මැදින් පුර පසළොස්වක පොහොය සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ලක්ෂ ගණනින් ඉක්මවන සුවිශේෂී දිනයකි. වසර ගණනාවක් මුළුල්ලේ සිට මෙම පොහෝ දිනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී පාදස්ථාන භාරකාර නායක හිමියන් ඇතුළු කාර්යමණ්ඩලය සංවිධාන කටයුතු කරනු ලබයි. විශේෂයෙන් එම පොහෝ දිනයේ හිමිදිරියේ සිට සිල් සමාදන් වන උවැසි උවැසියන්ගෙන් පිරෙන සිරිපා මළුව දිස්වන්නේ සුදෝ සුදු ඇතිරිල්ලක් ලෙසිනි.
උවැසියන් කොපමණ මළුවේ රැඳී සිටියද, සිරිපා මළුවට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්හට එය කිසිදා අවහිරයක් නොවන්නේය. පැමිණෙන සියලුදෙනා සිරිපා වන්දනාවෙහි යෙදී සමන් දෙවිඳුන්හට පින් පමුණුවා නැවත පහළට කරුණා කරන්නේ බැති සිතිනි. මෙම පොහෝ දිනය කොළඹ පොහොය ලෙසටත් කාලයක් මුළුල්ලේ සිට ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන්නේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව සිරිපා වන්දනා කිරීමට පැමිණෙන්නේ මැදින් පුර පොහොය දිනයට නිසාවෙනි.
පොහෝ දින උවැසි උවැසියන් උදෙසා පවත්වනු ලබන සියලු ආගමික කටයුතුද කොපමණ වන්දනාකරුවන් පැමිණියත් බාධාවකින් තොරව, සැලසුමකින් යුක්තව මේ කුඩා පරිශ්‍රයේදී පවත්වාගෙන යාමට හැකි වීමද ආශ්චර්යයක් ලෙස සැලකිය හැකිය. එසේම වසර ගණනාවක සිට නොකඩවා මෙම පුර පොහෝ දිනයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පවත්වනු ලබයි.
අහස් කුස සිපගන්නා සමනලගිරි කන්ද මත විඳ දරාගත හැකි නොවන පරිදි ඇතිවන අධික ශීත දේශගුණයද බුදු ගුණ මහිමයට නතුව වන්දනාකරුවන්ට ආපදාවක් නොවී සියල්ලන්ගේම ගතේ විඩාව සංසිදුවන්නට පවනක් වන ආකාරය මා ලැබූ එක් භාග්‍ය වූ අත්දැකීමකි. මේ පිළිබඳව එක් විදේශ සංචාරක යුවළක් මා සමග පැවසුවේ ලෝකයේ කිසිදු තැනක මෙවන් අසිරියක් දැකගත නොහැකි වන බවය.
එය සත්‍යයකි. සියවස් ගණනක් මුළුල්ලේ සිටම අපමණ වූ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් ලොව දසතින් සිරිපා වන්දනා කිරීමට දහස් ගණනින් විදේශිකයන් මෙහි පැමිණ ඇති බවට වාර්තා ඇත. එය වෙනත් ලිපියකින් පාඨක ඔබ හමුවේ තැබීමට අදහස් කරමි. මැදින් පොහෝ දිනය මෙසේ උත්සවශ්‍රීයෙන් සමරන්නට වැදගත්ම නිමිත්ත වන්නේ 1950 මාර්තු 04 දිනට යෙදුණු මැදින් පුර පොහෝ දිනයේ ප්‍රථම වරට ජල විදුලියෙන් විදුලි ආලෝකය ලබාදීම නිසා යැයි වේහැල්ලේ ධම්මපාල හිමියන් දිනක් මා කළ විමසුමකදී පැවසූහ.
උන්වහන්සේගේ මතක දත්තයන් අනුව එය අපූරු කතා පුවතකි. විමලසුරේන්ද්‍ර මහතා ලෝකයේ ප්‍රථමවරට ජල විදුලි තාක්ෂණය ලොවට හඳුන්වාදුන් ශ්‍රී ලාංකිකයා හැටියට ලෝක ඉතිහාසයට එක්වුණි. ඒ අනුව ප්‍රථම ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුත්ත නොර්ටන් බ්‍රිජ් දියඇල්ල ආශ්‍රිතව 1924 දී එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් ආරම්භ කරනු ලැබුවද, විවිධ බාධක හමුවේ එහි වැඩකටයුතු නිසි සැලසුමකින් තොරව අයාලේ මන්දගාමීව පැවති බැවින් එහි ඉදිරි ගමන අඩාල විය.
ඉන්දියානු කොන්තරාත් සමාගමක් මගින් මෙහි කටයුතු නැවත වරක් 1938 දී ආරම්භ කරනු ලැබුවද, දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමත් සමගම එය ඇනහිටුණි. 1942 රජයේ විදුලි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් නැවත මෙම ව්‍යපෘතියේ කටයුතු ඇරඹුණද, දේශගුණික බලපෑම් හේතු කොටගෙන එම වැඩකටයුතුද කෙරී ඇත්තේ මන්දගාමී ලෙසටය. මේ අතර 1947දී මෙම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුකොට ගෙන
නාය යෑමකින් කම්කරුවන් විසි දෙදෙනෙකුගේ ජීවිත අහිමි විය. එබැවින් එහි ඉදිකිරීම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රධාන ඉන්ජිනේරුවරයා සහ සේවකයන් දැක්වූයේ බියකි. එබැවින් ජල විදුලි සිහනය නැවත යටපත් වුණි. මෙම ව්‍යපෘතියේ වැඩකටයුතු මෙලෙස කඩින්කඩ අඩාල වන්නට හේතු වී ඇත්තේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් නිසාද යන්න පිළිබඳ වූ කුකුස ප්‍රදේශවාසීන් අතර කතාබහක් මෙන්ම බියක්ද ඇතිවන්නට විය.
මේ අතර 1947 පැවති මෙරට ප්‍රථම පාර්ලිමේතු මැතිවරණයේදී එජාපයෙන් දොඩන්ගස්ලන්ද ආසනය ජයගත් සර් ජෝන් කොතලාවල මහතා ප්‍රවාහන හා රජයේ වැඩ ඇමතිවරයා ලෙස නව රජයේ දිවුරුම් දීමෙන් පසුව නෝර්ටන් බ්‍රිජ් සුධර්මා රාමයට පැමිණයේ එම විහාරස්ථනයේ පිංකමකට සහභාගි වීම සඳහාය. මෙහිදී රජයේ වැඩ ඇමතිවරයා ලෙස අඩපණ වී ඇති විදුලි බලාගාරයේ කටයුතු පිළිබඳවද විමසීමට කොතලාවල මහතා අමතක නොකළේය.
එය අවස්ථාවක් කරගත් විහාරස්ථානාධිපති හිමියන් හා ප්‍රදේශවාසීන් විදුලි බලාගාරයේ කටයුතු නැවත ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී පාදස්ථානයට මෙන්ම එම ප්‍රදේශයට අධිගෘහිත වූ සුමන සමන් දෙවියන් හට භාරවීමේ වැදගත්කම පෙන්වා දී ඇත. මෙහිදී වහා ක්‍රියාත්මක වී ඇති කොතලාවල ඇමතිවරයා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේදීම විදුලි බලාගාරයේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් නිමකර ගැනීම සදහා සුමන සමන් දෙවියන්ගෙන් අවසර පතා භාරවී ඇත්තේ විදුලි බලාගාරයේ කටයුතු සාර්ථක වූ වහාම ප්‍රථම විදුලි ආලෝකය ශ්‍රී පාදස්ථානයට ලබාදෙන බව දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙමිනි.
එලෙස භාරවීමෙන් පසුව සර් ජෝන් කොතලාවල ඇමතිවරයා විදුලි බලාගාර ව්‍යපෘතියේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අදාළ අංශවලට දන්වමින් එම වැඩකටයුතු නිම වනතෙක්ම සිය අවධානය ඒ සඳහා යොමු කිරීමටද අමතක නොකළේය. ප්‍රදේශවාසීන් මෙන්ම කොතලාවල මහතාද මවිතයට පත්කරමින් වසර දෙකක් යාමටත් ප්‍රථමයෙන් එම කාර්යයෙහි නියුතු සියලුදෙනාගේම සාමූහික එකමුතුවෙන් සහ උනන්දුවෙන් කිසිදු බාධාවකින් තොරව විදුලි බලාගාරයේ කටයුතු 1949 වසර අවසාන වන විට නිමාකර ගැනීමට හැකි වී ඇත.
අනතුරුව ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය ලෙසින් සැලකෙන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය 1950 මාර්තු මස 04 වන මැදින් පුර පොහෝ දින ජෝන් කොතලාවල මහතාගේ සුරතින් විවෘත කරනු ලැබුවේ සුමන සමන් දෙවියන්ට පොරොන්දු වූ පරිදි දර්ශනීය පෙරහරකින් ශ්‍රී පාදස්ථානයට පැමිණ පුද පූජා පවත්වා ප්‍රථම විදුලි ආලෝකයෙන් සිරිපා මළුව ආලෝකවත් කරමිනි.
සිය භාරය නිසා සිදුවූ ආශ්චර්යයෙන් සතුටට පත්වූ ජෝන් කොතලාවල ඇමතිවරයා ආලෝක පූජාවක් ලෙස සලකමින් මස්කෙළියේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා විදුලි පහන් ලක්ෂයක් ස්ථාපනය කිරීමටද කටයුතු කරනු ලැබීය. නෝර්ටන් එතැන් පටන් ලක්ෂපාන විය. එතැනින් නොනැවතුණ කොතලාවල මහතා මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි හැටන් මාර්ගයේ ශ්‍රී පාදස්ථානයට
පිවිසෙන නල්ලතන්නියේ මකර තොරණක් ඉදිකිරීමටද කටයුතු කරනු ලැබීය. එහි සැලැස්ම සකස් කිරීමට කොතලාවල මහතා භාරදී ඇත්තේ එවකට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස නමක් දරා සිටි ජී.එස් ප්‍රනාන්දු මහතාටය. ඒ අනුව පහත සඳහන් ලක්ෂණයන් ගෙන් සමන්විතව ජී.එස් ප්‍රනාන්දු මහතා සිය කාර්යය මැනවින් ඉටුකර ඇත. අද ඔබ නල්ලතන්නියේ දකින්නේ එම ඓතිහාසික මකර තොරණයි. ශ්‍රී පාදස්ථානය හා බොදු සසුන සුරකින සත් මහා බලයන් මෙම මකර තොරණින් සංකේතවත් කරන බව අග්ගමහා පණ්ඩිත ආචාර්ය පරවාහැර වජිරඥාන හිමියන් මා සමගින් පැවසුවේ ඒ පිළිබඳව මෙලෙස විග්රහ කරමිනි.
ගජේන්ද්ර හස්තං දෘත සිංහ පාදං
කුම්බීල හස්තං හනුමන්ත විචිත්‍ර නේත්‍රං
වරාහ කණ්නං හෘද මත්සව දේහං
විචිත්‍ර පත්තං මකරං ස්වභාවං
හස්තියාගේ හොඬය මෙන් ශක්තිමත් වූ දෙඅත්ද, සිංහයාගේ පා යුගල මෙන් ශක්තිමත් දෙපාද, කිඹුලාගේ මෙන් ශක්තිමත් වූ දත් ඇති මුඛයකින්ද, වානර නෙත් සඟලකින්ද, සියුම් හඬක් ග්‍රහණය කරගත හැකි ඌරෙකුගේ කන් යුවළක්ද, මත්ස්‍යයෙකුගේ ශරීරයෙහි ඇති පූර්ණත්වයද, මොණර පියාපත්හී ඇති වර්ණ සුසංයෝගයෙන් යුක්තව පෙරදිග කලාකරුවන් මකරා නිර්මාණය කර ඇත.
අතීතයේ සිට රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ වන්දනීයත්වයට, පූජනීයත්වයට පාත්‍ර වූ සමනල ගිරි සිරසේ මැදින් පොහෝ දින අසිරිය කවීශ්වර කතරගම නිමල් කුඩාතිහි කවියා දකින්නේ මෙලෙසිනි.
හිරු සැඟවුණු කලෙක බැබළී අඹර මැද
තරු පිරිවරා පායා ආ මැදින් සඳ
කරුණා කරන මුණි සිරිපා මළුව වැඳ
ගුරු දෙවි ඔබය, පන්සල් යන පොහොය සඳ
පිනිපා කරන්නට සිරිපා මළුව සිඹ
මෙවරත් දුරුතු සඳ නැඟුණා අඹර ගැබ
මුනි පුද පිණිස එළඹෙන සමයකදි සුබ
වන මල් පිබිදුණා සඳකැන් සිසිල ලැබ
සටහන අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ