ඉහළ ජෛව විවිධත්ව පද්ධතියකින් පොහොසත් වූ මෙරට පරිසර පද්ධතිය අද වන විට විවිධාකාරයෙන් හානියට පත්වෙමින් පවතියි.
ඒ අතරින් මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුකොටගෙන සිදුවන හානි ප්රමුඛස්ථානයක් ගන්නා අතර, ඊට අමතරව ස්වාභාවිකව නිහඬවම සිදුවන හානිද මේ වන විට හඳුනාගෙන තිබේ.
ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා උවදුරක් බවට පත්ව ඇති ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ නිසා අපගේ ජෛව විවිධත්ව පද්ධතියට සිදුවන හානිය අති විශාලයි.
හඳුන්වාදීමක් මත හෝ අහඹු ලෙස සිය ස්වාභාවික භූමියෙන් පිටත ප්‍රදේශවල ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින්, ජෛව විවිධත්ව පද්ධතිය වෙත තර්ජනයක් වෙමින් හානි සිදුකරන ශාක විශේෂයන් පොදුවේ 'ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ' ලෙස හඳුන්වන අතර, මේ අතරට සත්ත්ව කාණ්ඩයන්ද අයත් වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පද්ධතිය වෙත ආක්‍රමණශීලී ශාක සහ ජීවී විශේෂයන්ගෙන් දැඩි තර්ජන එල්ල වෙමින් පවතියි. මෙම ශාක හා ජීවී විශේෂ වේගවත් වර්ධනයක් සහ ව්‍යප්තියක් පෙන්නුම් කරමින් දේශීය ශාක හා සත්ත්ව විශේෂයන් ආක්‍රමණය කරයි.
මෙම ශාකයන් ස්වාභාවික විලෝපිකයෙකු නොමැති අවස්ථාවන් හීදී, දේශීය ශාක විශේෂ ඉවත් කරමින් පරිසර පද්ධතියේ වෙනසක් සිදුකරයි. එමගින් සිදුවන බලපෑම විශාල පරාසයකට යොමු වේ. ඒ අනුව මෙම ආක්‍රමණශීලී ශාක හා ජීවී විශේෂයන් පරිසර හානි, මානව සෞඛ්‍ය වෙත කෙරෙන හානිවලට අමතරව ඒ ඔස්සේ මිනිසාගේ ජීවනෝපායට සහ ආර්ථිකයටද බලපෑම් එල්ල කරයි.
ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ සහ ආක්‍රමණශීලී විභවයක් සහිත අාගන්තුක විශේෂ ලෙස ශ්‍රී ලංකාවේ දැනට ශාක විශේෂ 32ක් හඳුනාගෙන තිබේ. මෙම ආක්‍රමණශීලී ආගන්තුක ශාක විවිධ හේතු මත මෙරටට හඳුන්වා දී තිබේ.
ඒ අනුව විසිතුරු පැළෑටි ලෙස හඳුන්වාදීම, පර්යේෂණ කටයුතු සඳහා ගෙන්වූ ශාක, පාංශු ඛාදනය වැළැක්වීමට හඳුන්වා දී ඇති ශාක, සත්ත්ව ආහාර ලෙස හඳුන්වා දී ඇති ශාක ඊට අයත් වන අතර, සමහර අවස්ථාවලදී අහඹු ලෙස වෙනත් ශාක සමග මේවායේ බීජ හෝ අතු කැබලි සමග මිශ්‍ර වී වෙනත් පරිසර පද්ධතිවලට යොමු වී තිබේ.
මෙම ශාක විශේෂ නිසා මතුවන ප්‍රධාන හානිකර තත්ත්වයන් ලෙස,
- බෝග වගාවන්වල ඵලදායිතාව අඩු කිරීම
- වනාන්තර වල ඇතිවන ගිනි ගැනීම් ව්‍යාප්ත කිරීමට උපකාරී වීම
- ජලාශවල, අමුණුවල, ඇළ මාර්ගවල ජලය අවහිර කිරීම
- පරිසර පද්ධති වෙනස් කරමින් ජෛව විවිධත්වය අඩු කිරීම
- පරිසර පද්ධතීන්වල පාරිසරික අගය අඩු කිරීම
- දේශීය ශාක විශේෂ ආක්‍රමණය කිරීම නිසා දේශීය ශාක ප්‍රමාණය අවම කිරීම
- මෙම ශාක විශේෂ යම් ජලජ පරිසරයක හෝ භූමියක ස්ථාපනය වූ පසු ඒවා පාලනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම
යන තත්ත්ව හඳුනාගත හැකිය. මෙම ශාක විශේෂ වල පවතින ලක්ෂණ ආක්‍රමණශීලී ක්‍රියාවලිකට මග පාදා දී තිබේ. ඒ අනුව මෙම විශේෂ විවිධ පරිසර පද්ධතීන්වල විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. මෙහි පවතින්නේ කාර්යක්ෂමව තම වර්ගයා බෝ කරමින් සිදුකරන සාර්ථක පැතිරීමකි. මේ ශාකවල තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ කටුක පරිසර තත්ත්වයන් දරාගැනීමට ඇති හැකියාවයි. ඊට අමතරව මේවාට අනෙකුත් ශාකවල වර්ධනය අඩාල කිරීමට හැකියාව ඇති රසායනිකයන් නිකුත් කිරීමට හැකිය.
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් ලෙස 'ජපන් ජබර' - (Eichhornia crassipes) හඳුනාගත හැකිය. මෙහි නිජබිම දකුණු ඇමරිකාව වන අතර, වර්තමානයේ දිවයිනේ ඇති බොහොමයක් ජලජ පරිසරයන් තුළ දැකගත හැකිය.
'ගඳපාන' - (Lantana camara) මෙරට බොහෝසෙයින් ව්‍යාප්ත වී ඇති තවත් ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයකි. මෙහි නිජබිම මධ්‍යම හා දකුණු ඇමරිකානු ප්‍රදේශ වේ.
නිවර්තන ඇමරිකානු ප්‍රදේශ සිය නිජබිම කොටගත් 'කටු පතොක්' - (Opuntia dillenii) මෙරටදී දකින්නට ලැබෙන තවත් ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයකි. මෙය 19 වන සියවසේදී විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වාදී තිබේ.මෙම ඡායාරූප පෙලින්ද දැක්වෙන්නේ ශ්‍රී ලංකාෙව් ව්‍යාප්තව අැති අාක්‍රමණික ශාක කිහිපයකි.
මේ ආකාරයෙන් අපගේ ජෛව විවිධත්ව පද්ධතිය වෙත හානි සිදුකරන ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයන් පාලනය කිරීමට ඔබ අප සියලු දෙනාටමත් දායක විය හැක. ඒ අනුව ගෙවත්තේ ඔබ හඳුනාගත් මෙවැනි ශාක වෙනත් භූමියකට ව්‍යාප්ත වීමට පෙර ඉවත් කළ යුතු අතර, එම ශාක කොටස් බැහැර කිරීමේදී වෙනත් ප්‍රදේශයකට නොදමා පිළිස්සීම මගින් එය තවදුරටත් ව්‍යාප්ත වීමට ඇති හැකියාව අවම කරගත හැකිය.
තවද ඔබගේ ප්‍රදේශයේ ජලජ පරිසර පද්ධතීන්වල හෝ යම් භූමියක ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් අසාමාන්‍ය ලෙස ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව ඔබට පෙනේ නම් වහාම අදාළ ආයතන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත යුතුය.
(තොරතුරු-මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය)