද නුවරට ළඟ නිසා අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වෙන ළමයින් බහුතරයක් නුවර පාසල්වලට යනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උ.පෙළ විභාගය කරන්න ළමයින් නැති තරමටම ආවා. අපි අ.පො.ස (සා.පෙළ) විභාගය කරන කාලෙ අපේ පාසලට විද්‍යා අංශයෙන් උපාධියක් ලබාගත්ත විදුහල්පතිවරයෙක් ආවා. එතුමාට ඕන වුණා කොහොමහරි උසස් පෙළ පන්තියක් පටන් ගන්න.
එතුමා ළමයින් 6 දෙනෙකුගෙන් විතර උසස් පෙළ විද්‍යා පන්තියක් පටන් ගත්තා. දෙවැනි අවුරුද්දෙදි අපිත් අ.පො.ස (සා.පෙළ) විභාගය සමත්වෙලා හිටිය නිසා පන්ති දෙකම එකට එකතු කරලා එකට ඉගැන්නුවා. එහෙම ඉගෙන ගත්ත අය අතරින් දෙන්නෙක් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත්තා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි මම. ඒ කාලේ ඉතින් විශ්වවිද්‍යාල කියල කිවුවෙ නැහැනේ. ඒවාට කිවුවේ මණ්ඩප කියලනේ.මම උසස් පෙළ කළේ 1974. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1975 දී. මම පාසල් කාලයේදී ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, වොලිබෝල්, ෆුට්බෝල්, හොකී ක්‍රීඩා කළා.
ඇත්තෙන්ම මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවට වඩා කළේ බාහිර කටයුතු තමයි. ඒ අතරින් මගේ වැඩි අවධානයක් යොමුවුණේ ක්‍රීඩාවලට. බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, හොකී වැනි ක්‍රීඩාවල මම විශේෂ දක්ෂතා ඉදිරිපත් කළා. හොකී ක්‍රීඩාවෙන් මම වර්ණ පවා හිමිකරගෙන තියෙනවා.
ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව කියන විෂයයන් තුන තමයි මම විශ්වවිද්‍යාලයේදී හැදෑරුවේ. මම ගණිතය අාසාවෙන් කළා. ඒ අතරින් මගේ වැඩි කැමැත්තක් තිබුණෙ ව්‍යවහාරික ගණිතයටයි.
උපාධිය කරලා ප්‍රතිඵල එන්න මාස 11 ක් විතර ගියා. විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණදීලා ප්‍රතිඵල එනකම් මම මහනුවර ධර්මරාජ විද්‍යාලයෙ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකළා.මම ධර්මරාජ විද්‍යාලයේ වයස 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ චෙස් කණ්ඩායමේ කණ්ඩායම් භාර ආචාර්යවරයා විදිහට කටයුතු කළා. ඒ දවස්වල අපට ලැබුණු පඩිය ජීවත් වෙන්නත් මදි. ඒ නිසා මම අමතර පන්ති පැවැත්වුවා. දැන් කාලෙ වගේ නෙමේ ඒ දවස්වල අමතර පන්ති කළා කියලා ලොකු මුදලක් හම්බ කරන්න බැහැ. මොකද දෙමාපියන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන විදිහට අපි ගැන හිතන්නෙ නැතුව තමයි අපි මුදල් අය කළේ.
මම අමතර පන්ති කරන්න පටන් ගන්න තව හේතුවක් තියෙනවා. මම හරිම දුප්පත් පවුලක දරුවෙක් විදිහට අධ්‍යාපනය හදාරල තමයි විශ්වවිද්‍යාලයට ආවේ. විශ්වවිද්‍යාලයට තේරුණත් වියදම් කරන්න අපට මුදල් තිබුණෙ නැහැ. ඒ වගේම දැන්වගේ මහපොළ තිබුණෙත් නැහැ. හැබැයි ඒ කාලෙ විශ්වවිද්‍යාලයට තේරෙන ළමයින් අතරින් මුදල් ප්‍රශ්න තියෙන අයට ඉගෙන ගන්න බැංකුවලින් ණය දුන්නා. ඉතින් මට ඒකත් ගෙවන්න තිබුණ නිසා මම අමතර පන්ති කරන්න පටන් ගත්තා.විශ්වවිද්‍යාලයේ ප්‍රතිඵල අවාට පස්සෙ මට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ සිස්ටම් ඇනලිස්ට් ප්‍රෝග්‍රැමර් හෙවත් ක්‍රම විග්රහ සහ ක්‍රම සම්පාදක කියන තනතුරට ඒ කාලේ හැටියට සෑහෙන හොඳ පඩියකට මාව තේරුණා. ඒ දවස්වල රජයේ සේවය කරන උපාධිධාරියෙකුට ලැබුණේ රු. 500 ත් 750 ත් අතර මුදලක්. නමුත් මට රු. 900 කට රැකියාව ලැබුණා
ලංකාවේ පළමු පරිගණකය මිලදී ගත්තෙ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින්. ඒ දවස්වල රජයේ බොහෝ කටයුතු අවසානයේ පරිගණකගත කළේ ඔය කියන පරිගණකයෙන් තමයි. විශේෂයෙන්ම අ.පො.ස (සා.පෙළ) විභාගයේ ලකුණු පරිගණකගත කරලා මුද්‍රණ කටයුතු කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව තිබුණ පරිගණකයෙන් තමයි. ඉතින් ලංකාවට ගෙනාපු පළමු පරිගණකයෙන් වැඩ කිරීමට ලැබුණු අතළොස්සක් දෙනා අතරින් කෙනෙකු වීමට මට හැකියාව ලැබුණා. ඒ දවස්වල පරිගණකයෙන් වැඩ කරනවා කිවුවාම හරිම ලොකු දෙයක්. මට මතකයි අපේ ආයතනයේ වායු සමීකරණය කළ කාමරයක් තිබුණේ අපට විතරයි. මොකද අපි වැඩ කරපු පරිගණකය හරිම විශාල එකක්. ඒ වගේම එහි දිගුකල් පැවැත්ම සඳහා වායු සමීකරණය කළ කාමරයක් අවශ්‍ය වුණා. ඔය පරිගණකය අපි හිටිය කාමරය පිරෙන්නම තිබුණා. හරිම විශාල එකක්.
ඔය කාලෙ මොරටුව විශ්වවිද්‍යාලයට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා වන ගණනය කිරීම් සිදු කළේ අපේ සංස්ථාවෙන්. ඒ ගණනය කිරීම් සිදුකළේ මමයි. සතොසේ (ඒ කාලෙ ස.තො.ස. කොපරේෂන් එකක් වෙලා තිබුණෙ නැහැ.) පේ රෝල් එක, සී.ජී.ආර්. ඉන්වෙන්ටරි සිස්ටම් එක, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ලීව් (Leave) සිස්ටම් එක වගේ වැඩසටහන් අපි ඒ පරිගණකයෙන් නිර්මාණය කළා. ඒ අතීතය දැන් මතක් වෙනකොටත් පුදුම සතුටක් දැනෙනවා. දැන් වගේ දියුණු පරිගණක නැතිව එතරම් වැඩ කොටසක් කළා කියලා හිතන කොට පුදුමත් හිතෙනවා. ඒ වගේම හිනත් යනවා. ඒ කාලේ පරිගණක වැඩසටහනක් ලියනවා කියන එක ලංකාවේ සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතර යන වැඩක්.
මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවෙ බැංකුවකින් ලබාගත් ණයක් හරහා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ වැඩ කරන කාලෙ මම ඒ බැංකු ණය පඩියෙන් ටික ටික ගෙවෙන විදිහට හදාගත්තා. මාසේ පඩිය රු.900 යි. ජීවත් වෙන්නත් ඕනේ, ගෙදරට යවන්නත් ඕනේ, මම කොළඹ ජීවත්වුණ නිසා මගේ වියදම් බලාගන්නත් ඕනේ. ඉතින් මට මතක විදිහට රුපියල් පනහ පනහ මාසෙට කැපෙන්න දැම්මා. ඒ විදිහට අවුරුදු පහක් ගියාට පස්සේ මගේ බැංකු ණය ගෙවිලා අවසන් වුණා. ඊට පස්සේ මට හිතුණා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යන්න ඕනේ කියලා.
ඉතින් මම ටෝෆල් (TOEFL) එකටයි GRE විභාගයටයි සූදානම් වෙමින් ඉන්න කොට පත්තරේ තිබුණා සිස්ටම් ඉංජිනියරින් ට්රේනිස්ලාට ජපානයේ මාස හයක පුහුණු වැඩසටහනක් තියෙනවා කියලා. මට කලින් වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එල්.එම්. පෙරේරා කියලා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් ඒ පුහුණුවට සහභාගි වෙලා තිබුණා. එයා මට කිවුවා හරි හොඳ වැඩසටහනක් වගේම ලස්සන රටක් ගිහිල්ලා බලන්න කියලා. ඒ අනුව මට හිතුණා ඒ වැඩසටහනට අයදුම් කරන්න. මම හිතන්නෙ ඒ වෙනුවෙන් ලංකාවෙන් 110 හෝ 112 ක් විතර අයදුම් කරලා තිබුණා. මමයි, පෞද්ගලික ආයතනයක වැඩ කළ කිංස්ලි බර්නාඩ් කියලා කෙනෙකුයි විතරයි ලංකාවෙන් ඒ සඳහා තේරුණේ. ඉතින් ඒ වෙනකොට මම කර කර හිටිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව අතරමග නතර කරලා ජපානයට ආවා.
පුහුණු වැඩසටහන අවසන් වෙනකොටම ජපානයේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ හමුවකට සහභාගී වෙන්න මට අවස්ථාව හිමිවුණා. ඒ හමුවට හිටියෙ මට මතක විදිහට හයදෙනයි. එම හමුවේදි මට පරිගණක දෘඩාංග සම්බන්ධයෙන් මහාචාර්ය උපාධිය කර කර හිටිය ජයන්ත හේරත් කියලා මහත්මයෙක් හඳුනාගන්න ලැබුණා. ඔහු තමයි ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රථම සභාපති. ජයන්ත හේරත් මහතා මාව ඔහුගේ මහාචාර්යවරයාට හඳුන්වාදුන්නා. මම මාස හයක් විතර ඒ මහාචාර්යවරයාගෙන් ඉගෙනගෙන එම විශ්වවිද්‍යාලයේම වෙනත් මහාචාර්යවරයෙකු යටතේ ඉගෙන ගන්න තොරතුරු සහ සන්නිවේදනය කියන අංශයට ඇතුළත් වුණා.
එහි මහාචාර්යවරයා රොබෝවරුන් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබුණ ඒ සම්බන්ධයෙන් බොහෝ වැඩකළ කෙනෙක්.මට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන විතරක් විශේෂයෙන් කරන්න බැරි වුණාට රොබෝවෙකුගේ ඇහැක් හදන්න අවශ්‍ය ෆන්ඩමෙන්ටල්ස් (Fundamentals) ගැන ඉගෙනගත්තා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා විෂුවල් කොග්නිෂන් කියලා. ජපන් භාෂාවෙන් කියන්නෙ ෂිකකු නින්චි කියලයි. ඒ කියන්නෙ ඇහෙන් පේන දේ මොළෙන් කොහොමද හඳුනාගන්නෙ කියන එක තමයි මම විශේෂයෙන් කළේ. ඒ කියන්නෙ රොබෝ කෙනෙකුගේ ඇහැක් මගින් ලබාගන්නා දර්ශන රොබෝගේ මොළෙන් හඳුනාගැනීම සම්බන්ධව තමයි මම කටයුතු කළේ. ඒ යටතේ පැටර්න් රෙකග්නිසන් සම්බන්ධයෙන් හැදෑරීමක් කළා. ඒ වගේම පැටර්න් මැචින්, ෆෂි ලොජික් (Fuzzy Logic) කියන අංශ ගැනත් මම ඉගෙනගත්තා.
මගේ සීනියර් සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් හිටියා එයාට නවසීලන්තයෙ වැඩකරලා අත්දැකීම් තිබුණා. ඒ වගේම එයා සැම්බියාවෙ අවුරුදු 4ක් වැඩකරලා තිබුණා. එයත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිස්ටම් ඇනලිස්ට් කෙනෙකු විදිහට සම්බන්ධ වෙලා වසර දෙකක් වැඩ කරලා නවසීලන්තයට ගිහින් තියෙනවා. එහේ අවුරුද්දක් විතර වැඩකරලා, ඊට පස්සෙ සිම්බාබ්වෙ වැඩ කරලා නැවත වතාවක් මම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සම්බන්ධ වුණාට පස්සෙ මගේ සුපවයිසර් විදිහට ආවා. එයා තමයි ඇවිත් අලුත් අලුත් දේවල් අපට හඳුන්වලා දුන්නෙ.
විශේෂයෙන්ම මම ජපානයට ආවට පස්සෙ ඒ වෙනකොට අපට ජපානයේදී ඉගැන්වීම් නොකළ මොඩියුලර් (Modular) ප්‍රෝග්‍රැමින් කියලා සිස්ටම් එකක් අපට උගන්නලා තිබුණා. මම ජපානයට අවාට පස්සෙ මම ඒ අයට කිව්වා අපි ලංකාවෙදී මේ වගේ දේවල් කරනවා කියලා. ඒ දවස්වල ජපානයෙ හිටපු ආචාර්යවරුන් පවා අපි මේ වගේ දේවල් භාවිත කරනවද කියලා අහලා පුදුම වුණා.අපිට තිබුණ පරිගණක පරණ ඒවා වුණත් අපි පාවිච්චි කරපු තාක්ෂණය, විශේෂයෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ පාවිච්චි කරපු තාක්ෂණය ජපානයේ පැවැති තත්ත්වයටම තිබුණා.
අපි භාවිත කළේ සිස්ටම් ඇනලිසිස් කියන වචනය තමයි. සිස්ටම් ඉංජිනියරින් කියන වචනය ඔය කාලෙ අපේ ශබ්ද කෝෂයෙ තිබුණෙත් නැහැ. රැකියාවක් හැටියට තිබුණෙත් නැහැ. හැබැයි දැන් කල්පනා කරලා බලනකොට ඒ කාලෙ අපි ලංකාවෙ කරපුවයි, ජපානයෙ ඉගෙන ගත්ත දේවලුයි ගොඩක් දුරට සමානයි. මම ජපානයට ආවට පස්සෙ අපට කොබොල්^කියලා පරිගණක භාෂාවක් ඉගැන්නුවා. නමුත් මම ඒක ලංකාවේදි ඉගෙනගෙන තිබුණ නිසා මට හරිම පහසුවක් දැනුණා.
ලංකාවේ අධ්‍යාපන රටාව තුළ න්‍යායික පැත්ත හරිම වැඩියි. නමුත් ජපානය වගේ දියුණු රටවල ප්‍රායෝගික පැත්ත වැඩියි. මෙහේ ආවට පස්සෙ අපට අවස්ථාවක් ලැබුණා ලංකාවේ ඉගෙනගත්ත දේවල් අත්හදා බලන්න.ලංකාවේ තොරතුරු තාක්ෂණය අංශයේ විතරක් නෙමෙයි හැම පැත්තකම එහෙම තමයි කියලා මට හිතෙනවා. න්‍යාය පැත්තෙන් අපි දැනුවත්. නමුත් අපේ අයට ඒක ඇප්ලයි කරන්න කිවුවාම ප්‍රායෝගික දැනුම නැති නිසා ගොඩක් අය හිරවෙනවා. ඇප්ලයි කරන්න ගියාම තමයි ගැටලු හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගිකව කරනකොට තමයි ගැටලු එන්නේ. එනිසා අපි කොච්චර කියෙවුවත්, ඒ සම්බන්ධයෙන් න්‍යායායික දැනුම ගොඩක් ඉහළින් තිබුණත් අත්දැකීම් ලබාගන්න එක තමයි වැදගත්.
ජපානයේ අධ්‍යාපනය මම හිතන විදිහට ප්‍රායෝගික පැත්තට බරයි. ඒක මේ රටවල් දියුණු වෙන්න එක හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔවුන්ගේ ගෘප් ඔරියන්ටඩ් තින්කින් කියලා එකක් තියෙනවා. මොකද මොකක් හරි වැඩක් කරනවා නම් ඔවුන් ගෘප් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒක අපිට ටිකක් අමාරුද දන්නෙ නැහැ. නමුත් කණ්ඩායමක් විදිහට වගේම තනි තනිවම කියන දෙවිදිහටම වැඩ කරන කොට ලැබෙන වාසි මෙන්ම අවාසිත් තියෙනවා.නමුත් ලංකාවේ තනියම වැඩ කිරීම කියන එක නිතරම ඉස්මතු වෙන නිසා හැම වෙලාවේම බලන්නෙ තමන්ගෙ වැඩේ. සමූහයක් විදිහට වැඩ කරනවට වඩා තනි පුද්ගලයෙකු හැටියට වැඩ කරන එක තමයි හැමවිටම ඉදිරියට එන්නේ.
ජපානයේ නිර්මාණාත්මක පැත්ත හරිම අඩුයි. හොඳට හොයලා බැලුවොත් ජපානයේ තියෙන ගොඩක් තාක්ෂණය එක්කෝ ඇමෙරිකාවෙ, එහෙමත් නැතිනම් යුරෝපයෙන් ලබාගත්ත දේවල්. බැහැයි ජපන් ජාතිකයන් එම තාක්ෂණය ජපානය තුළදී දියුණු කරනවා එයට යන්න පුළුවන් උපරිම තැන දක්වා යන්නට. ඒ සම්බන්ධයෙන් ජපානය තුළ භාවිත කරන වචනයක් පවා තියෙනවා %කයිසෙන් (Kaizen)^ කියලා. එහි තේරුම තමයි වැඩි දියුණු කිරීම(Improvement) කියන එක.
ජපන් ජාතිකයන් යම් දෙයක් දියුණු කිරීමට පටන්ගත් පසු එය නොනවත්වා දියුණු කරනවා. ඔවුන් කවදාවත් එහි නැවතීමක් බලාපොරොත්තු වෙන්නෙත්, නැවතීමක් දකින්නටත් නැහැ. දිනපතා දියුණු කරනවා. ජපානය තුළ තියෙන්නේ සොයාගැනීම්වලට වඩා සොයාගත් දෙයක් දියුණු කිරීමයි. හැබැයි මාගේ විෂයයට අදාළව නම් ජපානය තුළ නව සොයාගැනීම් තියෙනවා. මම දැකපු තව වෙනසක් තමයි ජපානයේ හැම තැනම ඒ ඒ තාක්ෂණය යොදාගෙන තිබුණා. ඔවුන් ඒවා යොදාගෙන ඇති ආකාරය දැක්කාම මට පුදුම හිතුණා.
1987 අග බාගයේ විතර මම ජපානයේ ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේලොන්ඩ්රියට යනවා ඇඳුම් දෙන්න. ඇඳුම් දෙන්න ලොන්ඩ්‍රියට ගියාම කවුන්ටර් එකේ හිටපු ලේඩි අපේ ඇඳුම් අරගෙන පරිගණකයේ දත්ත ඇතුළත් කරලා තමයි අපට රිසිට් පත දුන්නෙ. ඉතින් අපි නැවත අපේ ඇඳුම් ගන්න ගියාම මගේ රිසිට් පතේ අංකය පරිගණකයට ඇතුළත් කළ පසු ස්වයංක්‍රියව අපේ ඇඳුම් කවුන්ටර් එක ළඟට එනවා. බලන්න ජපානයේ අය තාක්ෂණය යොදාගෙන තිබුණ හැටි. එනිසා ඇයට වරදින්නෙත් නැහැ අපිට වරදින්නෙත් නැහැ. මම මේ ගත්තෙතේ හරිම පොඩි උදාහරණයක් වගේම ලංකාවේ අයට දැනෙන උදාහරණයක්. මම බයෝ මෙට්රික්ස් (Biometrics) කරන හින්දා උදාහරණයක් හැටියට මෙහේ ඇඟිලි සලකුණු විශ්ලේෂණය, සංසන්දනය වගේ හැමදේම කරනවා.
ලංකාවේ අපරාධයක් වුණාම ඒ අපරාධය සිදුවෙච්ච තැන තිබුණ ඇඟිලි සලකුණු අරගෙන ඒ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයන් සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ඔවුන් සතුව තිබෙන මීට පෙර වරදකරුවන් වූ අයගේ ඇඟිලි සලකුණු සමග සසඳා බලනවා. මම මෙය කෙටියෙන් සඳහන් කළත් එය දින කිහිපයක් ගත වෙන ලොකු ක්‍රියාවලියක්. ලංකාවේ මේ සියලුදේම කරන්නේ තමන්ගේ ඇහෙන් බලලයි. නමුත් ජපානය 1978 ඉඳලම ඒ හැම දෙයක්ම පරිගණකගත කරලයි තියෙන්නේ. ඔවුන් ස්වයංක්‍රීයව ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ ක්‍රමය මීට අවුරුදු 37 ට විතර කලින් තමයි පටන් අරන් තියෙන්නෙ. හිතාගන්න පුළුවන් නේද ඔවුන් ඒ සම්බන්ධයෙන් ලබලා තියෙන දියුණුව. ඒ වගේම මේ සම්බන්ධයෙන් ගතවන්නේ ඉතාම සුළු වේලාවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd