ශ්‍රී ලංකාවේ බාහිර උපාධි වැඩසටහන නියාමනය කළයුතු බව පවසමින් බාහිර උපාධි සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළේය. වත්මන් ආණ්ඩුවද බාහිර උපාධි සඳහා සීමා පනවමින් චක්‍රලේඛයක් ගෙනවිත් තිබෙන අතර, එයට දසදෙසින් විරෝධතා එල්ල වෙමින් පවතී.
ලංකාව තුළ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කළ යුතු යැයි පවසමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට උත්සාහ කරමින් පවතී. ඒ අතරම බාහිර උපාධි සීමාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ඇති අයිතියට බාධාවක් සිදුකරමින් සිටියි. කෙසේ වුවද බාහිර උපාධි කප්පාදු කිරීම තුළ අධ්‍යාපනයට සිදුවන බාධාව සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සමග අපි කතා කළෙමු.
Q වසරකට එක්ලක්ෂ පනස්දාහක් බාහිර උපාධියට?
ලංකාවේ පවත්වන උසස් පෙළ විභාගය වසරකට එක්ලක්ෂ පණස්දහසක් පමණ සමත් වෙනවා. නමුත් ඉතාමත් අඩු පිරිසකට තමයි විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමට හැකියාව තිබෙන්නෙ. මේ නිසා සෑම වසරකම එක්ලක්ෂ විසිපන්දහසක පමණ පිරිසකට උසස් අධ්‍යාපන හීනය සැබෑකර ගැනීමට අවස්ථාව ගිලිහී යනවා. උපාධියක් ලබාගැනීමේ අවශ්‍යතාව තිබුණත්, උසස් පෙළ සමත් වුවත් එය ලබාගැනීමට නොහැකි වෙනවා.
මේ සඳහා තිබුණු අවම අවස්ථාව තමයි බාහිර උපාධිය සඳහා ඇතුළත් වී උපාධිය ලබාගැනීම. නමුත් පසුගිය ආණ්ඩුව වගේම වත්මන් ආණ්ඩුවත් බාහිර උපාධිය ලබාගැනීමේ අයිතියට පහර ගහලා චක්‍රලේඛ නිකුත් කළා.
ඒ අනුව විශ්වවිද්‍යාල වෙත අභ්‍යන්තරව ලබාගන්නා සිසුන් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බාහිර උපාධි සඳහා බඳවා ගන්නා ලෙසට විශ්වවිද්‍යාලවලට නියෝග කර තිබෙනවා. ඒනිසා වසරකට ලංකාවේ විශ්වවිද්‍යාලවලට සිසුන් විසිපන්දාහක් බඳවා ගන්නවා නම්, බාහිර උපාධි සඳහා බඳවා ගැනීමට අවසර තිබෙන්නෙ විසි පන්දහසක් පමණයි.
එහෙම වුණොත් වසරකට ලක්ෂයකට වැඩි සිසුන් පිරිසක් අසරණ වෙනවා. මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා සිසුන් දාහත්දහසක් අයදුම්කර තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා සිසුන් දොළොස්දහසක් පමණ අයදුම් කර තිබුණත් මේ ප්රශ්නය සමග විශ්වවිද්‍යාල දෙකටම පන්දාහකට අඩු සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගන්න ඔවුන් තීරණය කළා. ඒ අනුව තමයි අපිට මේ ප්රශ්නයේ බරපතළකම තේරුණෙ.
Q ආණ්ඩුවට තරුණ ප්‍රජාව පිළිබඳ අදහසක් නැහැ?
ආණ්ඩුවට මේ ප්රශ්නය විසඳා ගැනීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම ආණ්ඩුව තරුණ තරුණියන් පිළිබඳව කල්පනාකරමින් මේ ප්රශ්නය විසඳීමට උත්සාහ කරන්නෙත් නැහැ.
ඒක නිසා තමයි අපි සියලුදෙනා ඒකාබද්ධ වී මේ ප්රශ්නය විසඳාගැනීමට පෙනීසිටීමට තීරණය කළේ, ඒ අනුව තමයි සංවිධාන දහයක් එකතුවෙලා බාහිර උපාධි සුරකීමේ සංවිධානය පිහිටුවා ගත්තෙ.
Q බාහිර උපාධිය කියන්නෙ මොකද්ද කියලා ආණ්ඩුව දන්නෙ නැහැ?
අපි බාහිර උපාධි ප්රශ්නය ගැන ආණ්ඩුව සමග කතාකරන විට බාහිර උපාධි කියන්නෙ මොකද්ද කියලාවත් ආණ්ඩුව දැනගෙන හිටියෙ නැහැ. නමුත් හඬක් නැතිව තිබුණු බාහිර උපාධි ප්රශ්නය පිළිබඳව රටපුරාම හඬක් නගන්න අපිට පුළුවන් වුණා. ඒ අනුව ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ අපිට යම් සහනයක් ලැබිලා තිබෙනවා. ඒ අනුව 2014 කැලණි විශ්වවිද්‍යාලයට බාහිර උපාධි සඳහා අයදුම් කළ සිසුන් දාහතරදාහම ඇතුළත් කරගැනීමට මේ වනවිට තීන්දු කර තිබෙනවා.
කැලණි විශ්වවිද්‍යාලය මේ වනවිට එය ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ වෙද්දි ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ වී තිබෙන්නෙ අධ්‍යාපනයත්,සෞඛ්‍යයත් වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම. සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකළ මැදිහත්වීමෙන් එය ඉතාම පැහැදිලියි. ඒ නිසාම බාහිර උපාධිය පවත්වාගෙන යෑම තුළ ආණ්ඩුවේ අරමුණට යන්න අමාරුයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට තැනක් ලබාදීමේ අරමුණින් තමයි ආණ්ඩුව මේ බාහිර උපාධි කප්පාදුව සිදුකරන්න උත්සාහ කරන්නෙ. එහෙම වුණත් ඇතැම් විශ්වවිද්‍යාල අභ්‍යන්තර සිසුන්ගේ කටයුතු සඳහා යොදා ගන්නෙ බාහිර උපාධි පාඨමාලාවලින් ලැබෙන මුදල්. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට අඩු මුදලට බාහිර උපාධිය ලබාගන්න පුළුවන් වුණත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලක්ෂ ගණනක් මුදල් වැයකිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ.
නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑම නොවේ ආණ්ඩුවේ අරමුණ වී තිබෙන්නෙ. ඒ නිසා තමයි මේ ප්රශ්නය මේ තරම් ප්‍රබල වෙලා තියෙන්නෙ.
Q පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමේ අරමුණ ඇතිව ආණ්ඩුව මේ දේවල් සිදුකරනවා?
අනිවාර්යයෙන්ම, පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමේ අරමුණ ඇතිවයි මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන්නෙ. එහෙම කරගත්තොත් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වැඩි සිසුන් ප්‍රමාණයක් ලබා ගන්න ඔවුන්ට පුළුවන් වෙන්නෙ.
අධ්‍යාපන ආයතනවල තිබෙන ගැටලු වගේම ඇතැම් පාඨමාලා පිළිබඳ තිබෙන ගැටලු පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් කරුණු දැක්වීමක් කරනවා. අපිට ඒ පිළිබඳව ගැටලුවක් නැතිබව අපි පැහැදිලිව මේකෙදි කියනවා. අලුත් පාඨමාලා ආරම්භ කිරීම, අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික ආයතනවල ගැටලු තිබෙනවා නම් ඒවා නියාමනය කරන රාජ්‍ය වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳ අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒවාට අපි විරුද්ධ වෙන්නේත් නැහැ. මොකද අපිත් විශ්වාස කරනවා අද ලෝකයේ තිබෙන නව තත්ත්වයන්වලට ගැළපෙන විදිහට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක.
ඒකට අපේ විරෝධයක් නැහැ. නමුත් මේ දුප්පත් අම්මලා තාත්තලාගේ අවශ්‍යතාවන් කප්පාදු කරලා තීන්දු තීරණ ගන්න එපා කියලයි අපි කියන්නෙ. මේ අධ්‍යාපනය ක්‍රමය සකස් කරලා, නියාමනය කරන කොමිෂන් සභා ඇතිකරලා ක්‍රියාමාර්ග ගන්න එකට අපි විරුද්ධ වෙන්නෙ නැහැ. නමුත් අපිට එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බැරිනම් අපි ඉදිරියට කරන්න හිතන් ඉන්න දේ පැහැදිලිව කිව්වොත් මේ වෙනකොටත් බාහිර උපාධියට ආදරය කරන අය එකතුවෙලා පසුගිය කාලේ කරපු අරගලවලින් අපි විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා.
ඉතින් අපි මේ ප්‍රශ්නයත් වෙනවෙනම බලන්නෙ නැතිව, පොදු ප්‍රශ්නයක් විදිහට සලකලා සටන් කළොත් අපිට ජයගන්න පුළුවන්. ඒ නිසා 2015 අයදුම්කරුවෝ නැවත ඇතුළත් කරගැනීමේ සටහන් දියත් කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් වහාම අපි මැදිහත් වෙනවා. ඒවගේම බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ මේ සඳහා වහාම විසඳුම් ලබාදෙන ලෙසයි.
පසුගිය ආණ්ඩුව 2010 වසරේදී මේ ආකාරයේම චක්‍රලේඛයක් නිකුත් කරලා බාහිර උපාධි කප්පාදුව සිදුකළා. ඒ අවස්ථාවේදීත් අපි අරගල කරලා එය වළක්වා ගත්තා. නුමත් සෑම වසරකම බාහිර උපාධිය ආරක්ෂා කරන්න පාරේ පෙළපාලි යන්න ආශාවක් අපිට නැහැ.
නමුත් බාහිර උපාධියේ අනාගතය වෙනුවෙන් අපි සියලුදෙනාම එකතුව දැවැන්ත බලවේගය ගොඩනගන්න කටයුතු කරනවා.
Q බාහිර උපාධි නියාමනය කළ යුතුයි?
බාහිර උපාධිය සම්බන්ධ යම්යම් ගැටලු තිබෙනවා කියා අපි පිළිගන්නවා. ඒවා සොයාබලා විසඳුම් ලබාදිය යුතුයි. නමුත් ඒ ගැටලු මොනවාද කියා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙනවා වෙනුවට බාහිර උපාධිය සඳහා බඳවාගන්නා පිරිස කප්පාදු කිරීම එයට විසඳුම නෙවේ. ආණ්ඩුව එය පැහැදිලිව වටහාගත යුතුයි.
බාහිර උපාධි නියාමනය කිරීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඒ කිසිවක් නොකර අහිංසක දුප්පත් ළමුන්ගේ උපාධියක් ලබාගැනීමේ අවස්ථාවට බාධා පමුණුවන්න එපා කියලා තමයි අපි ආණ්ඩුවට කියන්නෙ.
Q අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නෙ නිදහස් අධ්‍යාපනය මේ රටින් තුරන් කිරීම. ආණ්ඩුවේ ක්‍රියාවලිය තුළින් ඒක මනාව පැහැදිලි වෙනවා. රටේ අධ්‍යාපනය අයිතිය ලැබීම මුදල් තිබීම මත තීන්දු තීරණය විය යුතු නැහැ. මුදල් තිබෙන අය තවත් හොඳට ඉගෙන ගැනීම පිළිබඳව අපගේ කිසිදු විරෝධයක් නැහැ. නමුත් මුදල් නොමැතිකම හේතුවෙන් අධ්‍යාපනයට බාධාවීමක් වෙනවා නම් එය අතිශය අසාධාරණයි. ඒ නිසා මුදල් ඇති පුද්ගලයාට පමණක් අධ්‍යාපනය ලැබීම කියන කාරණය තීරණය වෙනවානම් එය රට තුළ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වෙයි.
Q අපේ සටන තවම අවසන් නැහැ?
2014 කැලණි විශ්වවිද්‍යාලයට ලබාදුන් අවස්ථාව අනිකුත් සියලුම විශ්වවිද්‍යාල සඳහා ලබාදෙනතුරු අපි සටන් කරනවා. ඒ වගේම 2015 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවා ඇති සියලුදෙනාට ඉතාම ඉක්මනින් අයදුම්පත් කැඳවීමට කටයුතු කළ යුතු වෙනවා. ඒවගේම 2014දී නිකුත්කළ චක්‍රලේඛය වහාම අවලංගු කිරීමට අපි මැදිහත්විය යුතුයි.
ඒ වගේම බාහිර උපාධිය ආරක්ෂා කරගැනීමේ සටන වෙනුවෙන් බොහෝ පිරිසක් එක්වුණා. ඒ නිසාම තමයි එක් ජයග්‍රහණයක් ලබාගැනීමට අපිට හැකියාව ලැබුණෙ. එම සියලුම පිරිසට ස්තූතිවන්ත වෙනවා. බාහිර උපාධි සටන ජයග්‍රහණ කරන තුරුම අඛණ්ඩව මෙම සටන ගෙනයෑමට එකතුවන ලෙසත් මම ඉල්ලා සිටිනවා.