''වෙඩි වදින්නේ නැති බස් රථයක් නිර්මාණය කරන්න ආසන්නම සිදුවීම වුණේ කළුතර සමයංගේ සිද්ධියයි. මේ සිද්ධියෙන් අපේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මිය ගියා. සමයං ඇතුළුව හත්දෙනෙක් ඝාතනය වුණා. මෙවැනි සිද්ධීන් පසුගිය කාලය පුරාම අපිට විටින් විට අසන්නට ලැබුණා. බන්ධනාගාර නිලධාරීන් පවා කැලඹිලි ස්වභාවයකට පත්වෙලා ඔවුන්ගේ ආරක්ෂාවටත් ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන්න පටන් ගත්තා.
එවැනි ප්‍රශ්න රාශියක් ගැන හිතලා ඒ වෙනුවෙන් යමක් කළ යුතුයි යන අදහසින් සැලසුම් සකස් කරලා සති දෙකක් තුළ මේ නිර්මාණය සාර්ථකව අවසන් කරන්නට හැකියාව ලැබුණා'' යනුවෙන් වෙඩි නොවදින බන්ධනාගාර බස් රථය සකස් කළ කෑගල්ල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.යු.ඩී.ඒ සම්පායෝ මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට නව පිටුවක් එක්කරන ලද මෙම නිර්මාණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
''දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම පතාල සමාජිකයන් බන්ධනාගාරවල සිටිනවා. විවිධ අවස්ථාවල ඔවුන් අධිකරණ වලට රැගෙන යෑමට සිදුවෙනවා. ආරක්ෂිත පොලිස් රථ ඔවුන් සමග ගමන් කළත් සමහර අවස්ථාවන් වල ජනාකීර්ණ හා වාහන තදබදයන් ඇති වුණාම වෙනත් වාහානයකින් හෝ සැඟවී හිඳ සැලසුම් කරලා වුණත් බන්ධනාගාර බස් රථයට වෙඩි තියන්න පුළුවන්කමක් තිබෙනවා.
මේ වෙඩි තැබීම් විශාල වෙලාවක් සිදු නොවුණත් එහි බරපතළකම වැඩියි. අපේ කෑගල්ල බන්ධනාගාරයේත් බොහෝ අවස්ථාවන් වල අපරාධකරුවන් ප්‍රවාහනය කරන්න වෙලා තියෙන්නේ ප්‍රධාන මාර්ගවල. කැලෑ මාර්ග හෝ අතුරු මාර්ග වල අපිට යන්න අවස්ථා උදාවෙන්නේ නැහැ.
මෙවැනි දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම පාතාල සමාජිකයන් අධිකරණයට හෝ වෙනත් රාජකාරී අවස්ථා සඳහා රැගෙන යන විට අපගේ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත වලටත් අවදානමක් තිබෙනවා. ඔවුන් රාජකාරියට එන්නේ නිකරුණේ මැරුම් කන්න නෙවෙයි. ඒ වගේම එම දරුණු අපරාධකරුවන් මෙන්ම පතාල සමාජිකයන් අධිකරණයට ගෙන යන්න නිශ්චිත ක්‍රමයක් තියෙන් ඕන. ඒ නිසා මේ පිළිබඳව හිතලා වෙඩි නොවදින ආරක්ෂිත බස් රථයක් නිර්මාණය කරන්න ඕන කියලා මාගේ සිතට ආවා.
නමුත් රජයේ නිලධාරියෙක් වශයෙන් මෙවැනි කටයුතු කරද්දී සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට වගේ නිදහසේ සිදුකරන්න බැහැ. ඒ වෙනුවෙන් යම් යම් කොන්දේසි වලට යටත්ව අවසරයන් මෙන්ම මූල්‍ය අනුග්‍රයන් ලබාගත යුතුයි. ඒ වගේම කරන කටයුත්ත ගැන ලොකු විශ්වාසයක් වගේම නිමාව ගැන පැහැදීමක් තිබෙන්න අවශ්‍යයයි.
ඒ අනුව තමයි මෙය සැලසුම් කළේ. මොකද මේක ආසාර්ථක වුණා නම් ලැබෙන ප්‍රතිචාර ගැන අමුතුවෙන් කියන්නට ඕන නැහැනේ. ඒක තමයි ස්වභාවය. කෙසේවෙතත් මේ නිර්මාණය ඉතා කෙටි කාලයකින් සාර්ථකව සිදුකළා. නිර්මාණයට අපි මුලපිරුවේ මාර්තු 7 වැනි දිනයි.
මේ නිර්මාණය අපි සිදුකරගෙන යන දවස්වල වැස්සා. නමුත් දිවා රෑ මේ කටයුතු වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. හිතේ ලොකු විශ්වාසයක් තිබුණා. මේ සාර්ථක නිර්මාණය ගැන මගේ හිතේ ලොකු චිත්‍රයක් තිබුණා. ඒ අනුව සැලසුම් සකස් කරලා ඉක්මනින් කරගන්න හැකියාව ලැබුණා.
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන්ද, යුද හමුදාවේ නිලධාරී කණ්ඩායමක්ද, මෙය නිර්මාණය කරන ලද අපගේ නිලධාරීන්ට සහයෝගය ලබාදුන්නා. මේ කටයුත්තේ අපි රහසිගත ස්ථානය ආරක්ෂිත ලෙස නිර්මාණය කළා. එහිදී මම මේ වෙනුවෙන් නිරන්තරයෙන් ගොස් සොයා බැලීම් කළා. ඒ සඳහා නිලධාරීන් සමග සාකච්ඡාවන් තියලා මේ නිර්මාණය කරන්න කැප කිරීමක් කළා. මේ සඳහා කාර්මික නිලධාරීන් 15ක් පමණ සහභාගී වී සිටියා. විශ්වාස කෙනෙකුගේ මාර්ගයෙන් කැමරා පද්ධතිය සකස් කළා* යනුවෙන් පැවසීය.
බස් රථයට ගොඩ වන දොරටුව හා දොරටුවට ඇතුළතින් ආසන පිහිටා තිබේ. මෙම ආසන පිහිටි වටරවුම වෙඩි නොවදින සවිමත් සැකිල්ලකින් යුතු වේ. ඉදිරිපස හා පසුපසින් ආරක්ෂිත කැමරා පද්ධතියක් වන අතර, කැමරා කිහිපයක් ඇතුළතද සවිකර ඇත. එම කැමරා හරහා නව තාක්ෂණය යොදාගනිමින් ( ජී.පී.ආර්.එස් තාක්ෂණය) කෑගල්ල බන්ධනාගාරයෙන් බස් රථය පිටත් වූ මොහොතේ සිට එහි දර්ශන ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා නිර්ක්ෂණයට ලක් කිරීමට හැකියාව පවතී.
එසේම මෙම බස් රථය තුළ දරුණු ගණයේ අපරාධකරුවෙකු රැගෙන යන විට ඔහු ආරක්ෂිතව රැගෙන යෑමටද වෙනම වෙඩි නොවදින ආරක්ෂිත සිරමැදිරියක් පවතී. එම අපරාධකරු නිරීක්ෂණය කිරීමට එහි ආරක්ෂිත කැමරාවක්ද සවිකර ඇති අතර ඕනෑම හදිසි අවස්ථාවක වුවත් ඔහුට පහසුවෙන් පැන යෑමට නොහැකි වන පරිදි ආරක්ෂිත සැකසුම් එහි නිර්මාණයට එක්කර තිබේ.
''බස් රථයට යොදාගත් අමුද්‍රව්‍ය, සැලසුම් හා සංයුතිය ඉතා රහසිගතයි. ඒවා කිසිම දෙයක් අපිට මාධ්‍යයට කියන්න බැහැ. මේ සියල්ල නිර්මාණය කරලා අපි තත්ත්ව පරීක්ෂණ කිහිපයක් පැවැත්තුවා. එහිදී විවිධ මීටර් ප්‍රමාණයන්ගේ සිට ස්වංක්‍රීය අවි ආයුධ යොදාගෙන වෙඩි තියලා තත්ත්ව පරීක්ෂණයට ලක් කර බැලුවා. ඒ සියල්ල සාර්ථක වුණා'' යැයි ඒ මහතා පැවසීය.
මෙම බස් රථය සිලින්ඩර් හතරක් සහිත ටර්බෝ වර්ගයට අයත් බස් රථයකි. තවද මෙම ආරක්ෂිත නිර්මාණය සිදුකළ පසු සාමාන්‍යයෙන් බස් රථය ටොන් දෙක හමාරකින් පමණ බර වැඩි වී ඇති අතර, එය තත්ත්වය පරීක්ෂණයකට ලක් කර ඇත්තේ කෑගල්ල ශ්‍රී ලං.ග.ම බස් රථ සමාගමේ ඉංජිනේරුවරුන් මාර්ගයෙනි.
සාමාන්‍යයෙන් මෙවැනි එන්ජීන් ධාරිතාවක් සහිත බස් රථයකට ටොන් 11 ක බරක් වුවත් දැරීමට හැකියාව පවතින බව ලංගම බස් සමාගමේ අදාළ ඉංජිනේරු මහතා තමාට පැවසූ බවද එහිදී අපට දැනගැනීමට හැකියාව ලැබුණි. මේ වන විට බසය සාමන්‍යයෙන් ටොන් 8කට ආසන්න බරකින් යුතුයි.
මෙහි ඇතුළත උෂ්ණත්වය ඉවත් කිරීම උදෙසා 'එක්ස්ෆොස් ෆෑන්' එකක් සවිකර ඇති අතර, ඉදිරි කාලයේදී වායුසමීකරණ පද්ධතියක් සවි කිරීමට සැලසුම් කර ඇති බවද කියැවුණි. බසයේම රියදුරු අසුන ඉදිරිපිට සී.සී.ටී.වී කැමරා පද්ධතියේ රූප රාමු නැරඹීමට හැකි ඩිජිටල් තිරයක්ද වෙයි.
බසය නිර්මාණයේදී බන්ධනාගාර කොමසාරිස් නිශාන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රධාන නිලධාරීන්ද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමතිතුමා ප්‍රධාන ලේකම්වරුන්ද ලබාදුන් ධෛර්යයෙන් හා බන්ධනාගාර සහ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතාගේ ආශිර්වාදයෙන් සාර්ථකව බස් රථය නිර්මාණය කිරීමට හැකියාව ලැබුණු බව පැවසීය.
මෙම බස් රථය නිෂ්පාදනය කිරීමේදී මූල්‍ය දායකත්වය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති අතර, ඒ වෙනුවෙන් වියදම් වූ රුපියල් ලක්ෂ 7ක පමණ මුදලට දායකත්වය ලබා දී ඇත්තේ කෑගල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ සිරකරු සුභසාධක සංගමය මගිනි. මෙම කටයුතු සාර්ථකකර ගැනීම සඳහා සුභසාධක සංගමයේ සභාපති රණසිංහ මහතාගේ නිරන්තර කැප වීම අගය කළ යුතු බවද කියැවුනි.
කෑගල්ල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී සම්පායෝ මහතා දැනට කෑගල්ල බන්ධනාගාරයට පැමිණ අවුරුදු එක හමාරක කාලයක් ඇතුළත සිදුකරන ලද මෙම නිර්මාණය බොහෝදෙනාගේ පැසසුමට ලක් වී ඇති අතර, පසුගිය සතියේ මෙම බස් රථය පරීක්ෂා කිරීමට පැමිණි පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතාගේද ඉහළ පැසසුමට ලක්විය.
ලංකාව තුළ දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම පාතාල සමාජිකයන් අධිකරණයට රැගෙන යෑමේදී නිලධාරීන්ගේ ආරක්ෂාවත් රැකෙන පරිදි සිදුකරන ලද මෙම විශිෂ්ට නිර්මාණය ලංකාවේ අනෙකුත් බන්ධනාගාර බස් රථ කිහිපයකට හෝ සකස් කරන්නට අවශ්‍ය අදහස මෙන්ම තාක්ෂණික දැනුම තමාට ලබාදිය හැකි බවද කෑගල්ල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී සම්පායෝ මහතා පැවසීය. කෑගල්ලට මෙවැනි බස් රථයක අවශ්‍යතාවය ඉතා තදින්ම තිබූ බවත්, මේ හේතුව නිසාම සමහර අවස්ථාවල ආයතනයේ නිලධාරීන් පවා යම් නොසන්සුන්තාවයකින් සිටි බවද පැවසීය.
දැනට රාජකාරී කටයුතු වෙනුවෙන් යොදාගන්නා මෙම බස් රථය බොහෝ අවස්ථාවන් වල කෑගල්ල බන්ධනාගාරය ඉදිරිපිට සාමාන්‍ය බන්ධනාගාර බස් රථයක් මෙන්ම නවත්වා තිබෙනු දැක ගැනීමට හැකි වන අතර, සාමාන්‍යයෙන් දකින විට මෙම බස් රථය වෙඩි නොවදින බස් රථයක් යැයි සිතා ගැනීමට පවා අපහසු බවද පැවසේ.
මෙම කටයුතු සිදුකිරීමේදී බන්ධනාගාරයේ ප්‍රධාන නියාමකවරයාගේ සිට සැරයන්වරුන් හා නියාමකවරුන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම කටයුතු සිදුකරන ලද අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පුදකර සිටියි. පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. පී. ජී වික්‍රමසිංහ, සම්බන්ධීකරණ ලේකම් දුල්ලෑව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරුන් ගෞරවයෙන් සිහිපත් කරන බව කෑගල්ල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර