දකුණු පළාතේ වැලිගම ප්‍රදේශයේ පොල් කොළ මැලවී යාමේ රෝගයක් හිටි හැටියේම ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 2008 වසරේ අගභාගයේදී සිටයි. එමගින් පොල් වගාවට දැඩි හානියක් එල්ල වූ අතර, වගා කටයුතු සඳහා විශාල බාධාවක් ඇති විය. ඒ සමගම ක්‍රියාත්මක වූ ජාතික පොල් පර්යේෂණායතනය රෝගය කුමක්දැයි හඳුනා ගැනීමටත් ඊට යෙදිය යුතු පිළියම් පිළිබඳවත් පර්යේෂණ පැවැත්වූ අතර, මේ වන විට ඊට පිළියමක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර ගෙනෙන පොල් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රියන්ති ප්‍රනාන්දු මහත්මිය 'අද' වෙත මෙසේ අදහස් දැක්වූවාය.
2008 වසරේ අගභාගයේ සිට වාර්තා වුණු මෙම පොල් කොළ මැලවී යාමේ රෝගය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළා. පොල් පර්යේෂණායතනය විදියට අපි මුලින්ම කළේ මේ රෝගයට හේතුව සෙවීමයි. එතැනදී අප සොයා ගත්තා මීට හේතුව ෆ්ලයිටොප්ලැස්මා (Phytoplasma) නම් වූ බැක්ටීරියාවකට සමාන ක්ෂුද්‍ර ජීවියෙකු බව. මේ රෝගය ව්‍යප්ත කරන මේ රෝග වාහකයා ලෙස අප හඳුනාගත්තා කෘමි විශේෂ 3ක්. මෙම කෘමීන් රෝගී ගසක යුෂ උරා බොන විට Phytoplasma ක්ෂුද්‍ර ජීවියා එම කෘමියාගේ ශරීරගත වනවා. පසුව එම කෘමියා නිරෝගී ගසක යුෂ උරා බොන විට බැක්ටීරියාව එම ගසට ඇතුළු වෙනවා. මේ ආකාරයෙන් තමයි එම රෝගය ව්‍යාප්ත වුණේ.
මේ ක්ෂුද්‍ර ජීවියා ගසේ ආහාර ගෙන යන ප්ලෝයම පටකය තුළ ජීවත් වෙමින් ගසේ ආහාර ගෙන යන ක්‍රියාවලිය අඩපණ කරනවා. ඒ අඩපණ වීම නිසා පළමුවෙන්ම පොල් කොළය කඳක් මෙන් පැතලි වීම සිදුවනවා. ඒ පත්‍ර පැතලි වීමත් සමග පොල්අත්ත වක් වීමට ලක්වනවා. සාමාන්‍යයෙන් එවැනි මූලික රෝගී ලක්ෂණ හඳුනාගැනීම අපහසුයි. පසුව පොල් කොළ තැනින් තැන කහ පැහැයට හැරෙනවා. එවිටයි බොහෝ අයට මේ රෝගී තත්ත්වය හඳුනාගන්න ලැබෙන්නේ. 2009 වසරේ සිට පොල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳ පර්යේෂණ සිදුකළා.
අවාසනාවට මෙම Phytoplasma රෝගී තත්ත්වයට පිළියමක් ලෝකයේ කිසිදු තැනක සොයාගෙන තිබුණේ නැහැ. වෙනත් ශාක සඳහාත් මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. සාමාන්‍යයෙන් ශාකයක් රෝගී වුවොත් සිදුකරන්නේ රෝගී කොටස් කප්පාදු කර විනාශ කිරීම. නමුත් මේ ක්ෂුද්‍ර ජීවියා පොල් ගසේ ප්ලෝයම පටකයේ ජීවත් වෙමින් ගස රෝගී කිරීම හේතුවෙන් ගස සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සිදුවුණා.
ඒ අනුව දකුණු පළාතේ පොල් ගස් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කරන්න අපි කටයුතු කළා. එමගින් කෙටිකාලීන විසඳුමක් ලෙස රෝගය ව්‍යාප්ත වීම පාලනය කරන්න අපට හැකිවුණා. එය කෙටිකාලීන විසඳුමක් පමණයි. ඒ අතරවාරයේ අපේ අවධානය යොමු වුණා දීර්ඝකාලීන විසඳුමක් ලෙස මෙම රෝගයට ප්‍රතිරෝධය දක්වන, රෝගයට ඔරොත්තු දෙන නව පොල් ප්‍රභේදයක් සොයා ගන්න.
පරීක්ෂණ අතරතුර අප දැක්කා කුන්දිරා නම් මිටි පොල් විශේෂය මෙම රෝගයට ප්‍රතිරෝධය දක්වා ඇති බව. මෙම පොල් විශේෂයෙන් 95%ක ප්‍රමාණයකට Phytoplasma රෝගය වැලඳී තිබුණේ නැහැ. තවත් දෙයක් තමයි මේ රෝගය ව්‍යාප්තව ගිය ප්‍රදේශවල ඇතැම් පොල් ගස් වලටත් රෝගය වැලඳී තිබුණේ නැහැ. අපි එම ප්‍රතිරෝධය දක්වා ඇති ගස් සලකුණු කරලා එම පොල් ප්‍රභේදයත්, කුන්දිරා පොල් ප්‍රභේදයත් අතර දෙමුහුමක් සිදුකරලා නව දෙමුහුම් පොල් බීජ විශේෂයක් නිර්මාණය කළා. එම පොල් බීජ තවාන් කර ලබාගත් පොල් පැළ දහසක් පමණ මේ වනවිට අප වගාකරුවන් වෙත ලබා දී තිබෙනවා.
ඊට අමතරව එම විශේෂයෙන් පොල් පැළ 500ක් පමණ ක්ෂේත්රය තුළ ස්ථාන 03ක සිටුවා නිරීක්ෂණය කළා රෝගය මෙම පොල් විශේෂයටත් වැලඳෙනවාද කියා. එම පොල් ප්‍රභේදය සිටුවලා මේ වන විට වසර තුනකට පමණ ආසන්න වී තිබෙනවා. නමුත් කිසිදු ගසකට එම රෝගය වැලඳී නැහැ. එම නිසා අප විශ්වාස කරනවා නව පොල් ප්‍රභේදය Phytoplasma රෝගයට ප්‍රතිරෝධය දක්වන බව. අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා. මොකද පරීක්ෂණය සම්පූර්ණයෙන්ම සාර්ථක බව නිගමනය කරන්නට කාලය අපට ප්‍රමාණවත් නැහැ.
මීට අමතරව නව බීජ උයනක් නිර්මාණය කිරීමට අපට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අක්කර 15ක පමණ ඉඩමක් ලැබී තිබෙනවා. එහිදී අප මිටි කොළ කුන්දිරා වර්ගය වගා කර එහි මල්, උස ප්‍රතිරෝධී පොල් වර්ගවල මල් සමග පරාගණය කර නව දෙමුහුන් පොල් විශේෂයෙන් පැළ විශාල ප්‍රමාණයක් නිපදවන්න කටයුතු කරනවා. තව වසර 4ක් ගත වුණාට පසුව ඒවායින් ඵලදාව ලබාගෙන පැළ විශාල ප්‍රමාණයක් වගා කරලා වසරකට වගාකරුවන් වෙත පොල් පැළ 35,000ක් 40,000ක් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකිවෙතැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම මෙරට සහ පිටරටින් ලැබුණු පොල් ප්‍ර‘භේද වර්ගයන්, Phytoplasma රෝගයෙන් හානි වූ ඉඩමක වගාකොට අප නිරීක්ෂණය කරනවා එම ප්‍රභේදයන්ගෙන් කුමන ප්රභේදයන්ටද මෙම රෝගය වැලඳෙන්නේ සහ කුමන පොල් ප්රභේදයන්ද රෝගයට ප්‍රතිරෝධය දක්වන්නේ කියලා. එම පරීක්ෂණයට දැනට වසර 7ක් පමණ ගත වී තිබෙනවා. සමහර පොල් ප්රභේදයන්ට රෝගය වැලඳී තිබෙනවා. ඇතැම් පොල් ප්රභේදයන්ට තවමත් රෝගය වැලඳී නැහැ. ඒ අනුව දිගින් දිගටම පරීක්ෂණ සිදුකරනවා.
අවසාන වශයෙන් ජනතාවට දැනුම් දෙන්න කැමතියි මේ වන විට මෙම රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ඇති බව. මාතර ප්‍රදේශයේ සෑම තැනකමත්, ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කත්, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කත් පමණයි රෝගය වාර්තා වුණේ. රෝගී ගස් විනාශ කිරීමට නොපමාව අපි ක්‍රියාකළ නිසා මෙම ප්‍රදේශයන්ගෙන් පිටට රෝගය ව්‍යාප්ත වී නැහැ.
අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉහතින් සඳහන් කළ රෝගී ලක්ෂණ ඔබේ ප්‍ර‘දේශවල පොල් ශාකයන්හී දක්නට ලැබෙනවා නම් වහාම එම ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරී මහත්මාට දැනුම් දෙන ලෙස.
නදුන් ශ්‍යාමාල්